Print this Article


විශ්වයේ ශ්‍රේෂ්ඨතම නිමැවුම අකාලයේ මිලින වීමට ඉඩ දෙන්න එපා

විශ්වයේ ශ්‍රේෂ්ඨතම නිමැවුම අකාලයේ මිලින වීමට ඉඩ දෙන්න එපා

පුංචි සෝපාක දස වධ වින්දේ සිය සුළුපියාගෙනි. පියාගේ කෝපය අවසානයේ නිමාවූයේ පුංචි සෝපාක අමු සොහොනක මළ මිනියක බැඳ තැබීමෙනි. අමු සොහොනක මළ මිනියක් හා දරුවකු තනි කිරීමට එහා කළ හැකි කෲරකමක් තිබේ ද?

සොඳුරු ළමා මනස ඉතා මැනවින් අවබෝධ කර ගත්තේ බුදුරජාණන් වහන්සේ ය. උන්වහන්සේ වටහා ගත් ළමා මනස සමඟ දිවි ගෙවූ ආකාරය බුද්ධ චරිතය තුළින් මැනවින් පිළිබිඹු වේ.

ළමා වියේ පැවැදි ව සිටි චුල්ලපන්ථක හිමියන් අධ්‍යාපනයේ දී දුර්වල ස්වභාවයක් දැක්වීය. එම නිසා සොයුරු හිමියෝ ඒ හිමියන් විහාරයෙන් නෙරපා හැරියහ. එහෙත් පන්ථක හිමියෝ විහාරයෙන් පිටනොවී වෙහෙර ඉදිරිපිට හඬමින් සිටියහ. ඒ මොහොතේ එතැනට බුදුරජාණන් වහන්සේ වැඩම කළහ.

ඒ සොඳුරු ළමා මනස මැනවින් අවබෝධ කොට ගත් බුදුරජාණන් වහන්සේ ළදරු හිමියන්ගේ හිස අතගා, සනහා, ආදරයෙන් කතා කොට, අතින් ගෙන විහාරයට වැඩියහ. මේ උදාර සෙනෙහස, දුර්වලයකු ලෙස චෝදනා ලැබූ ඒ හිමියන්ට සුළු මොහොතකින් අරහත් භාවයට පත්වීමට හේතු විය. ඒ හිමියෝ පසුව එම සොඳුරු මෙන් ම, උද්වේගකර අවස්ථාව සිහිපත් කළේ ආදර සෙනෙහසිනි.

භගවා තත්ථ ආගච්ඡි - සිසං මය්හං පරාමසී
බහාය මං ගහෙත්වාන - සංඝාරාමං පවෙසයි

“භාග්‍යවතුන් වහන්සේ එතැනින් පැමිණි සේක. මාගේ හිස පිරිමැද්දාහ. මා අතින් ගෙන සංඝාරාමයට පිවිසූ හ” යනුවෙන් ඒ හිමියෝ ප්‍රකාශ කළහ. මේ සිදුවීමෙන් භාග්‍යවතුන් වහන්සේ තුළ පැවති දාරක සෙනෙහස ප්‍රකට ය. එමෙන් ම දරුවකුගේ ජීවිතය විධිමත් කිරීමට ආදරය සෙනෙහස අත්‍යවශ්‍ය බව ප්‍රකට වේ.

පුංචි සෝපාක දස වධ වින්දේ සිය සුළුපියාගෙනි. පියාගේ කෝපය අවසානයේ නිමාවූයේ පුංචි සෝපාක අමු සොහොනක මළ මිනියක බැඳ තැබීමෙනි. අමු සොහොනක මළ මිනියක් හා දරුවකු තනි කිරීමට එහා කළ හැකි කෲරකමක් තිබේ ද? ලේ පිපාසාවෙන් අමු සොහොනකට ඇදෙන කොටි, වලස්, හිවලුන්ගේ බියජනක ගෙරවිලි මැදින්, ලේ පැහැති ඇස්වලින් විහිදෙන බියජනක බව මැදින් පුංචි සෝපාක මරළතෝනි දෙන්නට ඇති. එහෙත් ඔහුගේ ළතෝනිය කවරකු නම් අසන්නට ඇතිද? සැබෑ පියකු ලෙස සෝපාක ඇමතූ බුදුරජාණන් වහන්සේ එම මර උගුලෙන් ඔහු මුදා ගත්හ.

එහි සෝපාක සමාභායි - ඕලොකේසු තථාගතං
අහං තාරයිස්සාමී - රාහු මුඛෙ ව චන්දිමා

සෝපාක, මෙහි එන්න, බිය වන්නට එපා. තථාගතයන් වහන්සේ දෙස බලන්න. රාහු මුඛයෙන් මුදාගත් චන්ද්‍රයා මෙන් මම ඔබ ව මුදා ගන්නෙමි.

සුනීත ළදරුවාගේ කුලය, රැකියාව යනාදී සියල්ල නීච යැයි සම්මත ය.

නීචේ කුලමහි ජාතෝහං
දළිද්දෝ අප්පභෝජනෝ
හීන කම්මහං මමං ආසි
අහෝසි පුප්ඵජඩ්ඪකෝ

එහෙත් බුදුරදුන්ට ඔහුගේ රැකියාව, කුලය හෝ සමාජ තත්ත්වය වැදගත් නොවීය. ඔහු ද සසුනට ඇතුළත් කොට උතුම් මාර්ග ඵලවාබෝධය වෙත යොමු කළහ.

බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවන්හි පුංචි රාහුල තෙරුන්ගේ කුටියට වැඩම කොට ධර්ම සාකච්ඡා පැවැත්වූ ආකාරය චුල්ල රාහුලෝවාද, මහා රාහුලෝවාද සූත්‍රයන්හි ප්‍රකට වෙයි. බුදුරදුන් තමන් වහන්සේට රස මිහිරි දැයක් ලැබුණ විට “කුමාර කාශ්‍යපට දෙන්නැ”යි හිමිනමක් අත යවන සිරිතක් තිබුණහ.

දිනක් තම සත් හැවිරිදි පුතා සමඟ පැමිණි සිටුවරයකු ජේතවනාරාමයේ වැඩ සිටි බුදු හිමියන් වෙත පැමිණ

" ස්වාමීනි දියුණුවේ දොරටු මොනවා දැයි පුතා මගෙන් විමසන්නේ ය. එය මට ද පැනයකි. ඒනිසා ඔබ වහන්සේගෙන් පිළිතුරු පතා පැමිණියෙමි” යි පැවසීය.

එහිදී දියුණුවේ දොරටු ඇතුළත් මේ ගාථාව දේශනා කළහ.

ආරෝග්‍ය මිච්ඡේ පරමංච ලාභං
සීලංච වුද්ධානුමතං සුතංච
ධම්මානුවත්තී ච අලීනතාච
අත්ථදස්ස ද්වාරා පමුඛා ජලේතේ

නීරෝගී බව, ආචාරශීලි බව, වැඩිහිටියන්ගේ උපදෙස් ලැබීම, හොඳ ඉගෙනීමක් තිබීම, දැහැමි ව ජීවත්වීම, අලසකමින් තොරවීම යනුවෙන් වදාළහ. මේ සියලු අයිතිවාසිකම් නූතන ළමා අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයට ඇතුළත් වේ. අංගුත්තර නිකායේ පංචක නිපාතයේ දී ද හොඳ දරුවකු තුළ තිබිය යුතු ලක්ෂණ පෙන්වා දී ඇත.

ඕවාදකාරී හත පෝසි
කුලවංසං අභාපයං
සද්ධෝ සීලෙන සම්පන්නෝ
දුත්තේ හෝති පසංසො

මවුපියන්ගේ අවවාද පරිදි ක්‍රියා කිරීම, තමා පෝෂණය කළ මව්පියන් පෝෂණය කිරීම, කුල පරම්පරාව හානියට පත් නො කිරීම, ශ්‍රද්ධාව ඇති බව, සිල්වත් බව වැනි ගුණයන්ගෙන් පිරිපුන් ගුණගරුක එවැනි දරුවන් ප්‍රශංසා ද, දියුණුව ද ලබයි.

මහණ උපසම්පදාව කිරීමේ දී ද දරුවන් කෙරෙහි සුවිශේෂ අවධානය යොමු කොට ඇත.

“මහණෙනි පසළොස් වයසට අඩු දරුවන් පැවිදි නො කළ යුතු ය. යමෙක් පැවිදි කරයි ද, ඔහුට දුක්කටාපත්ති වෙයි. මහණෙනි කවුඩෙකු එළවා දැමීමට හැකි, පසළොස් වයසට අඩු වුව ද කුල දරුවන් මහණ කිරීමට නියම කරමි. මහණෙනි, දෙමව්පියන් විසින් නො අනුදක්නා ලදුව පුත්‍රයෙක් පැවිදි කරයි ද, ඔහුට දුක්කටාපත්ති වෙයි.

‘මහණෙනි, දැන දැන විසි වයසින් අඩු පුද්ගලයන් උපසපන් නොකළ යුතු ය. යමෙක් උපසම්පදා කරයි නම්, කරුණු අනුව කළ යුතු ය.” මේ ආකාරයට දරුවන් සම්බන්ධ මහාවග්ග පාලියෙහි මහා ඛන්ධකයේ එන තොරතුරු කෙටියෙන් සඳහන් කළ හැකි ය.

“විශ්වයේ ශ්‍රේෂ්ඨතම නිර්මාණය දරුවා ය.” අව්‍යාජත්වයේ හා සුන්දරත්වයේ සංකේතය ඔහු ය. “මානව ශිෂ්ටාචාරායේ තීරණාත්මක සාධකය ළමයා ය” දරුවන් පිළිබඳ ව මෙවැනි සාහිත්‍යමය නිර්වචන කො තරම් පැවතිය ද නූතන සමාජය දරුවන් පිළිබඳ දක්වන ආකල්පය ඒ තරම් සුබවාදී නො වන බව විමර්ශනශීලි ව බලන විට පෙනී යයි.

බුදුරජාණන් වහන්සේ දරුවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතු ආකාරය ආදර්ශයෙන් පෙන්වා දී ඇතත් බෞද්ධ ඇතැම් අය පවා එම ආදර්ශ ක්‍රියාවට නො නැඟීම වේදනාවට කරණකි. මව්පියන්ට දරුවන් පිළිබඳ ව මෛත්‍රිය පහළ විය යුතු වන්නේ මෙලොව එළිය දැකීමටත් පෙර ය. මව්කුස පිළිසිඳගත් දරුවා නිරෝගී අංග ප්‍රත්‍යාංගයෙන් යුක්ත ව මෙලොව එළිය දැක්වීම යන අපේක්ෂාවෙන් සෑම මවක් ම, සෑම පියෙක් ම පසුවිය යුතු ය.

මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණ දෙමව්පියන් පමණක් නොව සෑම වැඩිහිටියෙක් ම දරුවන් කෙරෙහි මුදා හැරිය යුතු ය.

බුදුරජාණන් වහන්සේ ක්‍රියාවෙන් පෙන්වා දෙන ලද ළමා අයිතිවාසිකම් ඉතා හොඳින් සුරක්ෂිත කිරීම වෙන කවරදාටත් වඩා නූතනයේ ඇවැසි බව අප හැමෝ ම තේරුම් ගත යුතු ව ඇත.