Print this Article


අභිවෘද්ධිය උදෙසා කාල කළමනාකරණය ශාස්ත්‍රපති

අභිවෘද්ධිය උදෙසා කාල කළමනාකරණය ශාස්ත්‍රපති

දියුණුව, අභිවෘද්ධිය තුළ ප්‍රධාන සාධකය වන්නේ කාලය යි. අද එක් එක් ජීවිත දෙස බැලුවේ නම් කාලය අපතේ යවන, ඒ ඒ වේලාවට කළ යුතු කටයුතු අතපසු කිරීම ආදී දේ ඉහළ සිට පහළ දක්වා ම දැකිය හැකි ප්‍රධාන ලක්ෂණයකි.

සෑම කෙනෙක් ම කාලය කළමනාකරණය කොටගෙන තම තමන්ගේ කාර්යභාරය ඉටු කරනවා නම් රටක්, සමාජයක් හැටියට මීට වඩා අභිවෘද්ධියක් සේ ම කාටත් සේවයක් සිදු වන බව කීමට පුළුවන. බුද්ධ චරිතයෙන් ඒ බව අපට මනාව පිළිබිඹු වේ. බුදුරජාණන් වහන්සේ මුළු මානව සත්ත්වයාට ම කරුණාවෙන්, දයාවෙන් මෛත්‍රියෙන් සේවය කළ, දුකට පිහිට වූ ශාස්තෘවරයාණන් වහන්සේ නමකි.

ඒ සියල්ල සිදු කළේ කාලය අපතේ නොයන අයුරින් කාලය කළමනාකරණය කොටගෙන ය. ඒ අනුව උන්වහන්සේ දිනය, කොටස් 5කට බෙදා ගත්හ. සැතපීම උදෙසා පැය 4ක් වැනි සුළු කාලයක් තබා ගෙන අන් සියලු කාලය ලෝක සත්ත්වයාගේ දුක නිවීම සඳහා කැප කළහ. එය අද වුව ද කෙනකුට කාලය අපතේ නොයවා සේවය කිරීමට ඉතා වැදගත් වනු ඇත. එම කොටස් පහ නම්,

පෙරබත් කිස - පෙරවරු කාලය තුළ කළ යුතු කටයුතු,

පසුබත් කිස - දහවල් කාලයේ සිට හිරු බැස යන තෙක් කාලය,

පෙර යම් කිස - රාත්‍රී ප්‍රථම යාමය තුළ කාලය,

මැදියම් කිස - මුළු මැදියම් කාලය

සුළුයම් කිස - රාත්‍රියේ පශ්චිම යාමයයි.

බුද්ධ චරිතය තුළ හෝ ශ්‍රාවක චරිත තුළ හෝ කිසිම අවස්ථාවක කාලය අපතේ යන ක්‍රියාවලියක් නොතිබුණි. බුද්ධ චරිතයෙන් නිතර ම නිකුත් වුණේ “අප්පමාදො අමත පදං - පමාදො මච්චුනො පදං” යන දර්ශනයයි. නොපමාවූවෝ නොමියති. (නිවනට යති) පමාවූවෝ මරණය වැළඳගත් මළවුන් වැනි ය යනුවෙනි. මුළු මහත් ධර්මස්කන්ධය ම අන්තර්ගත කරමින් උන්වහන්සේ නිරන්තරයෙන් දේශනා කළේ කාලය අපතේ නොයවා තම විමුක්තිය සලසා ගන්නා ලෙසයි.

බුදු හිමි දේශනා කළ මුල්ම බුද්ධ වචනය තුළ වුව ද ඒ බව පැහැදිලි ය. එහිදී “මා එකෙන ද්වෙ අගමිත්ථ” “දෙදෙනෙක් එක මඟ නොයව්” යන වචනය තුළ කාලය අපතේ නොයොදවන ක්‍රමය කියා දී ඇත. දෙදෙනෙක් එකමඟ යෑමේ දී ඉලක්කය වැරැදීමට ද පුළුවන. අනෙක් එක්කෙනෙකුගෙන් සිදු විය යුතු සේවය ප්‍රමාද වීමට ද පුළුවන. අද රටක, සමාජයක එක්කෙනෙක්, දෙදෙනෙක් කළයුතු ක්‍රියා සමහර අවස්ථාවල දහදොළොස් දෙනා යොදවා සිදු කරන අයුරු පැහැදිලි වේ.

අද පවතින්නේ තාක්ෂණය අතින් දියුණු ලෝකයකි. එදා විසි තිස් දෙනාගේ ශ්‍රමය තුළින් කළ කටයුතු අද සුළු වේලාවක් තුළ යන්ත්‍ර සූත්‍ර තුළින් සිදු කිරීමට පුළුවන. නමුදු මෙතෙක් පැවතුණ රාජ්‍ය පරිපාලනය තුළ වුව ද කාලය අපතේ යවන මිනිසුන් උදෙසා ඔවුන් නිසි අයුරින් මෙහෙයවා කාලය කළමනාකරණය කොට, ඔවුන්ගේ කාලය අපතේ නොයන ක්‍රමවේදයක් දියත් කර නොමැත.

ජපානය, තායිවානය, සිංගප්පූරුව වැනි රටවල් ගත් කල්හි දිනෙන් දින සිදුවන අභිවෘද්ධිය ඇත්තේ කාල කළමනාකරණය සමඟ ය. උදාහරණයක් වශයෙන් සිංගප්පූරුවේ බස් සේවය ගත් කල්හි එම බස් තුළ රියැදුරා පමණක් සේවය කරයි. අලුත් තාක්ෂණය ප්‍රයෝජනයට ගෙන දෙදෙනෙක් කළ යුතු ක්‍රියාව එක් කෙනකු කරන ක්‍රමවේද සලසා ඇත. එය දියුණු වන රටක ලක්ෂණයකි. එහිදී කිසි කෙනකුට අනවශ්‍ය සොරකම් හෝ අනිසි ක්‍රියා සිදු කිරීමේ ප්‍රවණතාව කොහෙත්ම නොමැත.

කාල කළමනාකරණය තුළ ඇත්තේ රටක අභිවෘද්ධිය පමණක් නොව පුද්ගල අභිවෘද්ධිය ද, සිදුවීම ය. එය ලෞකික, ලෝකෝත්තර දෙඅංශයට ම බලපාන අයුරින් සිදු වේ. අප රටේ ම කොපමණ පිරිසක් කාලය අපතේ යවමින් රටේ අභිවෘද්ධියත්, එකිනෙකාගේ අභිවෘද්ධියත් නැති කරනු අයුරු අප කොපමණ දැක තිබෙනවා ද? දුරුකතර ගෙවා ගෙන වැඩක් කර ගැනීමට යන පුද්ගලයාට අනන්ත, අප්‍රමාණ දුෂ්කරතා විඳීමට සිදු වේ. ඒවා අප ද අත්විඳ ඇති බැවින් අප රටේ සුලබ ව සිදුවන කාලය අපතේ යවන ක්‍රියා ලෙස දැක්වීමට පුළුවන.

බුදුරජාණන් වහන්සේගේ අන්තිම බුද්ධ වචනය

“හන්දදානි භික්ඛවෙ ආමන්තයාමි වෝ වයධම්මා සංඛාරා අප්පමාදෙන සම්පාදෙථ” යන්න යි.

එනම්, මහණෙනි, ඔබ අමතමි. හේතු ප්‍රත්‍යයෙන් හටගත් සියලු සංස්කාර ධර්මයෝ නැසෙනසුලු ය. එබැවින් අප්‍රමාද ව කුසල් දහම් සම්පාදනය කරන්න යන්නයි.

අප්‍රමාද යන වචනය අන්තිමට ද උන්වහන්සේ යොදා ගත්තේ කාලය තුළ ඇති වටිනාකම කියා දීමටයි. බුදුරදුන්, පිරිනිවන් මඤ්චකයේ වැඩ සිටියදී දහම් කරුණක් අසා දැන ගැනීමට පැමිණි සුභද්‍ර නම් භික්ෂුව වැළැක්වීමට හැදූ අවස්ථාවේ දී ආනන්ද හිමිට බුදු හිමි සඳහන් කළේ ඔහුට එන්නට ඉඩ දෙන ලෙසයි. එයින් ද බුදු හිමි සිද්ධ කළේ එම භික්ෂුව කාලය හඳුනාගෙන එම පුංචි කාලය තුළින් වුව ද සසර ජය ගැනීමට වෙර දරන බව දැනගෙන උදව් කිරීමයි. එසේනම් බුදුරදුන් ලෝක සත්ත්වයාට කියාදුන් උතුම් පාඩමක් ලෙස කාලය නොනැසී ගමන් කරන බවත්, සත්ත්වයා මාරයාට වසඟ වී සිටින අයුරුත් හේතුවෙන් තම තමන්ගේ ජීවිත ජය ගැනීමට තම තමන් ම උත්සාහවත් විය යුතු ආකාරය නොවේ ද?

රටවැසියන් වශයෙන් සිතට ගත යුතු කරුණු රාශියක් තිබේ. අපට ලෝකෝත්තර ජය ගැනීමට පෙර ලෞකික ජීවන සටනක් තිබේ. එම ජීවන සටන ජය ගැනීම අනිවාර්ය වේ. ආර්ථික, අධ්‍යාපනික, සංස්කෘතික ආදී සෑම අංශයන් කෙරෙහි ම අවධානය යොමු කිරීමට සිදු ව ඇත. කාලය කළමනාකරණය කර සමගියෙන්, සහයෝගයෙන් කටයුතු කළොත් රටක වසන පුරවැසියන් වශයෙන් කාටත් ජය ගැනීමට පුළුවන.

එසේ නොමැති ව අනවශ්‍ය ප්‍රශ්න උදෙසා කාලය නිරපරාදේ කැප කරමින් එකිනෙකා ඇනකොටා ගනිමින් යන ගමන් මඟ ඉදිරියටත් සිදු වුවොත් රටක් වශයෙන් අප පිරිහෙනු ඇත. ජපානය, තායිවානය, සිංගප්පූරුව වැනි රටවල ඇති අභිවෘද්ධිය අපට තව පරපුර කීපයක් ගියත් දැක ගැනීමට නොහැකි වනු ඇත.

අප රටේ ප්‍රධාන ආගම් හතරක් පවතියි. නමුදු ආගමික සහජීවනය අතින් බැලීමේ දී එකිනෙකාට විරුද්ධ ව අසමගියෙන් කටයුතු කරන බවක් ඇතැම්විට පෙනේ. සදාතනික වෛරයෙන්, ක්‍රෝධයෙන්, අසමගියෙන් ජිවත්වීමට වුවහොත් එතුළ ඇත්තේ පිරිහීම ය. ඒ පිළිබඳ ජන නායකයින්, විද්වතුන් සාකච්ඡා කරමින් කොතැන ද වැරදුණේ, කොතැන ද හැදිය යුත්තේ කියා විධිමත් වැඩපිළිවෙළකට ඒම නුවණක්කාර ක්‍රියාවකි. ඇයි අසමගියක් පවතින්නේ යන්න බුද්ධිමත් ව කල්පනා කළ යුතු ව ඇත. බාහිරින් අපට නොපෙනෙන බලවේග ඇත්නම් ඒවා මැඩ පැවැත්වීමට බුද්ධිමත් ව ක්‍රියා කළ යුතු ය.

උත්සාහය, සිහිකල්පනාව, රටක අභිවෘද්ධිය සඳහා අනිවාර්ය ලක්ෂණයක් ලෙස සලකා වටිනා කාලය තුළින් උපරිම ප්‍රයෝජනය ගත යුතු ය. ලෞකික වශයෙන් එදිනෙදා ජය ගැනීමට උත්සාහවන්ත වනවා සේ ම ඒ ඒ ආගම් අනුව තම තමන්ගේ විමුක්තිය සලසා ගැනීමට ද වෙහෙසිය යුතු ය. විශේෂයෙන් අප බෞද්ධයන් ලෙස පින් දහම් කිරීම සිදු කර ගත යුතු ය. “අද අද එයි මරු පින් කර ගන්නේ කී ආකාරයට මාරුවා හෙට ඒ යැයි නො සිතා අද අද ම තම තමන්ගේ කටයුතු කර ගත යුතු ව ඇත. කාලය රන් හා සමානයි යන කියමනට අනුව සිතීමේ දී අපතේ යවන කාලය අලි ඇතුන් ලවාවත් නැවත ඇද ගැනීමට අපහසු බව දැන වටිනා ජීවිතය හිස් එකක් නො කරගෙන කාලයේ වටිනාකම හැඳිනගෙන එම කාලය තුළින් ලෞකික දියුණුවත්, ලෝකෝත්තර දියුණුවත් ලබා ගැනීමට උත්සාහවන්ත විය යුතු ය.