පුද්ගල පෞරුෂ සංවර්ධනයෙහිලා
මනෝ විද්‍යාත්මක උපදේශනය
ධම්මපදය ඇසුරින්
ගිරාඹේ ධම්මරුචි හිමි
එදිනෙදා ව්‍යවහාරයෙහි බහුල ව භාවිත වන “පෞරුෂය” යන්න බෞද්ධ මනෝවිද්‍යා උපදේශනයේ දී
සැලකිල්ලට ගනු ලබන වැදගත් මාතෘකාවකි. පෞරුෂ සංවර්ධනයට බොහෝ උපදේශනයන් පාලි
ත්‍රිපිටකය තුළ අන්තර්ගත වේ. අධ්‍යාපන මනෝවිද්‍යාවේ දී පෞරුෂය යනුවෙන් හඳුන්වන්නේ
පුද්ගලයකුගේ හෘදයාංගම බව, අවිහිංසක බව, චිත්තාකර්ෂණීය බව යන සාධක තුන අනුව ය. එහෙත්
බෞද්ධ මනෝවිද්‍යාවේ දී පෞරුෂය යන්න සලකන්නේ සුවිශේෂී අර්ථයකිනි.
Personality යන ඉංගී‍්‍රසි පදය සඳහා සිංහලයෙන් පෞරුෂය නැතහොත් ස්වීයත්වය යන පද
භාවිත කර තිබේ. පෞරුෂය යන්න විග්‍රහ කිරීම තරමක් අපහසු කාර්යයකි. ඒ බව පහත
විද්වතුන් දක්වන නිර්වචන දෙස විමසිලිමත් ව බැලීමෙන් පැහැදිලි වේ.
“පුද්ගලයකුගේ සමස්ත චර්යා රටාවේ අනන්‍ය සාධාරණ සනධානික පද්ධතිය පෞරුෂයයි.” -
විලියම් මැක්ඩ්‍රගල්
“යම් කෙනකු සෙස්සන්ගෙන් වෙන් කර ගත හැකි හා මතුවී පෙනෙන හැකියාවක්, චිත්තාවේග,
හැඟීම් සහ පැවතුම්, රුචි අරුචිකම්, ආකල්ප, ඇදහීම් ආදී සියලු චර්යාවන්ගේ එකතුව
පෞරුෂය යි.”
“පෞරුෂත්වය යනු ජිවවිද්‍යාත්මක අංග සමූහ වන අතර, සහජගත සංස්ථාපනයන්, ආවේග, පැවතුම්,
අරුචි සහ පෞද්ගලික අංශයන් හා ලබාගත් නම්‍ය සහගත සංස්ථාපන පෞරුෂය වේ.”
නූතන මනෝවිද්‍යාව තුළ ඉදිරිපත් ව ඇති පෞරුෂ නිර්වචනයන් ප්‍රධාන වර්ග තුනකට බෙදා
දැක්විය හැකි ය.
මුහුණත පදනම් කර ගත් පෞරුෂ නිර්වචනය, Mak Defnitions of
Personality පදාර්ථමය
සාරයක් ගම්‍ය කරන පෞරුෂ නිර්වචනය Essence Defnitions of
Personality හා සමස්ත
ආවරණමය පෞරුෂ නිර්වචනයයි. Holistic Defnitions of Personality
මුහුණත පදනම් කරගත් පෞරුෂ නිර්වචනයේ දී සිදු වන්නේ පුද්ගලයා බැහැර ව දුකට පත්වන
ආකාරය අනුව පෞරුෂය නිර්වචනය කිරීමයි. පුද්ගලයාගේ ගතිලක්ෂණ හා චර්යාව තීරණය කරන
අභ්‍යන්තර සුවිශේෂි පදාර්ථයක් හෝ පදාර්ථයන් පදනම් කර ගෙන පෞරුෂය විග්‍රහ කිරීම දෙවන
ගණයේ පෞරුෂ නිර්වචනවල දී සිදු වේ. සමස්තය ආවරණමය නිර්වචනයේ දී පුද්ගලයා සතු
අභ්‍යන්තර හා බාහිර චර්යාමය සියලු ලක්ෂණ අතීත, වර්තමාන, අනාගත යන කාල තුන පිළිබඳ
සැලකිල්ලට ගෙන ඒ සියල්ල එකතු කොට පෞරුෂය විග්‍රහ කිරීම සිදුවේ.
මෙලෙසින් පෞරුෂය යන්න කුමක්දැයි දැක්විය හැකි ය. මේ තුළින් පෞරුෂයෙහි ස්වභාවය අපට
අනාවරණය කර ගත හැකි අතර, එය සංවර්ධනය කර ගැනීම උදෙසා බුදු දහමෙහි සුවිශේෂිත වූ මනෝ
විද්‍යාත්මක උපදේශන රාශියක් ලබා දෙන ආකාරය පාලි ත්‍රිපිටකය තුළින් අනාවරණය වේ. ඒ
අතරින් ඛුද්දක නිකායට අයත් ධම්ම පදය සුවිශේෂී වෙයි.
බුදු දහමට අනුව පෞරුෂය ආකාර දෙකකින් හඳුනාගත හැකි ය. එනම් අභ්‍යන්තර හා බාහිර
පෞරුෂය වශයෙනි. නැතහොත් කායික හා මානසික වශයෙනි. පෞරුෂය සංවර්ධනයේ දී පුද්ගලයා මෙම
ආකාර දෙකෙන් ම නිසි අයුරින් පෞරුෂය ගොඩනඟා ගත යුතු ය. එය බොරු මවාපෑමක්, ආරෝපණයක්
නොවිය යුතු ය. මෙය බුදුදහමෙහි පෞරුෂ සංවර්ධනයේ දී ලබා දෙන සුවිශේෂිත වූ
මනෝවිද්‍යාත්මක උපදේශනයකි. මෙම ආකාර දෙකෙන් ම පෞරුෂය ගොඩනඟා ගැනීමට පුද්ගලයාට ලබා
දෙන්නා වූ මනෝවිද්‍යාත්මක උපදේශන රාශියක් ධම්මපදය තුළදී ඉතා මැනවින් අවධාරණය වේ.
පුද්ගලයකුගේ පෞරුෂ වර්ධනය උදෙසා ප්‍රධාන වශයෙන් බලපානු ලබන්නේ සිතයි. පෞරුෂයෙන්
යුක්ත පුද්ගලයකු මෙන් ම පෞරුෂයෙන් තොර පුද්ගලයකු බිහිවන්නේ එම පුද්ගලයාගේ සිතුවිලි
මතයි. ඒ අනුව යහපත් පෞරුෂ සංවර්ධනයක් ගොඩනඟා ගැනීමේ දී සිත දමනය කර ගත යුතු ආකාරය
මනෝවිද්‍යාත්මක උපදේශනයක් මඟින් ධම්මපදයේ දී අනාවරණය වන්නේ මෙසේ ය.
“හික්මවා ගැනීමට අමාරු වූ, ඉක්මනින් ඇති වී නැතිවන සුලු වූ, කැමැති අරමුණක් ගන්නා
සුලු වූ, සිත දමනය කිරීම යහපත් ය. ඒ දමනය කරන ලද සිත සැප ගෙන දෙයි” යනුවෙනි.
ඒ අනුව පෞරුෂ සංවර්ධනයේ දී සිත හා සිතුවිලි වැදගත් වන බවත්, යහපත් සිතුවිලිවලින්
යුක්ත පුද්ගලයාගේ පෞරුෂ සංවර්ධනය ඇති වන බවත් උක්ත නිදසුන් මඟින් මනෝවිද්‍යාත්මක
උපදේශනය ලබා දී ඇති ආකාරය පැහැදිලි ය.
සමාජයෙහි ජීවත්වන බොහෝ පුද්ගලයෝ අටලෝ දහම හමුවෙහි කම්පිත වෙති. දුක සැප ආදිය සම ව
විඳ දරා ගැනීමට නොහැකි ව බොහෝ පිරිස් තම ජිවිතයෙන් පවා සමුගනී. නිතර කලකිරීමෙන්
ජිවත්වන මොවුන් තුළ කිසිදු පෞරුෂ ලක්ෂණයක් දැකිය නොහැකි ය. ඒ නිසා ම ධම්මපදයේ දී
මනෝවිද්‍යාත්මක ව අවධාරණය කරනු ලබන්නේ සියලු සැප දුක් හමුවේ, සියල්ල විඳ දරාගෙන
මැදහත් සිතින් යුක්ත ව වාසය කිරීම ඉතා වැදගත් වන බවයි. ඒ තුළින් පුද්ගල පෞරුෂ
සංවර්ධනයක් නිරායාසයෙන් ම ඇතිවන ආකාරය පහත ගාථාවෙන් පැහැදිලි වේ.
සේලෝ යථා ඒක ගනෝ
වාතෙන න සමීරති
ඒවං නින්දා පසංසාසු
න සමිඤ්ජන්ති පණ්ඩිතා
පුද්ගලයකුට යම් අරමුණක් ඉටු කර ගැනීම සඳහා දැඩි උත්සාහයක් තිබිය යුතු ය. උත්සාහයෙන්
තොර ව කිසිදු අරමුණක් ඉටු කර ගත නොහැකි ය. උත්සාහය තුළින් පුද්ගලයාගේ පෞරුෂ
සංවර්ධනයක් ඇති වන අතර, වියුක්ත පුද්ගලයා සතු ව කිසිදු පෞරුෂ ලක්ෂණයක් දැකිය නොහැකි
ය. ඒ අනුව පුද්ගලයාගේ ලෞකික ජීවිතය මෙන් ම ලෝකෝත්තර ජීවිතය සාර්ථක කර ගැනීමට
නොපසුබට උත්සාහයය ඉතා වැදගත් වෙයි. උත්සාහය තුළින් පෞරුෂ සංවර්ධනයක් ඇති කර ගැනීම
සඳහා ධම්මපදයේ දී මනෝවිද්‍යාත්මක ව උපදෙස් ලබා දෙනු ලබන්නේ මෙසේ ය.
“නොපසුබස්නා වීර්යය ඇති, සිහියෙන් යුතු වූ, නිවැරැදි කාය කර්මාදියෙන් යුක්ත වූ"
නුවණින් විමසා බලා කටයුතු කරන සුලු වූ, කය, වචන දෙකෙහි හික්මුණු, දැහැමින් දිවි
පවත්වන පුද්ගලයා ගේ යසස වැඩේ.”
ඒ අනුව උක්ත අර්ථ විවරණයෙන් පැහැදිලි වන්නේ උත්සාහය තුළින් පුද්ගල පෞරුෂ සංවර්ධනය
ඇති කර ගත හැකි ආකාරය යි.
පුද්ගලයාගේ පෞරුෂ සංවර්ධනයට මෙන්ම පෞරුෂය පරිහානියට ද ප්‍රබල ලෙස ඔවුන් ජීවත් වන
සමාජය බලපානු ලබයි. සමාජයෙහි පවතින ආකල්ප, ක්‍රියාදාමයන්, හැසිරීම් ආදිය මෙහි දී
මූලික වේ. නූතනයේ බොහෝ පුද්ගලයන්ගේ පෞරුෂය හීන වීමට ජීවත්වන වටපිටාව, පරිසර හා
සමාජය ප්‍රධාන සාධකයක් වී ඇත. මෙහිදී සමාජ ඇසුර ඉතා ම වැදගත් වේ. පෞරුෂ හීන
පුද්ගලයන් ඇසුරු කිරීමෙන් නිරායාසයෙන් ම අන්‍යයන්ගේ ද පෞරුෂය හීනභාවයට පත්වේ. යහපත්
දැක්මකින් යුත් කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීමෙන් පුද්ගල පෞරුෂය සංවර්ධනය කර ගත
හැකි බවට ධම්මපදයේ දී මනෝවිද්‍යාත්මක උපදේශනයන් ලබා දෙනු ලබන්නේ මේ ආකාරයෙනි.
“න භජේ පාපකේ මිත්තේ
න භජේ පුරිසාධමේ
භජේථ මිත්තේ කල්‍යාණේ
භජේථ පුරිසුත්තමේ ”
විශේෂයෙන් ම පවිටු මිතුරන් ඇසුරු කිරීමෙන් නොයෙක් ආකාරයෙහි දුරාචාරයන්ට පුද්ගලයන්
යොමු වේ. මත්පැන් පානය කිරීම, සූදුව, රස්තියාදු ගැසීම, ජීවිතයට අරමුණක්,
බලාපොරොත්තුවක් නොමැති වීම යනාදී වශයෙන් පුද්ගලයන් බොහෝ විෂමාචාරයන්ට යොමු වේ. ඒ
හේතුවෙන් ම සමාජයෙන් කොන්වීම, නො පිළිගැනීම, පවට බරවීම ආදී කරුණු මුල් කොට ගෙන
පුද්ගල පෞරුෂය පරිහානියට පත්වන අතර, එසේ නොවීමෙන්, කලණ මිතුරු ඇසුරින් පුද්ගල
පෞරුෂය සංවර්ධනයට පත්ව මනා පෞරුෂයෙන් හෙබි පුද්ගලයකු ලෙස සමාජය තුළ ජීවත්විය හැකි
බව උක්ත උපදේශනයෙන් මනාව ගම්‍යමාන වේ.
“එසේම යහපත් ඇසුරක් නොමැති නම් තනිව ම වාසය කිරීම ඉතා වැදගත් වෙයි.” එයින් පුද්ගල
පෞරුෂයන් සංවර්ධනයක් ඇති වන බව ඉතා පැහැදිලි ය.
පෞරුෂ සංවර්ධනය ඇති කර ගැනීමේ දී සත්‍යවාදී වීම ඉතා ම වැදගත් ය. යම් පුද්ගලයකු
බොරුවෙන්, වංචාවෙන් යුක්තව කටයුතු කරන බව සමාජය දැනගත් විට ඔහු සමාජයෙන් කොන් වේ.
එසේ ම ගොඩනඟා ගෙන තිබූ පෞරුෂය ද බිඳ වැටෙන අතර, ඔහුගේ විශ්වාසවන්ත භාවය ද බිඳේ.
එවිට සමාජය ඔහු පිළිගන්නේ විශ්වාස කළ නොහැකි පුද්ගලයකු ලෙස ය. එමනිසා පෞරුෂ
සංවර්ධනයේ දී බුදුදහම මනෝවිද්‍යාත්මක ව පෙන්වා දෙනු ලබන්නේ සමාජයෙහි ජීවත්වන විට
විශ්වාසවන්ත භාවයෙන් යුක්තව අන්‍යයන්ගේ සිත් දිනාගෙන ජීවත් විය යුතු බවයි. ඒ තුළින්
පෞරුෂ සංවර්ධනයක් ගොඩනඟා ගත හැකි ය. ඒ අනුව “අවැඩදායක වචන දහසක් වුවත් උසස් නොවන
අතර, වැඩදායක එක් වචනයකින් පුද්ගලයා උසස් පුද්ගලයකු වන බවට ධම්මපදයේ දී අනාවරණය
වේ.”
පුද්ගලයන් සමානාත්මතාවයෙන් යුක්ත ව ජීවත්වීම ද පෞරුෂ සංවර්ධනයට ඉතා වැදගත් වන බව
ධම්ම පදයේ දී මනෝවිද්‍යාත්මක ව උපදෙස් ලබා දෙනු ලබයි. යම් පුද්ගලයකු තමන් ගැන පමණක්
සිතමින්, අන්‍යයන් ගැන නො සිතමින් කටයුතු කිරීම, නැතහොත් ආත්මාර්ථකාමීත්වයෙන් යුක්ත
ව ජීවත් වීමෙන් පෞරුෂය පරිහානියට පත්වෙයි. ඒ නිසා ජීවත් වන කාලය තුළ දී කිසිම
පුද්ගලයකුට හිංසාවක්, පීඩාවක්, කරදරයක් නොකොට ජීවත් විය යුතු ය. ඒ බව ධම්මපදයේ දී
මනෝවිද්‍යාත්මක ව අවධාරණය කරනු ලබන්නේ මෙසේ ය.
“සියල්ලෝ දඬුවමට බිය වෙත්. සියල්ලෝ මරණයට බිය වෙත්. ඒ බැවින් අනුන් තමාට සමාන සේ
සිතා අනුන්ට හිංසා නොකළ යුතු ය. අන්‍යයන්ට හිංසා නොකරවිය යුතු ය.
ඒ අනුව පුද්ගල පෞරුෂ සංවර්ධනයේ දී මෙම මනෝවිද්‍යාත්මක උපදේශනය ද ඉතාම වැදගත් වේ.
පුද්ගල පෞරුෂ සංවර්ධනයේ දී පුද්ගලයා කුමන ආකාරයෙන්වත් පශ්චාත්තාපයට පත්වන කටයුතු
නොකළ යුතු ය. එසේ කිරීම තුළින් පුද්ගල පෞරුෂය විනාශ විය හැකි ය. විශේෂයෙන් තරුණ
කාලයේ දී අනාගත තම ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගත යුතු ය.
තමාට පුළුවන් හැකි සෑම අවස්ථාවක දී ම අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කළ යුතු ය.
එසේ කටයුතු නොකොට සිටීමෙන් පුළුවන් කල එම කාලය කා දමමින් කටයුතු කිරීමෙන් පුද්ගල
පෞරුෂය පසුකාලීන ව විනාශයට පත්වෙයි. එබැවින් පුද්ගල පෞරුෂ සංවර්ධනයේ දී ධම්ම පදය
තුළ මනෝවිද්‍යාත්මක උපදෙස් ලබා දෙනුයේ තමාට ඇති හැකි කල අනාගත ජීවිත අභිවෘද්ධිය
වෙනුවෙන් කළ යුතු කාර්යයන් කරගත යුතු බවයි. එවිට කිසිවකුට අතනොපා නැති බැරි කල
ජීවත්විය හැකි ය.
එසේම පුද්ගලයාට තමා හැර අන්පිහිටක්, පිළිසරණක් නොමැති බව තේරුම් ගෙන ජීවත් විය යුතු
ය. අනුන්ගෙන් යැපෙන, බලාපොරොත්තු වන අයුරින් ජීවත් නොවිය යුතු ය. එසේ වීමෙන් පුද්ගල
පෞරුෂය මිදි යන අතර “තමාට තමා පිහිට ය වෙන කවරෙක් පිහිට වේ ද?” යන අයුරින් සිතා
කටයුතු කිරීමේ පුද්ගල පෞරුෂය ඇති කර ගත හැකි බව පැහැදිලි ය.
පෞරුෂ සංවර්ධනයේ දී ඉතාම වැදගත් කරුණක් ලෙස තමාගේ පෙර වැරැදි නිවැරැදි කර ගෙන
ජීවත්වීම ඉතා වැදගත් ය. සමාජයෙහි ජීවත් වන බොහෝ දෙනකු අතින් වැරැදි සිදුවේ. එය
මිනිස් ස්වභාවයකි. සිදු වූ, නොවූ වැරැදි නිවැරැදි කර ගෙන යමකුට ජීවත්විය හැකි නම්
ඔහුගේ පෞරුෂය ඉතා ම සංවර්ධනය වූවකි. ධම්මපදයේ දී ඔවුන්ගේ පෞරුෂයෙහි සංවර්ධනය
මනෝවිද්‍යාත්මක ව පෙන්වා දෙන්නේ. “පෙර පමා වුවත් පසුව පමා නොවන තැනැත්තා වලාකුළින්
නිකුත් වූ සඳ මෙන් මේ ලෝකය බබළවයි” යනුවෙනි.
පුද්ගල පෞරුෂය ඇති කර ගැනීමේ දී ඉවසීමේ ගුණය ඉතා ම වැදගත් වේ. ඉවසීමෙන් යුක්ත ව
කටයුතු කරන්නාගේ පෞරුෂය සංවර්ධනය වන බව ධම්මපදයේ දී මනෝවිද්‍යාත්මක ව අවධාරණය
කරන්නේ “ඛන්තිපරමං තපෝ තිතික්ඛා” යනුවෙනි.
විශේෂයෙන් ම පෞරුෂ සංවර්ධනයේ දී පුද්ගලයා සතු ව බිය නොතිබිය යුතු ය. යමෙක් බියෙන්
කටයුතු කරන්නේ නම්, ඔහු පෞරුෂයෙන් හීන වූ පුද්ගලයෙකි. මෙලෙස පෞරුෂයෙන් හීන වූ
පුද්ගලයන් නොයෙක් දේ තුළින් පිහිට, ආරක්ෂාව පතයි. ධම්මපදයේ දී මනෝවිද්‍යාත්මක ව
අවධාරණය කරනු ලබන්නේ මෙලෙස බියට පත්වූවන් නොයෙක් නොයෙක් දෑවල සරණ පතන බවයි. එම නිසා
නිසි පෞරුෂ සංවර්ධනයට බිය පහ කර ගත යුතු ය. එසේ ම පෞරුෂ සංවර්ධනයේ දී නිරෝගීමත්භාවය
ද, ලද දෙයින් සතුටු වීම ද, විශ්වාසවන්ත භාවයෙන් යුක්ත ව ජීවත් වීම ද ඉතාම වැදගත්
වේ. “මෙම කරුණු ද පෞරුෂ සංවර්ධනයේ දී බෙහෙවින් ම උපකාරී වන බව ධම්මපදය අවධාරණය
කරයි.
බුදු දහමට අනුව පුද්ගලයෙක් මානයෙන්, ක්‍රෝධයෙන්, සංයෝජන ධර්මවලින් යුක්ත ව වාසය
කරන්නේ නම්, එම පුද්ගලයා ද පරිහානියට පත් වේ. ධම්මපදයේ දී මනෝවිද්‍යාත්මක ව එම
පරිහානිය පෙන්වා දෙන්නේ පුද්ගල පෞරුෂ පරිහානියක් ලෙස ය. එනම් මෙම කරුණුවලින් යුක්තව
යමෙක් වාසය කරන්නේ නම්, එම පුද්ගලයාගේ පෞරුෂය පරිහානි වන අතර, එම කරුණුවලින්
වියුක්ත ව වාසය කිරීමෙන් පුද්ගල පෞරුෂය දියුණු භාවයට පත් වේ.”
වර්තමාන සමාජයෙහි දැකිය හැකි තවත් ප්‍රබල ගැටලුවක් ලෙස මත් උවදුර දැකිය හැකි ය.
බොහෝ උදවිය මත් උවදුරට හසුවන්නේ මානසික පීඩනය නිසා ය. ප්‍රශ්න, ගැටලු ජීවිතයට
පැමිණි විට එයින් අත්මිදීමට මත්පැන් භාවිත කරති. මත්පැන් පානය කිරීමෙන් සියලු
ප්‍රශ්න, ගැටලු නිරාකරණය කර ගත හැකි බව බොහෝ දෙනා තුළ පවතින මන්ද මානසික ගැටලුවකි.
මත්පැන් භාවිතයෙන් පුද්ගලයාගේ අභ්‍යන්තරය මෙන් ම, බාහිර ප්‍රශ්න, සමාජීය ප්‍රශ්න,
දුවාදරුවන්ගේ අධ්‍යාපනික ප්‍රශ්න ආදී ප්‍රශ්න රාශියක් මතු වේ. මේ හේතු කොට ගෙන
පුද්ගල පෞරුෂය මෙන් ම එම පුද්ගල පවුල් පෞරුෂය ද පරිහානියට පත්වෙයි. ධම්මපදයේ දී
පෞරුෂ සංවර්ධනය කිරීම පිණිස මනෝවිද්‍යාත්මක ව උපදෙස් ලබා දෙනුයේ මත්පැන් භාවිතයෙන්
තොරවිය යුතු බවයි. එමඟින් යහපත් වූ පෞරුෂ සංවර්ධනයක් ගොඩනඟා ගත හැකි බව පහත
ගාථාවෙන් පැහැදිලි ය.
සුරාමේරය පානං ච - යෝ නරෝ අනුයුංජතී
එසේ ම “යමෙක් සතුන් මරයි ද, බොරු කියයි ද, සොරකම් කරයි ද, පරදාර සේවනයෙහි යෙදෙයි ද”
එම පුද්ගලයාගේ පෞරුෂය ද පරිහානියට පත්වෙයි. ඔහුට බොරුකාරයෙක්, සොරෙක් ආදී වශයෙන්
සමාජයෙන් චෝදනාවක් එල්ල වේ. ඒ නිසා පෞරුෂ සංවර්ධනයේ දී උක්ත කරුණුවලින් ද නොවිය
යුතු අතර, එය පෞරුෂ සංවර්ධනයට ඉවහල් වන බව ඉතා ම පැහැදිලි ය.
පුද්ගලයකුට පෞරුෂයක් ගොඩනඟා ගැනීමට ආකාර තුනක් බලපානු ලබයි. එනම් සිතින් පෞරුෂයක්
ගොඩනඟාගත හැකි ය. කයින් හා වචනයෙන් පෞරුෂයක් ගොඩනඟාගත හැකි ය. එසේ පුද්ගල පෞරුෂ
පරිහානියට බලපානු ලබන්නේ ද සිත, කය, වචනය යන තිදොරයි. මෙම ස්ථානයන් තුන යමෙක් සංවර
ව පවත්වා ගෙන කටයුතු කරන්නේ නම්, එයින් වන අයහපත් ක්‍රියාවන් යටපත් කර ගෙන, එම
ස්ථානයන් තුනෙන් යහපත් ක්‍රියාවන් කරමින්, කටයුතු කරන්නේ නම් නිරායාසයෙන් එම
පුද්ගලයාගේ පෞරුෂය සංවර්ධනය වන බව ධම්මපදයේ දී මනෝ විද්‍යාත්මක ව උපදෙස් ලබා දෙනු
ලබන්නේ මෙසේ ය.
“කායේන සංවුතා ධීරා - අථෝ වචාය සංවුතා
මනාසා සංවුතා ධීරා - තේ වේ සුපරිසංවුතා.”
මේ ආකාරයෙන් උක්ත දැක්වෙන සියලු කරුණුවලින් ප්‍රත්‍යක්ෂ, වන්නේ ධම්ම පදය තුළින්
පෞරුෂ සංවර්ධනය උදෙසා මනෝවිද්‍යාත්මක උපදේශයන් ලබා දෙන ආකාරය යි. මෙම උපදෙස්
ප්‍රධාන වශයෙන් අභ්‍යන්තර හා බාහිර වශයෙන් කොටස් දෙකකින් යුක්ත වේ. එය ලෞකික හා
ලෝකෝත්තර වශයෙන් ද දැකිය හැකි ය. විශේෂත්වය වන්නේ මනෝවිද්‍යාව තුළ පෞරුෂ සංවර්ධනය
සඳහා ලබා දෙන බොහෝ උපදේශයන් ධම්මපදය, තුළින් අනාවරණය වීමයි. ඒ නිසා ම එය බෞද්ධයාගේ
අත්පොත ලෙසින් ද හඳුන්වන්ට ඇත. ඒ අනුව අපට නිගමනය කළ හැක්කේ පුද්ගල පෞරුෂ සංවර්ධනය
ඇති කර ගැනීමට අවශ්‍ය මනෝවිද්‍යාත්මක උපදෙස් රැසක් ධම්මපදය තුළ අන්තර්ගත වන බවයි. |