Print this Article


ලෝ සත සුව සෙත සදමින් ධර්ම ප්‍රචාරය ඇරඹුණ වගයි

ලෝ සත සුව සෙත සදමින් ධර්ම ප්‍රචාරය ඇරඹුණ වගයි

බුදු සසුන තුළ භික්ෂු සමාජය ආරම්භ වූයේ, කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම, අස්සජි යන පස්වග භික්ෂූන් වහන්සේගෙනි. පසුව පැවිද්ද ලබාගත් යසකුල පුත්‍රයා සහ යහළුවන් පනස් හතර දෙනා ද එකතුව රහතන් වහන්සේ සැටනමක් බවට පත් වුණි.

බරණැස ඉසිපතනයෙහි වස් කාලය ගත කළ බුදුරජාණන් වහන්සේ වස් කාලය නිම වීමෙන් පසුව ඉල් පොහොය දිනෙක එකී රහතන් වහන්සේ සැට නම හෙවත් ප්‍රථම ධර්ම දූත පිරිස අමතා මෙසේ වදාළහ.

මහණෙනි, මම දෙවියන් පිළිබඳ වූ ද, මිනිසුන් පිළිබඳ වූ ද සියලු කෙලෙස් මළපුඩුවලින් මිදුණෙමි. නුඹලා ද ඒ සියලු කෙලෙස් මලපුඩුවලින් මිදුණාහු ය. මහණෙනි, බොහෝ දෙනාට හිත පිණිස ද, බොහෝ දෙනාට සැප පිණිස ද, ලොවට අනුකම්පා පිණිස ද, දෙවිමිනිසුන්ට වැඩ පිණිස ද, හිත පිණිස ද, සැප පිණිස ද චාරිකාවෙහි හැසිරෙවු. දෙනමක් එක මඟක නොයවු. මහණෙනි, මුල යහපත් වූ, මැද යහපත් වූ, කෙළවර යහපත් වූ, අර්ථ සහිත වූ, ව්‍යඤ්ජන සම්පත්තියෙන් යුක්ත වූ, සියල්ලෙන් සම්පූර්ණ වූ ධර්මය දේශනා කරවු. පිරිසුදු වූ බ්‍රහ්ම චර්යාව ප්‍රකාශ කරවු. ස්වල්ප වූ රාගාදි කෙලෙස් ඇති සත්ත්වයෝ වෙති. ඔවුහු දහම් නොඇසීමෙන් පිරිහෙති. දහම් අවබෝධ කරන්නෝ වන්නාහ. මහණෙනි මමත් උරුවෙල් දනව්වෙහි සේනානි නියම්ගමට දහම් දෙසනු පිණිස යන්නෙමි.

එකල මෙම උරුවෙල් දනව්වෙහි උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප හා ගයා කාශ්‍යප යැයි ජටිල සොහොයුරෝ තිදෙනෙක් විසූහ. මේ අතුරෙන් උරුවේල කාශ්‍යප 500ක් ජටිලයන්ට ද, නදී කාශ්‍යප 300ක් ජටිලයන්ට ද ගයා කාශ්‍යප 200ක් ජටිලයන්ට ද ප්‍රමුඛාචාර්ය ව සිටියහ. උරුවෙල් දනව්වෙහි නේරංජනා ගඟ අසබඩ අසපු ඉදිකරවා ගෙන වාසය කළ ඔවුහු තමා රහත් ය යන වැරැදි අවබෝධයෙන් යුතු ව මානයෙන් උදම් වී ක්‍රියා කළහ.

බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ එම මානය දුරැලීමේ අරමුණෙන් පළමු ව උරුවේල කාශ්‍යප ජටිලයාගේ අසපුවට වැඩමවා “කාශ්‍යප ය, ඔබට කරදරයක් නොවන්නේ නම් මම එක රැයක් ගිනිහල් ගෙයි වසන්නෙමි’යි වදාළ සේක. එයට උරුවේල කාශ්‍යප දුන් පිළිතුර නම් ‘මහා ශ්‍රමණයන් වහන්ස, මට කිසි කරදරයක් නොමැත. මෙහි දරුණු වූ ඍද්ධි ඇති, වහා පැතිරෙන විස ඇති දරුණු විස ඇති නා රජෙක් වෙයි. ඒ නා රජු නුඹ වහන්සේ වෙහෙසට පත් නොකෙරේවා” යන්නයි.

ඉක්බිති බුදුරජාණන් වහන්සේ ගිනිහල්ගෙට ඇතුලුව තණ ඇතිරියක් පණවා පලක් බැඳ කය ඍජුව තබා සිහිය පිහිටුවා වැඩසිටි සේක. එවිට ඒ නාගයා බුදුරජාණන් වහන්සේ දැක නොසතුටු සිත් ඇති ව තදින් දුම පිට කළේ ය. එකල්හි බුදුරදුන්ට මෙබඳු සිතිවිල්ලක් උපන්නේ ය.

“මම මේ නාගයා ගේ සිවිය ද, සම ද, මස් ද, නහර ද, ඇට ද, ඇටමිදුලු ද නොගටා නාගයාගේ තෙද නසන්නේ් නම් යෙහෙකි ය” ඉක්බිති ව උන්වහන්සේ ඍද්ධි ප්‍රාතිහාර්යයෙන් තදින් දුම විහිද වූහ. පසුව නාගයා ක්‍රෝධ ගින්නෙන් වෙළීගත් අතර බුදුරදුන් තේජෝ ධාතුවට සමවැද ඍද්ධිමය ගින්නෙන් බැබළුණි. මුළු ගිනිහල්ගෙය ම ගින්නෙන් ඇවිළ ගත්තාක් සේ හාත්පසින් ද දිලිසෙමින් ගිනිදැල් විහිදීමට විය. එය දුටු ජටිලයෝ ගිනිහල්ගෙය වටා රැස්වී මනා රූ ඇති මහා ශ්‍රමණයන් වහන්සේට නාගයා විසින් පීඩා පමුණුවන ලද්දේ යැයි කීහ.

රැය පහන් වූ පසු බුදුරජාණන් වහන්සේ විසින් ඔද බිඳුණු නාගයා පාත්‍රයෙහි බහාගෙන ගොස් “කාශ්‍යප මේ ඔබේ නාගයා ය. නාගයාගේ තේජස මගේ තේජසින් මැඬ පැවැත්වීමි’යි උරුවේල කාශ්‍යපට නාගයා පෙන්වූ සේක.

එය දුටු ඔහු මෙතරම් චණ්ඩ, පරුෂ, ඍද්ධිමත් නාගයකු ගේ තෙද සිය තෙදින් නසා දැමූ මහා ශ්‍රමණයන් වහන්සේ මහත් ඍද්ධි ඇත්තේ ම ය. මහානුභාව ඇත්තේ ම ය. එහෙත් මා මෙන් රහත් නොවේ ම ය යන අදහසින් යුක්ත විය. එහෙත් බුදුරජාණන් වහන්සේගේ මෙම ඍද්ධි ප්‍රාතිහාර්යයෙන් වෙසෙසින් පැහැදුණු උරුවේල කාශ්‍යප

“මහා ශ්‍රමණයන් වහන්ස, මෙහි ම වාසය කරනු මැනවි. මම නුඹ වහන්සේට නිති බතින් සංග්‍රහ කරන්නෙමි” යි කීය.

පසුව බුදුරජාණන් වහන්සේ උරුවේල කාශ්‍යපගේ අසපුව සමීපයේ එක්තරා වන ලැහැබක විසූ සේක. තවත් බොහෝ ප්‍රාතිහාර්යයන් දක්වා අවසානයෙහි උරුවේල කාශ්‍යප තුළ පැවති තමා රහතන් වහන්සේ නමක් ය යන මතය ද වැරැදි බව පෙන්වා දුන්නේ ය. එය පිළිගත් උරුවේල කාශ්‍යප ප්‍රමුඛ ජටිල පිරිස හිස කෙස් ද, ජටා මඩුලු ද, තවුස් පිරිකර හා පිරිකර ද ගිනි පුදන උපකරණ ද නේරංජනා ගඟෙහි පා කොට යවා බුදුරදුන් වෙත එළඹ පැවිද්ද ඉල්ලා සිටියහ. උන්වහන්සේ ඔවුහු ඒහිභික්ෂු සම්පත්තියෙන් පැවිදි උපසම්පදා කළහ.

නේරංජනා ගඟ අසබඩ ම විසූ නදී කාශ්‍යප තවුසා ගඟේ පාවී යන තවුස් පිරිකර දැක ගඟ ඉහළ විසූ සිය සොහොයුරා ප්‍රමුඛ ජටිල පිරිසට අනතුරක් වූයේ දැ’යි, සොයා බලනු පිණිස තුන්සියයක් ජටිලයන් සමඟ වහා එහි පිටත් ව ගියහ. එහිදී හෙතෙම උරුවේල කාශ්‍යප ප්‍රමුඛ පිරිස ශාසනයෙහි පැවිදි ව සිටිනු දැක

“මේ පැවිදි බව තවුස් බවට වඩා උතුම්’දැයි ඇසුවේ ය.

“ඇවැත්නි, එසේ ය. මේ පැවිදි බව උතුම් යැ”යි උරුවෙල් කාශ්‍යප කීය. ඉක්බිති නදී කාශ්‍යප ප්‍රමුඛ එම ජටිල පිරිස ද තවුස් පිරිකර සියල්ල දියෙහි පා කොට යවා බුදුරදුන් වෙත එළඹ පැවිද්ද ඉල්ලා සිටියහ. උන්වහන්සේ ඒහි භික්ෂු සම්පත්තියෙන් ඔවුන් ද පැවිදි උපසම්පදා කරවූහ.

ගඟෙහි පාවී යන තවුස් පිරිකර දුටු ගයා කාශ්‍යප ප්‍රමුඛ පිරිස ද නදී කාශ්‍යප සේ ම කලබලයට පත්ව දිව අවුත් තත්ත්වය වටහා ගෙන සිය පිරිස සමඟ පැවිදි වූහ.

ඉක්බිති, බුදුරජාණන් වහන්සේ මෙකී දහසක් වූ ජටිල භික්ෂූන් වහන්සේ ද පිරිවරා ගෙන ගයා පෙදෙසට වැඩම කළහ. එහිදි බුදුරදුන් දේශනා කළ ආදිත්ත පරියාය සූත්‍රය අසා සියල්ලෝ ම රහත් භාවයට පත් වූහ.