Print this Article


ගිතෙල් හැළියේ කතාව

ගිතෙල් හැළියේ කතාව

අනුරාධපුරයේ මහා විහාරයේ වැඩ සිටියා කරවීකතිස්ස කියලා භික්ෂුවක් සහ මහාශිව කියලා භික්ෂුවක්. මේ දෙදෙනා වහන්සේ මහා විහාරවාසී මහ තෙරුන් වහන්සේලාගෙන් ධර්මය ඉගෙන ගත්තා. මහාශිව තෙරුන් වහන්සේ ඉගෙන ගන්න වඩාත්ම පි‍්‍රය කළේ සූත්‍ර පිටකයේ ධර්ම කොටස්. කරවීකතිස්ස තෙරුන් වහන්සේ කැමැති වුණේ විනය ඉගෙන ගන්න.

දෙදෙනා වහන්සේම හොඳින් අධ්‍යයන කටයුතු කළා. කාලයත් සමඟ අධ්‍යයන කටයුතු අවසන් කර තමන් වහන්සේගේ ආරාමවලට වැඩම කළා. මෙහෙම කාලයක් යනකොට දවසක් කරවීකතිස්ස තෙරුන්වහන්සේට ඒ කියන්නේ විනය පුහුණූු කළ තෙරුන් වහන්සේට හිතුණා, තමන් එක්ක එකට ඉගෙන ගත්ත යහළු මහාශිව තෙරුන් වහන්සේ බැහැදැකලා කතා කරලා ආවා නම් හොඳයි කියලා. හිතපු විදිහට ම විහාරයේ කටයුතුත් පිළිවෙළට සූදානම් කරලා අනෙක් භික්ෂූන් වහන්සේලාට තමන්ගේ ශාසනික වත්පිළිවෙත් කරන්න යැයි පවරලා දිනයක් යොදාගෙන වැඩම කළා. කරවීකතිස්ස තෙරුන් වහන්සේ තමන්ගේ යහළු තෙරුන් වැඩ ඉන්න විහාරයට වැඩම කරනකොට බොහොම රෑ වෙලා. ඒ නිසාම ආරාමයේ පහන් දල්වලා තිබුණා. මහාශිව තෙරුන් වහන්සේව මුණ ගැහුණා. ශාසනික පිළිවෙත අනුව වැඩිමහල් භික්ෂුවට වන්දනා කරගනිමින් පිළිගත්තා. මහාශිව තෙරුන් වහන්සේ තමන්ගේ යහළුවා ගොඩක් කාලයකින් තමන්ව බලන්න පැමිණීම ගැන බොහෝම සතුටට පත්වුණා. උන්වහන්සේට අවශ්‍ය අත්, පා සෝදා ගැනීමට උණු පැන් වගේම ගිලන්පස සූදානම් කරන්න බොහොම යුහුසුළු වුණා. කරවීකතිස්ස තෙරුන්වහන්සේට වැඩ ඉන්න කුටියක් ද සූදානම් කරන්න වුණා. ඒ සියල්ල සිදු කරන තෙක් තමන් වහන්සේගේ කුටියේ වැඩඉන්න අවස්ථාව සලසා දුන්නා. කුරවීකතිස්ස තෙරුන් වහන්සේත් ඒ ආරාධනාව පිළිගෙන යහළු මහාශිවගේ කුටියේ වැඩ ඉන්න ගමන් පහන් ආලෝකයෙන් දැක ගන්න ලැබුණා විශාල හැළියක්. ඒකේ මුහුණත වස්ත්‍රයකින් හොඳින් වහලා තිබුණා. තමන්ට අයිති නැති දෙයක් ගැන සොයා බැලීම හෝ විවෘත කර බැලීම හෝ නොහොබිනා නිසා මොකුත් කරන්න ගියේ නෑ. යහළුවා අවශ්‍ය කටයුතු සූදානම් කර අවසන් ව ආයෙත් තමන්ගේ කුටියට ඇවිත් කුරවීකතිස්ස තෙරුන් සමඟ ආ ගිය තොරතුරු ආදිය වගේම පරණ කතා මතක් කරමින් හිතවත්කම් තවතවත් සිහිපත් කරගත්තා. ඒ අතරේ කුරවීකතිස්ස තෙරුන් දැකපු මහා හැළිය ගැන යමක් දැන ගන්නා අදහසින් අහනවා

“මහාශිව මොකටද මේ මහා හැළියක් කාමරයේ තියාගෙන ඉන්නේ? මොනවද මේකේ ඔච්චර පරිස්සම් කරන්න තියෙන්නේ?” යි කියලා.

‘කුරවීකතිස්ස ස්ථවිරයනි, මේකේ තියෙන්නේ නම් ගිතෙල් වගයක්. මං මේ ළඟකදී ගමේ ගියා. ඉතින් ඇති වෙන්න එහේ ගිතෙල් තියෙනවා. දානය එහෙම නැති දවසට වගේම රසවත්ව දානය නො ලැබෙන දවස්වලට ගන්න පුළුවන් නිසා මං මේක පරෙස්සම් කරන්න තමයි කාමරේ තියා ගෙන ඉන්නේ’ යැයි පිළිතුර දුන්නා.

ඒක අහගෙන හිටිය කුරවීකතිස්ස තෙරුන් කල්පනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ විනයේ පාවිත්තිය විනය ශික්ෂා පදයක් තියෙනවා ගිතෙල්, වෙඬරු, මීපැණි , හකුරු, තලතෙල් ආදි රසයෙන් හෝ ගුණයෙන් අධික හෝ වෙනයම් හෝ කෑමක් ලැබි එහි අතිරික්තය හෝ ලැබුණු කොටස හෝ පසුවට ගන්නා අදහසින් උපසම්පදා භික්ෂුවගේ කාමරයේ දවස් හතකට වැඩිය තියා ගැනීම විනය ශික්ෂා පදයක් බිඳ දැමීමක් කියලා. කුරවීකතිස්ස තෙරුන් වහන්සේ වැඩිපුරම හොඳින් ඉගෙන ගත්තේ වගේම පුහුණූු කළේ විනය. ඒ නිසා අදාළ විනය ශික්ෂා පදය මතක් වුණා. මේ ශික්ෂා පදය අපට දකින්න පුළුවන් ප්‍රාතිමෝක්ෂයේ පාවිත්තිය කාණ්ඩයේ සිඛවළද හා සිඛවළදවිනසේ සිංහලයෙන් ඒ ශික්ෂා පදය මෙසේයි. ‘වැළැදිය යුතු ගිතෙල් මී වෙඬුරුතෙල් සකුරු පිළිගන්වා ගෙනැ සත් දවසක් ඉකුම්වා නම් නිසැගි වේ" යනුවෙන් හඳුන්ව දීලා තියෙනවා. කුරවීකතිස්ස තෙරුන්වහන්සේට තමන් ඉගෙන ගත් ශික්ෂා පදය’ මතක් ව තමන්ගේ යහළුවාට යහපතක් කරන අදහසින් කියනවා

‘මහාශිව ස්ථවීරයනි, මම ඉගෙන ගත්තේ වැඩිපුරම බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන විනය ශික්ෂා පද සම්බන්ධයෙන්. ඔබ වහන්සේ වැඩිපුරම ඉගෙන ගත්තේ සූත්‍ර පිටකය. ඉතින් මම මේ කියන්න යන කාරණය ප්‍රාතිමෝක්ෂයේත් තියෙනවා ඔබවහන්සේටත් හමුවෙලා ඇති. ඒ වුණාට සමහර විට අමතක වෙලාත් ඇති. කොහොමත් යහපතක් වෙන නිසා වගේම ඔබවහන්සේත් අන් මතවලට ගරුකරලා විනය ශික්ෂාපද ආරක්ෂා කරන නිසා මම දෝෂයක් පෙන්වලා දෙන්නම් ‘යි දිගටම කතා කරගෙන ගියා. මහාශිව තෙරුන්වහන්සේ

‘ස්ථවිරයනි, මට අනුකම්පා පිණිසත්, යහපත් පිණිසත් මගේ දෝෂයක් තියෙනවා නම් පෙන්වලා දෙන්න’යැයි ඉල්ලා සිටියා.

‘ස්ථවිරයනි, මේ ගිතෙල් හැළිය කුටියේ තියාගෙන සිටීම උපසම්පදා භික්ෂුවකට සුදුසු නෑ. ඒක විනයට විරුද්ධ යි. පාවිත්තිය ශික්ෂා පදයක් බිඳ දැමීමක්’ යැයි ‘කියා සිටියා. විනය ශික්ෂා පදය ඉගෙන ගෙන පසුදා උදෑසනින්ම ගිතෙල් හැළිය කුටියේ ඉදිරිපිට පිලේ තබා කුරවීකතිස්ස තෙරුන් වහන්සේ අසල විහාරයකට වැඩම කර දෙවන දවසේ නැවතත් මහාශිව තෙරුන්ගේ විහාරයට වැඩම කළා. එතකොට දැක්කා ගිතෙල් හැළිය මහාශිව තෙරුන්ගේ කුටිය ඉදිරිපිට පිලේ තියෙනවා. ඊටපස්සේ එම විනය ශික්ෂා පදයේ අතුරු ශික්ෂා පදයක් සිහිපත් වෙලා යහළු තෙරුන් හමුවෙලා කියනවා

‘ස්ථවීරයනි, ගිතෙල් කළය කුටිය ඉදිරියේ තිබෙනවා මම දැක්කා.

‘ස්ථවීරයනි, විනයට අනුව නම් සැතපෙන හෝ නිතර ගැවසෙන හෝ තමන්ගේ ම කුටියේ කිසිම තැනක මෙවැනි දෙයක් තබා ගැනීම තහනම් වෙනවා’යැයි තවදුරටත් ඒ විනය ශික්ෂා පදය විස්තර කර දුන්නා.

මහාශිව තෙරුන් වහන්සේ එම ශික්ෂා පද විස්තරයත් ඉගෙන ගෙන තුන්වැනි දවසේ කුටියෙන් පිටත තැනක තැන්පත් කළා. කුරවීකතිස්ස තෙරුන්වහන්සේ බැහැරක වැඩම කර ඊළඟ දවසේ යහළුවාගේ කුටියට එන කොට ගිතෙල් හැළිය තියෙනවා දැක්කේ නෑ. ඉතින් මේ තෙරුන් හිතුවා මහාශිව ඒක අනෙක් තෙරවරුන්ගේ භාවිතයට දෙන්න ඇති කියලා. කුටියට ගොඩ වෙනකොට ම කිව්වා ‘ඔබවහන්සේ කියපු විදිහට මම ශික්ෂා පදය ආරක්ෂා කර ගන්න කියලා ගිතෙල් හැළිය කුටියෙනුත් ඈතින් තැබුවා. අද උදේ ගිහින් බලන කොට ඒක හොරු අරගෙන ගිහින් යැයි කුරවීකතිස්ස තෙරුන්ට චෝදනා කරන අදහසින් මෙන් වුණු විපත කියා සිටියා. කුරවීක තිස්ස තෙරණුූවෝ

‘ස්ථවීරය, බුදුරජාණන් වහන්සේ දේශනා කළ විනය ශික්ෂා පදයට අනුව මුල දී ම කටයුතු කළානම්, ඔබ වහන්සේට මෙවැනි සිත් වේදනාවක් නෑ. දැන් මං පෙන්වා දුන්න විදිහට නැවතත් මේ වැරැද්ද කරන්න එපා. එහෙම වුණොත් ආයෙත් සිත් වේදනා විඳින්නයි වෙන්නේ. මේකට කරන්න තියෙන හොඳම දේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අනුපසම්පන්නයන්ට තමන්ට ලැබුණු ආහාර බාර දෙන එක. උන්වහන්සේගෙන් අවශ්‍ය වේලාවට ඉල්ල ගන්න. ඒ අයටත් ඒවා අනුභව කරන්න දෙන්න යැයි අවවාද කළ පුවතක් සමන්තපාසාදිකා විනය අටුවාවේ මහාවග්ග වණ්ණණා වේ සඳහන් වෙනවා.

ගිහියකු වුවත්, පැවිද්දකු වුවත් තමන්ට ලැබුණු ආහාරපාන සඟවාගෙන අනුභව කරනවා නම් එය පිරිහීමට කාරණයක්, සිත් වේදනා ඇතිවීමට කාරණයක්. ඒ වගේම නිවනට බාධාවක් ද වෙනවා. එය හොඳින් අවබෝධ කරගෙන අන් අය සමඟ බෙදා හදාගෙන ආහාරපාන ගැනීම සමාජ ජීවිතයේ සාර්ථකත්වයටත්, පරලොව සුගතියටත් බෙහෙවින්ම හේතු වෙනවා.