බුදුරජාණන් වහන්සේ වදාළ සීමා සම්මතය
සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්මේ මූලික සාධකයක් නම් උපෝසථ විනය කර්මය යි. එම විනය
කර්මය කළයුතු සම්මත ස්ථානය “සීමාව“ නම් වේ. සීමා සම්මතයේ ආරම්භය හා විකාශය විනය
පිටකයේ අන්තර්ගත වන්නේ මෙසේ ය.
එකල්හි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහනුවර සමීපයෙහි වූ ගිජුකුළු පව්වෙහි වැඩ වසන
සේක. එ සමයෙහි අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ තුදුස්වක්හි ද පසළොස්වක්හි ද පක්ෂයේ
අටවක්හි ද එක්තැන් වී දහම් (කටයුතු නොකටයුතු) කියා දෙත්. මිනිස්සු ඒ දහම් ඇසීමට
ඔවුන් වෙත යත්. ඔහු අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් කෙරෙහි ප්‍රේමය ලබත්. පැහැදීම ලබත්.
අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ පක්ෂබල ලබත්.
රාජ්‍ය ඉල්ලීම
එකල්හි එකලා වූ සිත එකඟ කොට සිටි මගධෙශ්වර වූ සෙනා ඇති බිම්බිසාර රජහට “දැන් අන්‍ය
තීර්ථක පරිබ්‍රාජකයෝ තුදුස්වක්වක්හි, පසළොස්වක්හි, පක්ෂයේ අටවක්හි රැස්වී ධර්මය
කියා දෙත්. ඒ මිනිස්සු ඒ දහම් ඇසීමට ඔවුන් වෙත යත්. එයින් ඔහු අන්‍ය තීර්ථක
පරිබ්‍රාජකයන් කෙරෙහි ප්‍රේමය ලබත්. පැහැදීම ලබත්. අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ පක්ෂබල
ලබත්. අපගේ ආර්යයන් වහන්සේත් තුදුස්වක්හි, පසළොස්වක්හි, පක්ෂයේ අටවක්හි රැස්
වන්නාහු නම්, වැඩෙක් වන්නේ ය” යි සිත් විය.
ඉක්බිති මගධෙශ්වර වූ සේනා ඇති බිම්බිසාර රාජ තෙමේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය.
එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන්නා වූ මගධේශ්වර වූ සේනා ඇති
බිම්බිසාර රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළේ ය. ස්වාමිනී, මෙහි එකලාව සිත
එකඟ කොට සිටි මට
“දැන් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ තුදුස්වක්හි පසළොස්වක්හි, පක්ෂයේ අටවක්හි රැස් වී
මිනිසුන්ට යුතු අයුතුකම් කියා දෙති. මිනිස්සු එය ඇසීමට ඔවුන් කරා යන්නෝ ය. එයින්
ඔවුහු අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් කෙරෙහි ප්‍රේමය ලබත්. පැහැදීම ලබත්. අන්‍ය තීර්ථක
පරිබ්‍රාජකයෝ පක්ෂ බල ලබත්. අපගේ ආර්යයන් වහන්සේලාත් තුදුස්වක්හි, පසළොස්වක්හි,
පක්ෂයේ අටවක්හි රැස්වන්නෝ නම් වැඩෙක් වන්නේ යැයි සිත් විය.
ස්වාමිනී, ආර්යයන් වහන්සේත් තුදුස්වක්හි පසළොස්වක්හි පක්ෂයේ අටවක්හි රැස්වන්නාහු
නම්, යහපතැයි රජතෙමේ සැල කළේ ය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මගධේශ්වර වූ සෙනා ඇති බිම්බිසාර රජුට දැහැමි කතාවෙන්
කරුණු දැක්වූහ. සමාදන් කරවූහ. තියුණු කරවූහ. සතුටු කරවූහ. භාග්‍යවතුන් වහන්සේ
විසින් දැහැමි කතාවෙන් කරුණු දක්වන ලද, සමාදන් කරවන ලද, තියුණු කරවන ලද, සතුටු කරවන
ලද මගධෙශ්වර වූ සෙණිය බිම්බිසාර රජ තමේ හුනස්නෙන් නැඟිට භාග්‍යවතුන් වහන්සේ වැඳ
පැදකුණු කොට නික්ම ගියේ ය.
අනතුරුව භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි, මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්ෂූන්
ඇමතූ සේක.
“මහණෙනි, තුදුස්වක්හි, පසළොස්වක්හි, පක්ෂයේ අටවක්හි රැස්වන්ට අනුදනිමි’යි වදාළ සේක.
එකල්හි භික්ෂුහු
‘භාග්‍යවතුන් වහන්සේ විසින් තුදුස්වක්හි පසළොස්වක්හි, පක්ෂයේ අටවක්හි රැස්වන්ට
අනුදක්නාලදැ’යි තුදුස්වක්හි, පසළොස්වක්හි, පක්ෂයේ අටවක්හි රැස් වී නිශ්ශබ්ද ව
හිඳිත්. මිනිස්සු දහම් ඇසීමට ඒ භික්ෂූන් වෙත පැමිණෙත්. ඒ මිනිස්සු කෙසේ නම්, ශ්‍රමණ
ශාක්‍යපුත්‍රයෝ තුදුස්වක්හි, පසළොස්වක්හි, පක්ෂයේ අටවක්හි රැස්ව ගොළු ඌරන් මෙන් නො
බැණ හිදිත් ද? රැස් වූවන් විසින් දහම් ඇසිය යුතු නොවේදැයි අවමන් කෙරෙත්. නින්දා
කෙරෙත්. දොස් කියත්.
භික්ෂූහු බණින, දොඩන, දොස් කියන ඒ මිනිසුන්ගේ බැණුම් දෙඩුම් ඇසූහ. ඉක්බිති ඒ
භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට මේ බව සැල කළහ.
ඉක්බිති, භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි, මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්ෂූන්
ඇමතූ සේක. මහණෙනි, තුදුස්වක්හි, පසළොස්වක්හි, පක්ෂයේ අටවක්හි රැස්වී දහම් දෙසන්නට
අනුදනිමියි.
ඉන්පසු එකලා ව වේලාකයෙන් වැඩ හුන් භාග්‍යවතුන් වහන්සේට ‘මා විසින් භික්ෂූන්ට යම්
සිකපද කෙනෙක් පණවන ලද ද, ඒක සිකපද ඔවුන්ට පාමොක් උදෙසීම් කොට අනුදන්නෙමි නම් යෙහෙක.
ඒ පාමොක් උදෙසීම් ඔවුන්ට පෙහෙවස්කම් වන්නේය’යි අදහස් විය.
ප්‍රාතිමෝක්ෂ දේශනාව
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි පලසමවතින් නැඟී සිටි සේක්. මේ නිදානයෙහි
මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්ෂූන් ඇමතූ සේක.
“මහණෙනි, මෙහි එකලා වූ පලසමවතින් යුක්ත වූ මට “මා විසින් භික්ෂූන්ට යම් සිකපද
කෙනෙක් පණවන ලද ද, ඒ සිකපද මම ඔවුන්ට පාමොක් උදෙසීම් කොට අනුදන්නෙ'මි නම් යෙහෙක. එය
ඔවුන්ට පෙහෙවස්කම් වන්නේ ය ‘යි සිත් විය. මහණෙනි, පාමොක් උදෙසන්නට අනුදනිමි. එය
මෙසේ උදෙසීය යුතු ය. ව්‍යක්ත වූ, ප්‍රතිබල භික්ෂු නමක් විසින් සංඝ තෙමේ දැන්විය
යුතු ය. සංඝ තෙමේ මාගේ වචනය අසවා සංඝයාට කල් පැමිණියේ නම්, සංඝ තෙමේ පොහොය කරන්නේ
ය. පාමොක් උදෙසන්නේ ය. සංඝයාගේ පූර්වකෘත්‍යය කිම? ආයුෂ්මතුනි, පිරිසුදු බව සැල කරවූ
පාමොක් උදෙසන්නෙමි. ඒ පාමොක් මේ පිරිසෙහි වූ අපි සියලු දෙන ම මනා කොට අසමු. මෙනෙහි
කරමු. යමෙකුට ඇවැතෙක් වේ නම්, හෙතෙමේ එය කියන්නේ ය. ඇවැත් නැති කල්හි නිශ්ශබ්ද විය
යුතු ය. නිශ්ශබ්ද වීමෙන් ආයුෂ්මතුන් පිරිසිදුයි දැන ගන්නෙමි. යම් සේ වෙන් වෙන් කොට
විචාරණය ලද්දහුගේ (මා විචාරන්නේ යයි දැන) විචාළ දෑ කිමෙක් වේ ද එපරිද්දෙන් ම මෙබදු
පිරිස්හි තෙවන වර තෙක් අස්වන ලද්දේ වේ. යම් මහණෙක් තෙමේ තෙවනවර තෙක් අස්වනු ලබන
කල්හි තමා කෙරෙහි ඇති ඇවැත සිහිපත් කරමින් ප්‍රකාශ නොකරේ නමි, සමිපජානමුසාවාදය වේ.
ආයුෂ්මතුනි, සමිපජානුමුසාවාදය අන්තරායකර ධර්මයෙකැයි භාග්‍යවතුන් වහන්සේ විසින්
වදාරණ ලද්දේ ය. එහෙයින් ඇවැතට පැමිණියා වූ, ඒ ඇවැත සිහිපත් කරන්නා වූ පිරිසුදු බව
බලාපොරොත්තු වන්නා වූ භික්ෂුහු විසින් ඇති ඇවැත කිය යුතු ය. ඒ එසේ ම ය. ප්‍රකාශ
කිරීම හේතු කොට ඒ ඕහට පහසු වෙයි.
“පාතිමොක්ඛං” යනු මේ සංවරසීලය තෙමේ “පාති” සංඛ්‍යාත කුසල ධර්මයන්ට ආදී වේ. මේ
මුඛ්‍ය වේ. මේ ප්‍රධාන වේ. එහෙයින් “පාතිමොක්ඛං” යි කියනු ලැබේ. (පාතිමොක්ඛන්ති)
ආදිමෙතං මුඛමෙතං පමුඛමෙතං කුසලානම් ධම්මානම් කෙන වුච්චති” පාකිමොක්ඛන්ති)
ආයස්මන්තො” යනු පි‍්‍රය වචනයෙකි. ගරු වචනයෙකි. අවවාද පිළිගන්නාවුන්ට ගෞරව කළ
යුත්තන් ඇසුරු කළවුන්ට නමෙකි. එහෙයින් “ආයස්මන්තො” යි කියනු ලැබේ. (ආයස්මන්තො’ති
පියවචනමෙතං ගරු වචන මෙතං සගාරව සප්පතිස්වාධිවචන චේතං ආයුස්මන්තො’ති)
“උද්දිසිස්සාමි” යන්නෙහි කියන්නෙමි, දෙසන්නෙමි, පණවන්නෙමි, තබන්නෙමි, විවෘත
කරන්නෙමි, බෙදන්නෙමි, ප්‍රකට කරන්නෙමි, ප්‍රකාශ කරන්නෙමි යන අර්ථයි.
උද්දිසිස්සාමි’ති ආචික්ඛිස්සාමි දෙසිස්සාමි පඤ්ඤාපෙස්සාමි. පට්ඨාපෙස්සාමි
විවරිස්සාමි උත්තානි කරිස්සාමි. විභජිස්සාමි. පකාසිස්සාමි)
“තං” යි ප්‍රාතිමොක්ෂය කියනු ලැබේ. “සබ්බෙව සත්තා” යනු ඒ සලාපිරිසෙහි ස්ථවිර, නවක,
මධ්‍යම යම් පමණ භික්ෂුහු වෙත් ද, කෙළ පැවිද්දෝ “සබ්බෙව සත්තා” යි කියනු ලැබෙත්.
“සාධුකං සුණොම” යන්නෙහි. අර්ථවත් කොට මෙනෙහි කොට මුළු හිතින් සලකමු යන අර්ථයයි.
“මනසි කරොම” යන්නෙහි ප්‍රයෝජන සලකා මෙනෙහි කොට මුළු හිතින් මනාකොට ගණිමු යන
අර්ථයයි.
“යස්ස සියා ආපත්ති” යන්නෙහි අර්ථ නම් - තෙරනමකට හෝ නවකයකුට හෝ මධ්‍යමයකුට හෝ
පඤ්චාපත්තිස්සකන්ධයන් අතුරෙන් එක්තරා ඇවැතක් හෝ සවිතාපත්තිස්කන්ධයන් අතුරෙන් එක්තරා
ඇවැතක් වී නම් යනුයි.
“සො ආවීකරෙය්‍ය” යන්නයි. අර්ථය නම් - ඒ භික්ෂු තෙමේ සංඝයා මැද හෝ, ගණයා මැද හෝ එක්
පුද්ගලයෙකු ඉදිරියෙහි හෝ දෙසන්නේ ය. ඒ භික්ෂු තෙමේ විවෘත කරන්නේ ය. ඒ භික්ෂු තෙමේ
ප්‍රකට කරන්නේ ය. ඒ භික්ෂු තෙමේ ප්‍රකාශ කරන්නේ යනුයි.
“අසත්තී තාම ආපත්ති” යනු නො පැමිණියා වූ හෝ පැමිණ නැඟී සිටියා වූ හෝ ඇවැතයි. දිනපතා
ප්‍රාතිමෝක්ෂය නොදෙසිය යුතු ය. භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රාතිමෝක්ෂය උදෙසීමට
නියම කරන ලද්දේ යැයි කියමින් සමහර භික්ෂූන් වහන්සේ දිනපතා ප්‍රාතිමෝක්ෂය දෙසත්.
දිනපතා පාමොක් දෙසීමෙන් දුක්කටාපත්ති යි එය තහනම් කළ සේක.
පොහෝ දිනයෙහි පාමොක් උදෙසන්නට අනුදනිමි. “අනුජානාමි භික්ඛවේ උපොසථෙ පාතිමොක්ඛං
උද්දිසිතුන්ති
එකල්හි භික්ෂුහු” භාග්‍යවතුන් වහන්සේ විසින් උපොසථ දිනයෙහි පාමොක් උදෙසීම අනුදන්නා
ලද” යි තුදුස්වක්හි ද පසළොස්වක්හි ද, පක්ෂයේ අටවක්හිද දැයි පාමොක් උදෙසීම අනුදක්නා
ලද” යි තුදුස්වක්හි ද පසළොස්වක්හි පක්ෂයේ අටවක්හිදැයි පක්ෂයට තෙවරක් පාමොක් උදෙසත්,
එම නිසා පක්ෂයකට තෙවරක් පාමොක් නො උදෙසිය යුතුයි. යමෙක් දෙසන්නේ නම්, ඉකුළා ඇවැත්
වේ. පක්ෂයකට වරක් තුදුස්වක්හි හෝ පසළොස්වක්හි හෝ පාමොක් උදෙසන්නට අනුදනිමි.”
උපොසථක්ඛන්ධකයේ සඳහන් ය.
රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිනි.
- හේමමාලා රන්දුනු |