පහදවාගත් සිතින් ම දානය පිළිගන්වන්න
දානං භික්ඛවේ
පණ්ඩිත පඤ්ඤත්තං
සත්පුරුෂ පඤ්ඤත්තං,
දන්දීම පණ්ඩිතයන් හා සත්පුරුෂයන් විසින් ම සිදු කරන්නකි’යි බුදුරජාණන් වහන්සේ මෙසේ
දේශනා කොට වදාළහ.
කෝසල සංයුක්තයේ අපුත්ථක සූත්‍රයෙහි සඳහන් ලෙස නගරසිඛී නම් පසේ බුදුරජාණන් වහන්සේට
එක්තරා සිටුවරයෙක් විසින් දානයට ආරාධනා කරනු ලැබීය. දානය පිළිගැනීම සඳහා උන්වහන්සේ
වැඩම කළහ.
සිටුතුමාගේ පූර්ව චේතනාව පිරිසුදු ය. දානය සඳහා ආරාධනා කළේ ය. සේවකයන් මඟින් දානය
සකස් කළේ ය. එහෙත් දානය පිළිගන්වන මොහොතේ සිටුවරයාගේ සිත කිලිටි විය. එනම් මුඤ්චන
චේතනාව අපිරිසුදු විය. තමන් විසින් ආරාධනා කළ දානය පසේ බුදුරජාණන් වහන්සේට
පිළිගන්වන්නේ නැති ව වෙනත් අයට ඒ කාර්යය පැවරීය. දන් පිළිගන්වන හා යමක්
පරිත්‍යාගයක් සිදු කරන මොහොතේ, එය පිළිගන්නා අයගේ යම් වූ ද අඩුපාඩුවක් දුටුවත්,
මුලින් පහදවාගත් සිතින් ම ඒ දානය පූජා කරන්න. පරිත්‍යාගය සිදු කරන්න.
අපර චේතනාව ද පිරිසුදු විය යුතුයි. දානයක් හෝ පරිත්‍යාගයක් කර අවසන් වූ පසු ඒ
වෙනුවෙන් වැය වූ මිල මුදල් පිළිබඳ කල්පනා නොකළ යුතුයි. දානය හෝ පරිත්‍යාගය හෝ සිදු
කළ අවස්ථාවේ දී සිදු වූ සිද්ධියක් පිළිබඳ කල්පනා කිරීම ද නොකළ යුතුයි. සිතක ඇතිවන
මේ අවස්ථාවන් තුන ඉතාමත් ම හොඳින් ගලපා ගන්න. පිරිසුදු කර ගන්න. හැකි නම් දානයකින්
හෝ පරිත්‍යාගයකින් හෝ ලබා ගත හැකි ඉහළ ම ආනිසංසය ළඟා කර ගැනීමට හැකියාව ලබන්නේ ය.
බුදුරජාණන් වහන්සේ ලෝකයේ පවතින උතුම් ධන හතක් පිළිබඳ ව දේශනා කළහ. ඒවා හඳුන්වන්නේ
සප්ත ආර්ය ධනය යනුවෙනි. ආර්ය නම් උසස්, ශ්‍රේෂ්ඨ යන්නයි.
පෘථග්ජන වූ අපට මොනතරම් දේපළ, මිල මුදල්, යාන - වාහන, ගේ - දොර වශයෙන් බාහිර සම්පත්
පැවතුණත් ඒවා උසස් ධනයක් ලෙස ම කල්පනා කිරීමට නොහැකි ය. උසස්, ශ්‍රේෂ්ඨ ධනයක් වන්නට
නම් එය ආර්ය ධනයක් ම විය යුතු ය.
මෙම ආර්ය ධනය මේ ලෝක වශයෙන් හා පරලෝක වශයෙනුත් අපගේ ජීවිතවලට බලපෑමක් කළ හැකි ය. ඒ
ලෙස ම සංසාර විමුක්තිය සාක්ෂාත් කර ගැනීම සඳහාත් අපට ආර්ය ධනය වැදගත් වෙව්.
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ආර්ය ධනයන් රැස් කර ගන්නා ලෙස ය.
දන් දීම අප සෑම කෙනෙක් ම පුරුදු පුහුණු කළ යුතු වේ. දන් දීම ආමරු කාර්යයක් වූවත්,
එය අපි පුරුදු කළ යුතු ම දෙයකි. කිසිම දිනෙක ලෝභී පුද්ගලයකුට දන්දීම පුරුදු –
පුහුණු කළ නොහැකි ය. මේ ලෝකයේ ඕනෑම පුද්ගලයෙක් තමන්ගේ වසඟයට, නැතිනම් තමන්ට අවශ්‍ය
කරන ආකාරයට දමනය කර ගැනීමේ හැකියාවක් දානය සතු ව පවතී. ඒ අවස්ථාව බුදුරජාණන් වහන්සේ
“අදත්ථං ධමතං දානංච” පෙන්වා දුන් සේක.
දන් දෙන තැනැත්තා අනිවාර්යයෙන් ම මේ ලෝක වශයෙන් ද, පරලෝක වශයෙන් ද සුගතිගාමී
භවයන්හි උප්පත්තිය ලබයි. ඒ වගේ ම මේ ලෝක වශයෙන් ජීවිතය වාසනාවන්ත වන අතර, පරලෝක
වශයෙන් ජීවිතය වාසනාවන්ත කර ගැනීමට හැකියාව ලබන්නේ ය. අන්න ඒ නිසයි බුදුරජාණන්
වහන්සේ දන්දීම ඉතා උතුම්, ශ්‍රේෂ්ඨ පුණ්‍ය ක්‍රියාවක් ලෙසට දේශනා කොට වදාළේ. එලෙස ම
දන් දෙන්නා සමාජය ඉදිරියේ පි‍්‍රයශීලි, පුද්ගලයෙක් බවට ද පත්වේ.
බුදු බව ප්‍රාර්ථනා කරන බෝධිසත්ව උතුමෙක්, සිය ආධ්‍යාත්මික චාරිකාවෙහි පළමු කොට
සම්පූර්ණ කරන්නේ දානයෙනි. දස පාරමිතාවෙහි මුල් ම පාරමිතාව වන්නේ ද දාන පාරමිතාවයි.
දන් දීම අසත්පුරුෂයන් හට සිදු කිරීමට පුළුවන් දෙයක් ද නොවෙයි. දන් දීම සිදු කිරීමට
හැකියාව ඇත්තේ සත්පුරුෂ උත්තමයකුට ම ය.
සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයාගේ පුහුදුන් මනස නිරතුරුව ම බර වන්නේ එකතු කිරීමට, ගොඩගසා
ගැනීමට හා තව යමක් ලබා ගැනීම සඳහා ම ය. යමක් අත්හැරීමේ දී ඒ ආකාරයට සිත නැඹුරුවීමක්
දකින්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැත.
අනාථ පිණ්ඩිකෝවාද සූත්‍රයේ දී අපට පැහැදිලි වන්නේ. අනේපිඬු සිටුතුමා, එතුමාගේ
ජීවිතයේ අවසාන කාලයේ දී ආර්ථික වශයෙන් පරිහානියට මුහුණ දුන් බවයි. නමුත් අතීතයේ
සිදු කළ දානමය පුණ්‍ය කර්මයන් පිළිබඳ අබමල් රේණුවක තරම්වත් කලකිරීමක් ඇති කර නො
ගැනීමට තරම් වු මානසික ශක්තියක් එතුමා ගොඩනඟාගෙන තිබුණි. ඒ අනේපිඬු සිටුතුමා
තුන්සිත ම පහදවා ගෙන දන් දුන් නිසයි.
තුන් සිත නම් පූර්ව චේතනාව, මුඤ්චන චේතනාව හා අපර චේතනාවයි. පූර්ව චේතනාව නම්
දන්දීමට පෙර, එනම් දෙන දානය පිළිබඳ පූර්ව වශයෙන් පැහැදීමක්, පිරිසුදු චේතනාවක් ඇති
ව සූදානම් වීමයි. දන් දෙන අවස්ථාවේ දී එනම් එහි යෙදී සිටින අවස්ථාවේ දී සිතේ
හටගන්නා ස්වභාවය මුඤ්චන චේතනාවයි. යම් වූ ද දානයක් හෝ පරිත්‍යාගයක් හෝ කර අවසන් වූ
පසු සිතක ඇතිවන ස්වභාවය අපර චේතනාවයි. දීපා පෙරේරා |