Print this Article


ප්‍රඥාවෙන් දත යුතු බුද්ධාදී තෙරුවන් ගුණ

ප්‍රඥාවෙන් දත යුතු බුද්ධාදී තෙරුවන් ගුණ

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

කස්ස එවං ජානතො එවං පස්සතො කාමාසවාපි චිත්තං විමුච්චති. භවාසවාපි චිත්තං විමුච්චති. අවිජ්ජා සවාපි චිත්තං විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණංහොති ඛීණාජාති, වුසිතං බ්‍රහ්ම චරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති පජානාති. ඉදම්පි වුච්චති බ්‍රාහ්මණ තථාගත පදං ඉතිපි, තථාගත නිසෙමිතං ඉතිපි, තථාගත රඤ්ජිතං ඉතිපි එත්තාවතා ඛො බ්‍රාහ්මණ අරිය සාවකො නිට්ඨං ගතොහොති සම්මා සම්බුද්ධො භගවා, ස්වාක්ඛාතො භගවතා ධම්මො සුපටිපන්නො භගවතො සාවක සංඝෙති, එත්තාවතා බ්‍රාහ්මණ හත්ථිපදොපමො විත්ථාරෙන පරිපූරො හොතීති.

සිරි සුගත තථාගත අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ ජේතවනාරාම මහා විහාරයෙහි වැඩ වසන සමයෙක එම නගරවාසී ජානුස්සෝණි බ්‍රාහ්මණයා හා පිලෝතික පරිබ්‍රාජකයා අතර බුද්ධාදී තෙරුවන් හඳුනා ගැනීම පිළිබඳ ඉතා ගැඹුරු සාකච්ඡාව ඇතුළත් චුල්ලහත්ථි පදෝප ම සූත්‍ර ධර්ම දේශනාව සම්බුද්ධ පරිනිර්වාණයෙන් ශත වර්ෂ 02ට පසු භාරත දේශයෙන් ලක්දිවට වැඩමවා වදාළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ අනුරාධපුර අඹතලා පර්වත මුදුනේ වැඩ සිට දෙවනපෑතිස් මහ රජතුමන්ට බුද්ධාදී තෙරුවන් හඳුන්වාදීමට දේශනා කර වදාළ සේක.

මෙම චුල්ලහත්ථි පදෝපම සූත්‍රාන්ත ධර්ම දේශනාවේ ප්‍රධාන කරුණු 05ක් ඇත.

ජානුස්සෝණි බමුණා හා පිලෝතික පරිබ්‍රාජකයා අතර සංවාදය, ජානුස්සෝණි බමුණාගේ ඇත් පියවර උපමාව, පිලෝතික පරිබ්‍රාජකයා බුදුරදුන් හමුවීමට යාම, බුදුරදුන් ඇත් පියවර උපමාව විස්තර කිරීම, ආර්ය ශ්‍රාවකයා බුද්ධාදී තෙරුවන් යථාර්ථයෙන් හඳුනා ගැනීම හා නිර්වාණ ශාන්තිය යි.

බුද්ධාදී තෙරුවන හඳුනා ගැනීමේ දී ශ්‍රද්ධාවත්, ප්‍රඥාවත් අත්‍යවශ්‍ය වන අතර, එය අනුමානයෙන් කළ හැකි දෙයක් නොවන්නේ ය. පාරම්පරික ව පැවතෙන හැඟීමෙන් තෙරුවන් හඳුනා ගන්නා බොහෝ දෙනා වෙනත් දෘෂ්ටිවාදී අරමුණු වෙත ද යොමු කිරීමෙන් උතුම් තෙරුවන සරණයාම සිරිතක් වශයෙන් කර ගෙන එන්නේ ය.

එ දවස ජානුස්සෝණි බමුණා බුද්ධිමත් වාසනා කුසල බලමහිමය නිසා ම වනයේ ඇත්පියවර පිළිබඳ මනා දැනීමක් ඇති පුරුෂයෙක් වනයේ දිග පළල ඇති ඇත් පියවර දැක මේ නම් මහා ඇතෙකැයි නිගමනය කරන්නාක් මෙන් බුදුරදුන්ගේ ඤාණ පද හතරක් දැක

“බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ වන සේක. ඒ ධර්මය ස්වාක්ඛාත ය, ශ්‍රාවක සංඝයා සුපටිපන්න ය. යනුවෙන් නිගමනය කර ගෙන පූර්ව ශ්‍රද්ධාවක් මෙන් ම ප්‍රඥාවක් ද ඇති කර ගත්තේ ය.

බුදුරජාණන් වහන්සේ හඳුනා ගැනීමේ දී ජානුස්සෝණි බමුණා අනුගමනය කළ ආකාරය ඉතා ගැඹුරු ය. ඇත් පියවර අනුව නුවණ මෙහෙයවා ඇතා දැන ගන්නා සේ ජන සමාජයේ ක්ෂ්ත්‍රිය, බ්‍රාහ්මණ, ගෘහපති, ශ්‍රමණ යන පණ්ඩිත පිරිස බුදුරදුන් වෙත පැමිණ තම තමන්ගේ දෘෂ්ටිය අත්හැර බුදුරදුන් දේශනා කරන ලද ධර්මය පිළිගෙන එයින් ශාන්තිය ලබා සම්මා සම්බුද්ධෝ භගවා, ස්වාක්ඛාතො භගවතා ධම්මෝ, සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝො යන නිගමනය කරන්නේ ය.

පිලෝතික පරිබ්‍රාජකයාගේ මෙම විස්තරයෙන් අතිශයින් ප්‍රබෝධයට පත් ජානුස්සෝණි බමුණා බුදුරදුන් වෙත පැමිණ පිලෝතික පිරිවැජියා සමඟ කළ සාකච්ඡාව සැළකර සිටියේ ය. එවිට අප බුදුරජාණන් වහන්සේ ඇත් පියවර උපමාව විස්තර කරමින් වනයේ ඇත් ශිල්පියෙක් ඇත් වනයේ මහාපාද ඇති වාමනිකා නම් ඇතා ද, උච්චා කාළාරිකා ඇතා ද, උච්චා කණේරුකා ඇතා ද හඳුනා ගන්නේ ය. එමෙන් ම තවදුරටත් ඇත් ශිල්පියා ගමන් කරන්නේ වනයේ දිගින්, පළලින් විශාල පා සලකුණු ද උස්ගස්වල උළන තැන් ද දළින් ඇන කඩා බිඳ දැමූ මහ අතු ද දකින්නේ ය. මෙසේ සලකුණු අනුව යන්නේ එළිමහනේ සිටින හෝ ඇවිදින හෝ වැතිර සිටින හෝ මහා ඇතකු දකින්නේ ය.

එම ඇත් ශිල්පියා ප්‍රත්‍යක්ෂයෙන් ම මේ මහා ඇතා යැයි හඳුනා ගන්නා සේ ම මේ මනුෂ්‍ය ලෝකයෙහි අරිහත් සම්මා සම්බුද්ධ වූ තිලෝගුරු, තථාගතයන් වහන්සේ ස්වාක්ඛාත වූ ධර්මයක් දේශනා කරන විට ක්ෂත්‍රිය, බ්‍රාහ්මණාදී කුලයක උපන්නෙක් එම දහම් අසා ගිහි සැපත් අත්හැර පැවිදිව ශීලා දී ගුණ දහම් සපුරා තණ්හා දී සියලු කෙලෙසුන් සන්සිඳවා සෝවාන් ආදී මාර්ගඵල ලබන්නේ ය.

තවද මෙම ආර්ය ශ්‍රාවකයා කාමාසවයන්ගෙන් සිත මුදා ගන්නේ ය, භවාසවයන්ගෙන් සිත මුදවන්නේ ය, අවිජ්ජාසවයන්ගේ සිත මුදවන්නේ ය.

ඛීණා ජාති වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති පජානාති ඉදම්පි වුච්චති බ්‍රාහ්මණ තථාගතපදං ඉතිපි තථාගත නිසෙවිතං ඉතිපි තථාගත රඤ්ජිතං ඉතිපි එත්තාවතාඛො බ්‍රාහ්මණ අරිය සාවකො නිට්ඨං ගතොහොති සම්මා සම්බුද්ධො භගවා, ස්වාක්ඛාතො භගවතා ධම්මො සුපටිපන්නො භගවතො සාවක සංඝොති. එත්තාවතා බ්‍රාහ්මණ හත්ථිපදොපමො විත්ථාරෙන පරිපූරො හොති.

කාමාදී ආශ්‍රවයන්ගෙන් සිත මිදුණු කල්හි එම ආර්ය ශ්‍රාවකයාගේ නුවණට මෙය නම් එම තථාගතයන් වහන්සේගේ අඩි සලකුණු ය මෙය නුවණ නමැති දළයෙන් අනින ලද තැන යැයි ද ප්‍රත්‍යක්ෂ වන්නේ ය. මෙපමණකින් “භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වන සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය ද මුල, මැද, අග යහපත් වූ මැනවින් දේශනා කළ සේක. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නතාදී ගුණයන්ගෙන් ශෝභමාන වන සේක යන නිගමනයට පැමිණියේ වෙයි. මෙ පමණකින් ඇත් පා සලකුණු උපමාව සර්ව සම්පූර්ණ වන්නේ ය.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාගේ බුද්ධිය පරීක්ෂා කිරීමට පරිසරයෙන් ම ගත් මනෝ විද්‍යානුකූල උපමාවකින් හා ප්‍රශ්න විචාරාත්මක සුළු සාකච්ඡාවකින් ප්‍රධාන පරමාර්ථයට පියවර තැබූ සේක.

චුල්ලහත්ථි පදෝපම සූත්‍රය වැනි ගැඹුරු ධර්මයක් පාලි භාෂාව නො දත්, එමෙන් ම රජ කෙනකුට දේශනා කිරීමේ දී මිහිඳු මහ රහතන් වහන්සේ අනුගමනය කළ දේශනා පිළිවෙත වසර දෙදහස් ගණනක කාල පරිච්ඡේදය තුළ විවිධ උගතුන්, දාර්ශනිකයන්, ආගමික ධර්ම ප්‍රචාරකයන් ආදර්ශයට ගත් වග ඓතිහාසික වාර්තා වලින් පැහැදිලි වන්නේ ය.

බුද්ධාදී තෙරුවන් ශ්‍රද්ධාවෙන් හා ප්‍රඥාවෙන් හඳුනා ගැනීම නිර්වාණගාමී ප්‍රතිපදාවට මූලාධාර වන්නේ ය. දේශකයාගේ ප්‍රත්‍යක්ෂ ඤාණය ද ශ්‍රාවකයාගේ අවශ්‍යතාව හා ධ්‍යානගත චින්තනයත්, ධර්මයේ ඇති සන්දිට්ඨික හා අකාලික, ඒහිපස්සික, ඕපනයික ගුණයත්, අවස්ථාවට යෝග්‍ය බවත්, අනුකූල බවත් නිසා ම මෙම සූත්‍රය දේශනා කිරීමත්, ශ්‍රවණය කිරීමත්, අර්ථ මාත්‍රයක් හෝ දැන ගැනීමත් මහා කුසල බලමහිමයක් වන්නේ ය.

මේ උතුම් චුල්ලහත්ථි පදෝපම සූත්‍ර දේශනාවෙන් හා තෙරුවන් ප්‍රඥාවෙන් හඳුනා ගැනීමෙන් ඔබ සෑම දෙනාට ම කෙදිනක හෝ කාමාදී ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් උතුම් නිවනින් සදා සැනසීමට හේතු වාසනා වේවා!