Print this Article


සැනසීම වැනසීමේ වරද සෙවීම

සැනසීම වැනසීමේ වරද සෙවීම

සිතෙහි හටගන්නා වූ, සිත වසා ගන්නා වූ ද්වේෂය පහසුවෙන් දුරු කළ හැකි නොවේ. ද්වේෂය නම්, දණ්ඩෙන් පහරලත් සර්පයකු සේ අන්‍යයන් නැසීමට, විනාශ කිරීමට සිතෙහි උපදින අකුසල් සිතුවිල්ලකි.

එමෙන් ම ගින්නක් සේ රෞද්‍ර වූ ද, සියලු තන්හි දවා විනාශ කරන්නා වූ ද, ද්වේෂයෙන් පිරි පුද්ගලයා අනුන් නසන්නට සිතමින් කටයුතු කරයි. එය තමාට මෙන් ම අන්‍යයන්ට ද අහිතකර වෙයි.

කරණීයමෙත්ත සූත්‍රයෙහි දී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ

“මාතා යථා නියං පුත්තං
ආයුසා එකපුත්තමනුරක්ඛේ
එවම්පි සම්බ භූතෙසු
මානසං භාවයෙ අපරිමාණං”

මවක් තම එකම පුතුට දක්වන කරුණාව මෙන් සියලු සත්ත්වයන්ට එක හා සමාන ව කරුණාව, මෛත්‍රිය දැක්විය යුතු බව ය.

මෙලෙස ද්වේෂයෙන් තොර ව, මෛත්‍රියෙන් ජීවත්වීම තුළ පුද්ගලයාට මෙලොව ජීවිතය මෙන් ම පරලොව ජීවිතය ද සාර්ථක කර ගත හැකි වේ.

ද්වේශ සහගත පුද්ගලයා නිරන්තරයෙන් දැවෙන්නේ ය. තැවෙන්නේ ය. නිතර ම දුකින්, සන්තාපයෙන් කටයුතු කරයි. සතුට, සැනසීම ඔවුන්ගේ සිත් තුළ නැති තරම් ය. මේ නිසා ම ගුණවත්කම් පිරිහී අගුණ වර්ධනය වෙයි. සුහදතාව අතුරුදන් වෙයි.

ධර්මය අවබෝධ කර ගැනීමට හැකි වනුයේ සන්සුන් වූ සිතකට ය. ද්වේෂ සහගත පුද්ගලයාට සත්‍ය නොවැටහෙයි. හොඳ - නරක අවබෝධ නොවෙයි. තමාට අයිති යම් වස්තුවක් හොරු රැගෙන යන්නා සේ ද්වේෂය තම මානසික සුවය අහිමි කරයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ, තම මව හෝ පියා හෝ වෙනත් නෑදෑයෙක් හෝ තමාට යහපතක් සිදු කරනවාට වඩා තමන් විසින් තැන්පත් කර ගන්නා වූ සිත තමාට යහපතක් සිදුකරන බව ය.

පුද්ගල මනසෙහි ආවේග පාලනය කර නොගැනීම තුළ පරලොව ද දුක්ඛිත ය.

අන්‍යයන්ගේ දෝෂාරෝපණයන්ට ලක්වීම, අනුන්ගේ කරදර පීඩාවන්ට ලක්වීම ආදිය ද්වේෂයේ ප්‍රතිඵල වේ.

පුද්ගලයකු තුළ ද්වේෂය වැනි මානසික ආවේගයන් ඇති වන අවස්ථා කිහිපයක් බුද්ධ දේශනාවේ පැහැදිලි කරයි. කෙනෙක් මේ ආකාරයෙන් කල්පනා කළ හැකි ය. මට කෙනෙක් අනර්ථයක්, අයහපතක් කළේ ය. මාගේ සහෝදරයාට, හිතවතාට අයහපතක්, අනර්ථයක් කළේ ය, ආදී වශයෙන් කිසියම් වූ පිළිගත නොහැකි හේතුවක් නොමැති ව අස්ථානයේ කෝපය හෝ ද්වේෂය හෝ ඇති කර ගැනීමට ඉඩ ඇත. සමාජයේ බොහෝ දෙනෙක් තුළ ද්වේෂ සහගත මානසික ස්වභාවයන් ඇතිවනුයේ මේ ආකාරයෙනි.

සමහර පුද්ගලයන් කිසිදු හේතුවක් නොමැති ව තවත් පුද්ගලයකු සමඟ වෛර බැඳ ගනී. එපමණක් ද ? අව්ව, වැස්ස, සුළඟ සමඟ පවා කෝපයෙන් යුතු ව කටයුතු කරන ආකාරය දක්නට හැකි ය.

බොහෝ පිරිසක් කෝපයෙන් කටයුතු කරන්නේ තමාගේ ප්‍රශ්න ම නිසා නොව සමාජයේ ප්‍රශ්න නිසා ය.

අපගේ සිතෙහි කෝපය හට ගැනීමට ප්‍රථම ව, මා ක්‍රෝධ කරනුයේ මට අදාළ දෙයකට ද? කුමන හේතුවකට ද? යන්න පිළිබඳ කල්පනා කිරීමේ දී අවබෝධ වනුයේ ක්‍රෝධය සැබැවින් ම අනවශ්‍ය පාපකාරී සිතුවිල්ලක් බව ය.

ද්වේෂ සහගත පුද්ගලයාට තමන්ගේ වගකීම් හා අරමුණූ කවරේද යන්න පිළිබඳ අවබෝධයක් නැත. ඔහු ක්‍රියා කරනුයේ මානසික දාසයකු ලෙසිනි.

අංගුත්තර නිකායේ ආඝාත පටිවිනය සූත්‍රයේ දී “යම් පුද්ගලයකුගේ සිතට ද්වේෂ සහගත සිතිවිල්ලක් හෝ වෛරයක් හෝ තරහ සිතුවිල්ලක් හෝ ඇති වූ අවස්ථාවක දී ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රිය වැඩීම, කරුණාව ඇති කර ගැනීම, මැදහත් සිතක් ඇති කර ගැනීම, ඒ පිළිබඳ කල්පනා කිරීමෙන් හෝ සිතීමෙන් හෝ වැළකීම, ස්වභාවයෙන් ම දුර්වලතා ඇති පුද්ගලයකු යැයි සිතා ඔවුන් ගැන තරහවක් ඇති කර නොගැනීම යනුවෙන් උපදෙස් දී ඇත.