Print this Article


අවසාන කාලයේ අනතුරුදායක ඉඟි නො ලබමු

අවසාන කාලයේ අනතුරුදායක ඉඟි නො ලබමු

මේ ලෝකයේ උපන් සෑම සත්ත්වයෙක් ම අඛණ්ඩ ව මරණය කරා ගමනක යෙදී සිටිති. එනිසා ම පමා නොවී තමා තුළ ම ආරක්ෂිත රැකවරණයක් ස්ථාපිත කර ගත යුතුයි.

කිසිදු භේදයකින් තොරව අප සියලු දෙනා ඉපදීම හා මරණය අත්දකී. කිනම් ගෝත්‍රයකට අයත් වුව ද, කිනම් සමාජ තලයක සිටිය ද මරණය ඉදිරියේ සෑම දෙනා ම එක සමාන වේ. හෙට උදේ මරණය සිදු වේ ද? අද සවස මරණය සිදු වේ දැයි අප නො දනී. නමුත් නිසි වේලාව පැමිණි විට මරණය අප කරා එන බව නම් නියත ය.

ඉපදෙමින් - මැරෙමින්, ඉපදෙමින් - මැරෙමින් සසර ගමනක යෙදී සිටින අප තුළ ඉපදීම, ජරාවට යාම, මරණය යන චක්‍රය නො නවත්වා ම ක්‍රියාත්මක වේ. මරණය පැමිණි කල බියකින් තොරව ඊට මුහුණ දීමට සහ සිත, කය, වචනය සංවරයෙන් ඇලීමකින් තොර ව හුස්ම පොද අත්හරින්නට අපට උපකාරී වන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය පමණයි.

උන්වහන්සේ වදාළ අයුරින් ගිහි වේවා, පැවිදි වේවා, ස්ත්‍රී හෝ පුරුෂ වේවා නිතර මරණය සිහි කළ යුතු බව හා ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතු බව පැහැදිලි වේ. අප වඩාත් අවධානයෙන් සිටිය යුත්තේ මරණාසන්න මොහොතේ දී බොහෝ විට අප මානසික ව ඇද වැටෙන්නට තිබෙන ඉඩකඩ වැඩි හෙයිනි. විශේෂයෙන් ධර්මයට ජීවිතය පුරුදු නො කළ කෙනකුගේ අවසාන කාලය ඉතාමත් අනතුරුදායක විය හැකි ය. ඒ ඔහු ධර්මය ජීවිතයට හඳුනාගෙන නොමැති බැවිනි.

මනුස්ස ජීවිතයේ බොහෝ වටිනාකමක් ඇත. අවසන් මොහොත ඊටත් වඩා වටී. එසේනම් මරණාසන්න මොහොත තුළ දී ගෙවී යන්නේ ජීවිතයක වටිනාම මොහොත බව සිහි කළ යුතු ය. එබැවින් උපන් මොහොතේ පටන් මරණ මංචකය දක්වා ම රැකවරණයක් අවශ්‍ය බව තේරුම් ගත යුතු ය.

මනුෂ්‍ය ජීවිතයෙන් ප්‍රයෝජන නො ගත් බොහෝ පිරිසකගේ ජීවිත මුහුණ දෙන්නේ භයානක ඉරණමකට ය. මේ අනතුරින් නිදහස් වීමට වාසනාව ඇත්තේ අවබෝධයෙන් යුතු ව තිසරණය තුළ පිහිටා සීලා දී ගුණධර්ම දියුණු කර ගත් ආර්ය ශ්‍රාවකයාට පමණයි.

ඇතැම් විට සමාජයේ ඇතැම් අය මරණාසන්න රෝගියා ඉදිරියේ හැසිරෙන්නේ නිවැරැදිව ද?

රෝගියාගේ අසනීපය වසන් කරමින්, අසත්‍ය කියමින් ඔහු මුළාවට යොමු කළ යුතු නොවේ. එවිට මරණාසන්න පුද්ගලයාගේ සිත තව තවත් ආශාවට මැදිව හීන වූ කාම ලෝකය කෙරෙහි ම සිත පිහිටුවා ගැනීමට ඉඩ ඇත. එවිට ඔහුට ධර්මය සිහි කරමින්, ජීවිතයේ යථා ස්වභාවය දකිමින් සුගති උපතක් කරා යෑමට ඉඩ නො ලැබේ.

මවුපියන් මරණාසන්න වූ විට සමහර දරුවෝ කළ යුත්තේ කුමක්ද නොදනී. විවිධ ශාන්තිකර්ම කෙරෙහි යොමු වේ. එහෙත් මරණාසන්න තැනැත්තාට එයින් පිහිටක් නො ලැබේ. එනිසා ලෞකික සම්මාදිට්ඨියට පැමිණි ආර්ය ශ්‍රාවකයා තමන් හෝ තම ඥාතියා හෝ කළ පින ගැන සිතා සතුටු වීම සහ කර්මඵල ගැන විශ්වාසයක් ඇති කර ගෙන ඒ ගැන සිතීම ප්‍රයෝජනවත් වනු ඇත. එනිසා මරණාසන්න පුද්ගලයකු ඉදිරියේ අදූරදර්ශී ව කටයුතු කිරීම ආර්ය ශ්‍රාවකයකු විසින් නොකළ යුතු වේ. මිය යන ඥාතියා සතර අපායේ උපතක් කරා ගියහොත් සමහර විට ඔහුට නැවත කල්ප ගණනකට සුගති ලොවක උපතක් ලද නොහැකි යි.

මනුෂ්‍ය ජීවිතයක උපත ලැබීම කණ කැස්බෑවකු වියසිදුරෙන් අහස බලනවාටත් වඩා දුර්ලභ දෙයක් යැයි තථාගතයන් වහන්සේ වදාළ හෙයින් මිනිසත් බවයක උපත කොතරම් දුර්ලභ දැයි සිතා බැලීම වටී.

ඔබ දන්නවා, අංගුත්තර නිකායේ “නකුලපිතු” සූත්‍ර දේශනාව. තමන්ගේ ස්වාමියා මරණාසන්න වූ අවස්ථාවේ දී බිරිය විසින් ස්වාමියාගේ හිත සුගතියේ පිහිටුවීමට ගත් උත්සාහය අපට ඉතාමත් ප්‍රයෝජනවත්. එහිදී ඒ නකුල මාතාව කියනවා ‘පින්වත, ඔබ හිතන්න පුළුවන් ඔබ මියගිය පසු මට මේ දරුවන් පෝෂණය කළ නොහැකි බව. එබඳු අදහසක් ඇතිව නම් මියයන්න එපා. මට දරුවන් පෝෂණය කරන්න සවි ශක්තිය පවතිනවා. ඒ වගේ ම මේ ගෙවල් දොරවල් පාළුවට යයි, මේවා බලාගන්න බැරිවේවි යැයි කියා නො සිතන්න. මේ ගෙවල් දොරවල් වතුපිටි සියල්ල නැසී වැනසී යන දේ නිසා ඒ කෙරෙහි ඇල්මක් ඇති කර නො ගන්න. ඔබගේ මරණයෙන් පසුව මා වෙනත් සැමියකු සමඟ විවාහ වෙයි කියා සැක නො සිතන්න. පින්වත, එසේ සිතිවිල්ලක් ඇතිව මිය නො යන්න. මම ගෘහස්ථ බ්‍රහ්මචාරී සීලයේ හික්මෙන සිල්වත් කාන්තාවක් වෙමි. එමෙන් ම ඔබගේ මරණයෙන් පස්සේ මට ධර්මයේ හැසිරෙන්න සිල්වත්, ගුණවත් භික්ෂූන් වහන්සේ ඇසුරු කිරීමට සීල, සමාධි, ප්‍රඥා සම්පූර්ණ කරන්න බැරි වේවි යැයි කියා සැකයක් ඇති කර නො ගන්න. ඔබ අපගේ ශාස්තෘන් වහන්සේගෙන් අසන්න. මම සීල, සමාධි, ප්‍රඥා වඩන කාන්තාවක් බව උන්වහන්සේ බුදු නුවණින් හඳුනාගෙනයි සිටින්නේ.

මේ ආකාරයට කරුණු කියා මරණාසන්න වූ තම සැමියාගේ සිතෙහි තෘෂ්ණාව නැති කර තෘෂ්ණාවේ ආදීනව පෙන්වා දුන්නා ය. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහිත්, ශ්‍රී සද්ධර්මය, ආර්ය මහ සඟරුවන කෙරෙහිත් ගුණ කියා තෙරවන කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇති කළා ය. ආර්ය කාන්ත සීලය වගේ ම සීලයේ තිබෙන අනුසස් ආදී කරුණු විස්තර කරමින් සෝතාපන්න අංගවල සිත පිහිටුවා ගැනීමට උදව් කළා ය.

සමාජයේ ජීවත් වන ඇතැමෙක් මීට හාත්පසින් ම වෙනස්. ඇතැම් අය පවසන්නේ අප කාටවත් කරදරයක් කරන්නේ නැතුව ජීවත් වෙනවා. ඒ නිසා අප අමුතුවෙන් ධර්මයක හැසිරෙන්න ඕන නැහැ. අප මැරෙන්න බය නැහැ යැයි හඟවනු කියනු ලැබේ. ඔහු තෙරුවන් සරණ ගිය ආර්ය ශ්‍රාවකයකු නම් කිසි දිනක ඒ ආකාරයට නො හැසිරේ. පුද්ගලයා සෝතාපන්න ඵලයට පත්වෙන තුරු ම සතර අපායෙන් නිදහස් වීමක් නැති බව ශ්‍රාවකයා දනී.

ඒ වගේම මරණාසන්න කාලයේ සිහි මුළාවට පත්වීම ද ඉතා අවාසනාවන්ත සිදුවීමකි. අපගේ සිහිය මුළා වන්නේ ජීවත්ව සිටින කාලයේ දී ධර්මය ප්‍රගුණ නොකොට සිත භාවනාවකට නො යෙදීම නිසයි. ධර්මයේ හැසිර සතර සතිපට්ඨානය තුළ සිහිය පිහිටුවා ගෙන සිහිය දියුණු කළා නම්, එබඳු අයකු සිහි මුළා වෙන්නේ නැති තරම්. සිහි මුළා වී මරණයට පත්වෙන කෙනකුට කුසල අරමුණක සිත පිහිටුවා ගන්නට හැකියාවක් නො ලැබේ.

එනිසා සිහිය, නුවණ තිබෙන කාලය තුළ දී අප අප්‍රමාදී ව ධර්මයේ සිත පිහිටුවා ගෙන මේ ලැබුණු මනුෂ්‍ය ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන ගත යුතු වේ. සිහි මුළා වූවාට පසු මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම පිළිබඳ ව අවබෝධ නොවේ. සිහි මුළා වූ කෙනකුට ධර්මය කියා දී, කුසලයක හිත පිහිටුවීමට නොහැකි නිසා ධර්මානුකූල නොවූ තැනැත්තා පරිපූර්ණ වූ ආශා ඇතිව නො සන්සිඳුණු ආශා ඇතිව නොයෙක් බලාපොරොත්තු ඇතිව අපේක්ෂා සහිතව මිය යාමට ඉඩ ඇත. ඔහුට කර්මය පිළිසරණ කර ගෙන කර්මානුරූපී ව උපතක් කරා යෑම මිසක් වෙන පිහිටක් නැත.

නමුත් ධර්මානුකූල පුද්ගලයා ඊට වෙනස් ය. සෑම විටම සිහියෙන් ඉන්න පුරුදු වූ නිසා මරණාසන්න මොහොතේදීත් කුසල ශක්තියෙන් යුක්ත වේ. අකුසලයේ ආදීනව දන්නා හෙයින් අකුසලය ප්‍රහාණය කිරීමට උත්සාහ දරනු ලැබේ.

මරණ සතිය නො වැඩූ පුද්ගලයෙක් මරණය අභියස දී “මට මැරෙන්න බැහැ. මැරෙන්න බයයි” කියමින් දුක් වුවත්, ආර්ය ශ්‍රාවකයාට එවැනි මොහොතක තැති ගන්නේ, වැළපෙන්නේ නැතිව අනිත්‍ය දකිමින් එයට මුහුණ දීමට ශක්තිය ඇත.

එබැවින් සිහිය, නුවණ තිබෙන කාලයේ දී ධර්මයේ හැසිරී අවශ්‍ය රැකවරණය සාදාගෙන පරලොව ගමනට වියදම් සොයා ගැනීම තම තමා විසින් ම කළ යුතු වේ.