Print this Article


පුර පෑළවිය සඳ - 13 කොටස

පුර පෑළවිය සඳ - 13 කොටස

සාමණේරයන් වහන්සේ නමකගේ ජීවිතය අලලා ලියැවුණු නවකතාව

සමථ භාවනා වැඩීමෙන් කෙලෙස් යටපත් වේ. එවිට සිත සන්සුන් වේ. සිත සන්සුන් වූ කල මතකය දියුණු වේ. එක අරමුණක සිටීමට හැකි වේ. ගැටලු විසඳීමේ ශක්තිය ලැබේ. ඉගෙනුම ලබන දෙය වහා අවබෝධ වේ. ඉවසීමේ, පිළිවෙළින් යමක් ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබේ

මෙතෙක් කතාව

දමිත සාමණේරයන් පැවිදි බව ලබා ටික කාලයකි. පැවිදි වුව ද පුංචි දඟකාරකම් මඟහැර ගන්නට සාමණේරයන්ට තවම අපහසු ය. කුඩා සාමණේරයන්ගේ පුංචි වරදක දී වුව එය විශාල කොට පෙන්වමින් ලොකු හාමුදුරුවන් වෙතට රැගෙන යන්නේ පන්සලේ ඇබිත්ත මාමා ය. ඔහු සිරිමල් ය. පන්සලේ ප්‍රධාන දායකයකු වන මුදලාලිට ද දමිත සාමණේරයන් ගැන පැහැදීමක් නැත. ඒ සාමණේරයෝ ගිහි කල ඉතා දිළිඳු පවුලක වීම නිසා ය. මුදලාලිගේ බසට අවනත ව සාමණේරයන්ට වැරැදි පිට වැරැදි පැටවීමට සිරිමල් මාමා නිතර උත්සාහ කරයි. ලොකු හාමුදුරුවන්ට පොඩි හාමුදුරුවන් ගැන නැති වැරැදි කියයි. එහෙත් සිරිමල් මාමා පොඩි හාමුදුරුවන්ට කරන අකටයුතුකම් නන්ද හිමියන්ට දැක ගන්නට ලැබුණි. නන්ද හිමි සිත දමිත පොඩිහාමුදුරුවන් ගැන ඇති වූයේ මහා දුකකි.

“ අනේ මං දන්නෑ ලොකු හාමුදුරුවනේ ... ඔන්න ඔහේ උන්නා. කොහේ හරි නඩා ගහලා නඩා ගහලා හවස් වෙලා එයි පන්සලට.”

සිරිමල් මාමා පිළිතුරු දෙන්නේ ලොකු හාමුදුරුවන්ගේ හිතෙහි ඇති කෝපය තව තවත් වැඩෙන ආකාරයට ඇද පැදය.

“ වැඩම කළ හැටියෙ ම මෙව්වා කියන්නත් බෑ. ඒත් ලොකු හාමුදුරුවන්ට තියෙන ආදරේ නිසා නොකියත් බෑ. ඒ වැරැද්ද විතරක් නෙමෙයි.

අන්න ආයෙත් ප්‍රිජ් එකේ තිබිච්ච පෘට් සැලඩ් එකත් ඔක්කොම කාලා ඉවර කරලා.

කවුරුහරි ගෙනල්ල තිබ්බේ ලොකු හාමුදුරුවන්ට දෙන්න කියලනෙ .... අනේ අම්මපා ලොකු හාමුදුරුවන්ටවත් දානෙ ටිකක් වළඳන්න දෙන්නේ නැති හැටි. හොරා කන එකෙත් දෙයියනේ සීමාවක් තියෙන්න එපැයි.. පොඩි උනත් හාමුදුරු කෙනෙක්නේ.

මේ උන්නාන්සේ නිසා නැති වෙන්නේ බෝධිසත්වයෙක් වගේ ඉන්න අපේ ලොකු හාමුදුරුවන්ගේ ගෞරවය. කෝ ඉතිං මං කොච්චරවත් කියනවා. අහනවයැ.”

සොරකම නම් සාමණේරයන් වහන්සේ නමකට ගැළපෙන්නෙ ම නැත. මෙච්චර වළඳන්නට දානය, අතුරුපස ලැබෙද්දිත් උන්වහන්සේ සොරා කන්නේ ඇයි? ලොකු හාමුදුරුවන්ට ඇත්තේ විමතියකි. එය නම් ගුරුවරයකු ලෙසින් දඬුවම් දී හෝ නිවැරැදි කළ යුතු ම අඩුපාඩුවකි.

“ වැරැදි කරලා හැංගිලා හරියනව ද සිරිමල්... උන්වහන්සේ ආපුවහම සිරිමල් මට පොඩ්ඩක් කතා කරන්නකො.”

සිරිමල් මාමාට බොහෝම සතුටු ය. එක පැත්තක් ගිනි තියා අවසන් ය. පැයක් එකහමාරක් ගතවන්නට දී මුදලාලි මහත්තයාගේ බංගලාව පැත්තේ හා කඩපිළ පැත්තේ යා යුතු ය. එවිට මුළු ගම ම ගිනි තැබිය හැකි ය.

පැයක් එකහමාරක් ඇඳේ වැතිරුණු සිරිමල් උපාසකට බඩ රිදීම හේතුවෙන් හදිසියේ ම වේදනාවෙන් නැඟී සිටින්නට සිදුවිය. ඉන්න හිටින්නටවත් බැරි ය. බඩවැල් ඇඹරි ඇඹරී රිදෙන්නේ ය.

වැසිකිළිය වෙත ආයේ වැඩිමනක් ම දුවගෙන ය. එතරම්ම කුස රිදේ. කරුමයකට කව්දෝ වේලාසනින් ම වැසිකිළිය ඇතුළේ ය.

“ කවුද ..කවුද ... ඇතුලෙ ඉන්නේ?..”

වැසිකිළිය තුළ සිටින්නේ කසුන් ය. ඔහුටත් තරමක බඩේ අමාරුවක් වැළඳී තිබේ. මේ වැසිකිළි යන්නේ තුන්වෙනි පාරටය.

කීපවරක් කතාකළත් කසුන් එළියට එන්නේත් නැත. සිරිමල් මාමා හින්දා ගණන් ගන්නේත් නැත. ඉවසා සිටින්නට ම බැරි සිරිමල් මාමා උපාසක ඇත්තන් වෙනුවෙන් සකසා තිබූ වැසිකිළිය වෙත දුවන්නට විය.

සවස නන්ද හාමුදුරුවන් දමිත සාමණේරයන් සමඟ ආවාසයට පැමිණියේ ලොකු ස්වාමීන් වහන්සේට ගිලන්පස සැකසීම පිණිස ය. වේලාව සවස හතර ද පසුවෙමින් තිබේ. ලොකු හාමුදුරුවෝ නඩුව විසඳන්නට පටන් ගත්තේ ගිලන්පසත් වැළඳුවායින් පසුව ය.

පළමුවැනි චෝදනාව අංගෝ නෝනා උපාසක අම්මා තල්ලුකොට පෙරළා දැමීම ය.

අංගෝ නෝනා සහ පැමිණ සිටි අයගෙන් සිදුවූ සිද්ධිය හොඳ හැටිම අසා දැනගෙන හිටි නන්ද හාමුදුරුවන් නිසා සිරිමල් මාමාගේ පළමු චෝදනාව අර්ථ විරහිත ව සුන් වී ගියේ ය.

වෙනදා නඩු විසඳන විට පැත්තකට වී සිටිමින් ලොකු හාමුදුරුවන් කෝප ගන්වන සිරිමල් මාමා නම් අද පේන්නට නැත. හරිම පුදුම ය. සතුරා පිටුදැකීමට ලැබෙන මෙවන් මොහොතක් ඒ අසත්පුරුෂයා කවදාවත් අතහරින්නේ නැත.

දැන් ඇත්තේ දෙවන චෝදනාව විසඳීමට ය. වෙනදා සේ ම බියෙන් තැතිගත් සා පැටවකු මෙන් දමිත සාමණේරයන් වහන්සේ බිම බලා සිටින්නේ ය.

“ මට මේක කියනවා දමිත,.. තමුන් ඇයි මෙච්චර දානෙ වළඳන්න තියෙද්දි මේ ප්‍රිජ් එකේ තියෙන දේවල් හොරෙන් අරන් කන්නේ...”

ලොකු හාමුදුරුවෝ විමසන්නේ අද වෙනදාට වඩා තැන්පත් ව ය. සමහර විට ඒ නන්ද හාමුදුරුවන් ළඟ සිටින නිසා වන්නට ඇත. නැතිනම් කෝපය අවුස්සන සිරිමල් මාමා ළඟ නැති නිසා වීමට ද පුලුවන.

කෙසේ වෙතත් දමිත සාමණේරයන්ට දැනෙන්නේ වෙනදාට වඩා සැහැල්ලුවකි. නන්ද හාමුදුරුවනුත් තමන් වෙනුවෙන් අද ළඟ සිටීම ද ශක්තියකි.

“ අනේ ලොකු හාමුදුරුවනේ... සත්තයි., මං කෑවෙ නෑ ලොකු හාමුදුරුවනේ..” සාමණේරයන් වහන්සේගේ නෙත්වල කඳුළු ය. ඒ බැල්ම නම් ඉතාමත් අවිහිංසක ය.

“ බොරු කියන්න එපා. ඇත්ත කියනවා. මේ සිරිමල් මාම දැක්කා කියන්නේ....” ලොකු හාමුදුරුවන් පවසන්නේ වේවැලත් අහිංසකයා කෙරෙහි දිගුකොට ය.

(මතු සම්බන්ධයි)