Print this Article


අරහං වචනය අවභාවිත කරන්න එපා

අරහං වචනය අවභාවිත කරන්න එපා

ඇතැම් අය තමන්ගේ අප්‍රසාදයට, පිළිකුලට පත්වන ඕනෑම දෙයක් හැඳින්වීමට “අරහං” යන වචනය භාවිත කරති. බුදුරජාණන් වහන්සේගේ නව අරහාදී බුදු ගුණයන්ගෙන් එක ගුණයකි අරහං බුදු ගුණය. එම වදන තමන්ගේ සිත් පරිදි කෙනකු භාවිත කරනවා නම් එය ඔවුන්ගේ නොදැනුවත්කම නිසා ම ඔවුන් විසින් සිදු කරන්නකි.

මේ අරහං යන වචනයෙහි සාමාන්‍ය තේරුම සුදුසු ම තැනැත්තා යනුයි. තථාගතයන් වහන්සේ කෙරෙහි නොයෙක් සුදුසුකම් ඇතත් මේ අරහං ගුණ කතාවේ දී අදහස් කරනු ලබන්නේ දක්ෂිණාව පිළිගැනීමට, ඇති සුදුසු බවයි.

ලෝකෝත්තර වූ උසස් ඵල බලාපොරොත්තුවෙන් සැදැහැතියන් විසින් පුදනු ලබන චීවර, පිණ්ඩපාත ආදී ප්‍රත්‍යයන් දක්ෂිණාව ලෙස හඳුන්වන්නට පුළුවන්. උසස් ඵල බලාපොරොත්තුවෙන් ප්‍රත්‍ය පූජාවක් කරන්නා වූ තැනැත්තාට ඔහු බලාපොරොත්තු වන දෙය ලබා දීමට යමෙක් සමත් වෙයි නම්, ඒ පුද්ගලයා ම එය පිළිගැනීමට සුදුසු ය.

බුදුරජාණන් වහන්සේගේ ගුණ මහත්වය නිසා පූජා කරන්නවුන්ට ඔවුන්ගේ ප්‍රාර්ථනා සිද්ධියට පැමිණේ. එබැවින් තථාගතයන් වහන්සේ “අරහං” නම් වේ. ප්‍රාර්ථනා සිද්ධියට පැමිණවීමට හේතුවන යම් ගුණයක් තථාගතයන් වහන්සේ කෙරෙහි ඇත්නම් එම ගුණය “අරහං ගුණය” යි. බුද්ධ ගුණ කථනයේ දී ඒ උසස් දක්ෂිණර්තභාවය නැතහොත් ඕනෑම ප්‍රත්‍ය පූජාවක් පිළිගැනීමට ඇති සුදුසු බව දැක්වීම සඳහා ද අරහං යන ගුණය භාවිත කරනු ලැබේ.

බුදුරදුන්ගේ මේ දක්ෂිණාර්තභාවයේ හේතුව ලෙස දක්වා ඇත්තේ කෙලෙසුන් කෙරෙන් දුරු වූ පවිත්‍ර බවයි. යම්කිසි කෙනකු විසින් කරනු ලබන ප්‍රත්‍ය පූජාවන් මහත්ඵල මහානිසංස ලබා ගැනීමට එය බුද්ධාදී මහා සංඝරත්නය විෂයයෙහි ම පිදීම අවශ්‍ය වෙයි. තමා සිදු කරනු ලබන පූජාව සාමාන්‍ය පෘථග්ජනයන් උදෙසා සිදු කළ විට එයින් මහත්ඵල මහානිසංස ලබා ගැනීමට නොහැකි වෙයි.

වේලාම සූත්‍රයේ එන පරිදි අතීතයේ අප බෝසතාණන් වහන්සේ වේලාම නමින් බමුණෙක් විය. හෙතෙම රිදී බඩු, රිදී පිරවූ රන් තැටි ද, රන් බඩු, රන් තැටි පිරවූ රිදී තැටි ද, සත්රුවන් පිරවූ ලෝහ තැටි ද මේ ආකාරයෙන් මහා විශාල දානයක් දුන්නේ ය. ප්‍රමාණයක් නැති තරමට බොහෝ ආහාරපාන ද දුන්නේ ය. නමුත් වේලාම බමුණා දන් දුන් කාලය බුදු කෙනකු නැති අබුද්ධෝත්පාද කාලයක් බැවින් ඒ දානය මහත්ඵල කිරීමට සමත් වන එකදු පුද්ගලයකු නො සිටියේ ය. එබැවින් මේ ආකාරයට දක්ෂිණාර්භයන්ගේ වටිනාකම පිළිබඳ ව බුදුන් වහන්සේ අනේපිඬු සිටුතුමාට තතු පැහැදිලි කළ සේක. එබැවින් බුදුරජාණන් වහන්සේ සතු වූ ඒ උතුම් දක්ෂිණාර්භ ගුණය හැඳින්වෙන "අරහං" නම් වචනය තම තමන්ගේ සිත් පරිදි භාවිත කරන්නේ නම් එය බෞද්ධයන් වශයෙන් අප සිදු නොකළ යුතු ක්‍රියාවකි. බෞද්ධයන් වශයෙන් අප කළ යුත්තේ ඒ අනන්ත වූ බුදුගුණය පිළිබඳ ව සිත්හි දරාගෙන, අප්‍රමාණ බුද්ධ ගෞරවයෙන් යුක්ත ව මේ භයංකර සසර කතරින් එතෙර වන්නට වහ වහා පින්දහම් සිදු කිරීම යි.