Print this Article


ශ්‍රේෂ්ඨ රාජ ධර්මයක විශිෂ්ට ආදර්ශය

ශ්‍රේෂ්ඨ රාජ ධර්මයක විශිෂ්ට ආදර්ශය

රටක පාලකයකු තුළ තිබිය යුතු ගුණාංග සහ පාලකයා විසින් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ඇතුළත් රාජ ධර්ම සමූහයක් බුදුදමෙහි දක්වා ඇත. ඒ අනුව පාලකයා චරිත පාරිශුද්ධියෙන් යුත් අයකු විය යුතු වේ. පංච ශීලය නම් වූ අවම සදාචාරය එම පුද්ගල චරිතය තුළ ක්‍රියාත්මක විය යුතු ය.

රජුගේ, පාලකයාගේ චරිතාදර්ශය පාලකයන් කෙරෙහි, රටේ ජනතාව කෙරෙහි බලපෑමක් කරන හෙයින් මෙම කරුණ හැම තැන්හි ම අවධාරණය කොට ඇත. පංචශීලය ස්වකීය ජීවිත භාවිතාව කර ගත් පාලකයා රටට ජනතාවට ආශිර්වාදයකි. ධර්මචාරී පුද්ගලයා, එම ධර්මය තුළින් ම ආරක්ෂා වන්නේ ය, යනු බුද්ධ දේශනාව වන හෙයිනි.

ප්‍රාණඝාතයෙන් වැළකීම විසින් සත්ව ජීවිතවලට, ප්‍රාණීන්ට ආරකක්ෂාව සැලසෙයි. සියලු සතුන් ජීවත්වීමට කැමති ය. මරණයට දඬුවමට භීතියක් ඇති කර ගනී. එහෙයින් සියලු සතුන්ට අභයදානය දීම, ජීවිත රැක ගැනීමට පහසුකම් සැලසීම පාලකයකුගේ පරම වගකීමයි.

හොරකමින් වැළකීමෙන් පුද්ගල සන්තකය ආරක්ෂා වෙයි. ස්වකීය සන්තකය රැක ගැනීම, සියලු දෙනාගේ ම අපේක්ෂාවයි. එය පුද්ගල කැමැත්තෙන් තොරව අන්සතු කර ගැනීම නොකළ යුතු වේ. තමා විසින් මහන්සියෙන් රැස් කර ගත් ධනය, රිසි පරිදි පරිභෝග කිරීම පුද්ගල අයිතියකි. නොදුන් දෙය ගැනීම හොරකමක් ලෙස අර්ථගන්වා ඇත්තේ එහෙයිනි.

සමාජ සංවිධානයේ මූලික ඒකකය වූ කලි පවුල ය. පවුලේ ස්ථාවරත්වය රඳා පැවතීම සඳහා කාම මිථ්‍යාචාරයෙන් වැළකීම අත්‍යවශ්‍ය ය. පවුලක් බිඳවැටීම, දරුවන් අනාථ වීමට ද හේතු වේ.

බොරු කීම, අනෙකා රැවටීම පුද්ගලාන්තර විශ්වාසය බිඳ වැටීමට හේතු වේ. බොරු කීමෙන් වැළකීම විසින් අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු වේ.

මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතාවෙන් පුද්ගල මනස විකෘති වේ. ප්‍රඥාව දුර්වල වේ. කායික දුර්වලතා සඳහා ද බලපායි. සිහිය විකල්වීම නිසා සමාජයේ බොහෝ ගැටුම් ද නිර්මාණය වේ.

සමාජයක අවම සදාචාරය ලෙස පංචශීල ප්‍රතිපදාව අනුමත කොට ඇත්තේ එහෙයිනි. එබඳු සදාචාර සම්පන්න සමාජයක් ගොඩනැගීමට නම් පාලකයා ආදර්ශවත් විය යුතු අතර, රටක නීතියේ ආධිපත්‍යය ද පිහිටුවිය යුතු ය.

රජුන් අදමිටු වත්
වෙති මැතිඳෙී ද එපවත්
දැක උන්ගේ පුවත්
බමුණූු ගහපතියෝ ද එ ගනිත්

බුදුගුණ අලංකාරයෙහි සඳහන් පරිදි රජු අධාර්මික වත් ම මැති ඇමැතිවරු ද, නිලධාරිහු ද, රටවැසියෝ ද එයට අනුවර්තනය වෙති. ඔහු ව අනුගමනය කරති. එහෙයින් රජු ධර්මානුචාරි වීම රටක දියුණුවට බෙහෙවින් උපකාරි වෙයි.

පිරිහීමේ කරුණු සඳහන් වන පරාභව සූත්‍රයේ දී ද, ධර්මයට කැමැති අය දියුණුවට පත්වන බවත්, ධර්මයට අකැමැති, ද්වේෂ කරන අය පිරිහෙන බවත් දක්වා ඇත. එහෙයින් රටක දියුණුවට ධර්මය අධිපතිත්වයෙහි පිහිටුවිය යුතු බව, මෙයින් කියැවේ. රටක දියුණුවේ, සංවර්ධනයේ පදනම සදාචාරය බව, ධර්මය අධිපතිත්වයෙහි පිහිටුවීම බව එයින් ද පැහැදිලි වේ.

රටක පාලකයා සතර අගතියෙන් තොර විය යුතු ය. ධර්මගරුක විය යුතු ය. ඒ ආදර්ශය ගන්නා ජනතාව ද යුක්තිය සාධාරණත්වය, සමානත්වය වෙනුවෙන් පෙළගැසෙනු ඇත. රජුගේ භාවිතාව මහජනයා යහමඟට, නිවැරැදි තේරීමකට යොමු කරන හෙයිනි.

බෞද්ධ සාරධර්මයන්හි දැක්වෙන සතර සංග්‍රහ වස්තුව ද රාජ්‍ය පාලනයෙහි ලා ක්‍රියාත්මක විය යුත්තකි. දානය, පි‍්‍රයවචනය, අර්ථචර්යාව හා සමානාත්මතාව එම සාරධර්ම වේ. සමාජයට, පුද්ගලයාට සංග්‍රහ කළ යුත්තේ කෙසේද යන්න එයින් පැහැදිලි කොට ඇත. සියල්ලන්ට යහපත පිණිස ක්‍රියා කිරීම ද, සමානාත්මතා පදනම මත සැලකීම ද ඔවුනොවුන් අතර සමගිය, සමාදානය, ඉවසීම තහවුරු වීමට ද, වෛරය දුරු වීමට ද හේතු වේ.

චක්‍රවර්ති රාජ්‍ය සංකල්පය ක්‍රියාත්මක කළ ධර්මාශෝක අධිරාජයාගේ භාවිතාව ද අප මෙහිදී සැලකිල්ලට ගත යුතු ය. ඔහුගේ ආදර්ශය ශ්‍රේෂ්ඨ රාජ ධර්මයක විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරන බව පෙනේ. ඔහු සඳහන් කළේ.

‘සවෙ මුනිසා මම පජා’ යනුවෙනි. එහි අදහස වන්නේ සියලු පුරවැසියෝ මාගේ දරුවෝ ය යන්න යි. සියලු රටවාසීන් තම දරුවන් ලෙස සලකා ක්‍රියාත්මක වීමේ දී වර්ගවාදය සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප වේ. ජාතිය, ආගම, කුල, ප්‍රදේශය ආදි සියලු භේදයන් නොසලකා හැරේ. එය පාලකයන්ගේ පරමාදර්ශය විය යුතු ය.

චක්‍රවර්ති රාජ්‍ය සංකල්පය තුළ පාලකයා ශ්‍රේෂ්ඨත්වයට පත් වන්නේ එම දසාකාර වූ වත් නිවැරැදි ලෙස කි‍්‍රයාත්මක කරවීමෙනි.

සර්වාකාරයෙන් පරිහානිය කරා, විනාශය කරා යොමුව ඇති මේ රට එම ඛේදනීය තත්ත්වයෙන් මුදවා ගැනීමට නම්, ධර්මය ම (දස කුසල කර්මය ම) ඇසුරු කොට, ධර්මයට ම සත්කාර කරමින්, ධර්මයට ම ගරු කරමින්, ධර්මයට ම බුහුමන් කරමින්, ධර්මය ම පුදමින්, ධර්මයට ම යටත් පැවතුම් දක්වමින්, ධර්මය ම ධ්වජයක් සේ පෙරටු කර ගත්තෙක් ව, ධර්මය ම කුන්තයක් සේ ඔසවා ගත්තෙක් ව, ධර්මය ම අධිපතිත්වයෙහි තබා ගත්තෙක් ව,

1. පුත්‍රදාරාදී තමන්ගේ ආශි‍්‍රතයන්ට ධාර්මික වූ රැකවරණ සැලසිය යුතු ය.

2. ධර්මය ම ඇසුරු කොට තම බල සේනාවත් ධර්මානුකූල කාර්යයන්හි ම යෙදවිය යුතු ය.

3. තමන්ට අවනත වූ රාජ්‍යතාන්ත්‍රිකයන්, මැති ඇමැතිවරුන් ද ධර්මයට ම යටත් කොට ධර්මානුකූල රැකවරණ යෙදිය යුතු ය.

4. ස්වකීය රාජ්‍ය නිලධාරීන් ද එම ධර්මයේ ම පිහිටුවා ආරක්ෂා කළ යුතු ය. ධර්මානුගත පරිපාලනයෙහි යෙදවිය යුතු ය.

5. ගම්දනව් වැසි රටේ පුරවැසියන් ද ඒ ධර්ම මාර්ගයෙහි ම යොදාවා ආරක්ෂා කළ යුතු ය. ධර්මගරුක, නීතිගරුක, යුක්තිගරුක පුරවැසියන් බවට පත් කිරීමට අදාළ බලපෑම් කළ යුතු ය.

6. පූජ්‍ය /පූජක දෙපක්ෂය ද ධර්ම ය තුළ ම සංරක්ෂණය, පෝෂණය වන පරිදි වැඩ පිළිවෙළ යෙදිය යුතු ය.

7. මෘග, පක්ෂීන් කෙරෙහි ද, ගහකොළ පරිසරය කෙරෙහි ද සානුකම්පිත ව ධර්මය ක්‍රියාත්මක වන පරිසරයක් තුළ ඔවුන්ගේ ආරක්ෂාව, යහපත පිණිස නීති සම්පාදනය ඇතුළු කටයුතු සම්පාදනය කළ යුතු ය.

8. රටෙහි අධර්ම ක්‍රියා නොපවතින ලෙසට කටයුතු සම්පාදනය කළ යුතු ය. පියවර ගත යුතු ය.

9. රටෙහි යමකුට ව්‍යාපාර, සේවා ආරම්භ කිරීමට ධනය නැත්නම් ඔවුන්ට ධනය සපයා දිය යුතු ය. මූල ධනය ලබා දී ධර්මානුගත ජීවනෝපාය ක්‍රමයන් කෙරෙහි උනන්දු කරවිය යුතු ය.

10. ශීලාදී ගුණයෙහි පිහිටි, සිත මැනවින් වැඩූ, සුචරිතයෙහි පිහිටි මහණ බමුණන් කරා එළඹ, කුසලය, අකුසලය පිළිබඳ ව විචාර ව. වරද නිවැරැද, පිළිබඳ ව, කළ යුත්ත නොකළ යුත්ත පිළිබඳ ව විචාර ව. තම භාවිතාවෙහි දොසක් ඇත්නම් වරද පෙන්වා දෙන ලෙස කියව යනුවෙන් දස සක්විතිවත් නමින් දක්වා කළ අනුශාසනයයි චක්කවත්ති සූත්‍රයෙහි සඳහන් මෙම කරුණු ධර්මිෂ්ඨ පාලකයකු තුළ තිබිය යුතු ධර්මිෂ්ට රාජ්‍ය පාලනයකින් ඇති කරන රාජධර්ම වේ.

දසරාජ ධර්මයන් පිළිබඳ ව සලකා බැලූව ද, යහපත් සමාජයක් නිර්මාණය කිරීමෙහිලා පාලකයාගේ භාවිතාව උපයෝගී වන බව පෙනේ. එහි ධාර්මිකත්වය ම, ධර්ම ගරුකත්වය ම මුල් තන්හිලා සලකා ඇත.

දානය, ශීලය, පරිත්‍යාගය, ඍජු බව, මෘදු බව, ආත්ම සංයමය, ක්‍රෝධ නොකිරීම, අවිහිංසාව, ඉවසීම, විරුද්ධ මත ඉවසීම යනාදිය පාලකයකු තුළ අනිවාර්යයෙන් තිබිය යුතු ගුණාංග ලෙස දැක්වේ.

මෙබඳු ගුණයන්ගෙන් යුක්ත ආදර්ශ පූර්ණ පාලකයකු පත් කර ගැනීමෙන් රට ද සමෘද්ධියට පත්වේ. ජනතාව ද සුඛිත මුදිත ව ධාර්මික රැකවරණය ද ලබයි. එබඳු ගුණ යුත් පාලකයකු පත් කර ගැනීම ද, ආරක්ෂා කර ගැනීම ද, රටවැසියන්ගේ වගකීම විය යුතු අතර, අධාර්මික, ආදර්ශ රහිත,රටත් ජනතාවත් විපතට පත් කරන පාලකයන් පලවා හැරීමට ද රට වැසියන් සමත් විය යුතු ය.

රටක් සමෘද්ධිමත් වන්නේත්, පරිහානියට පත් වන්නේත්, රජු රාජධර්ම අනුගමනය කිරීමේ ප්‍රමාණයන්ට අනුකූල ව බව මෙයින් රටවැසියන් අවබෝධ කර ගත යුතු අතර, තමන්ගේත්, අනුන්ගේත් පොදු රටවැසියන්ගේත් යහපත, දියුණුව පිණිස ධර්මය ම රජ කරවිය යුතු බව ද මේ අනුව වටහා ගත යුතු ය.