Print this Article


පොඩි හාමුදුරුවන්ගේ භාවනා සටහන් - 07: භාවනාවට පෙර රූපය හැඳිනීම ...

පොඩි හාමුදුරුවන්ගේ භාවනා සටහන් - 07:

භාවනාවට පෙර රූපය හැඳිනීම ...

මා තෝරාගත් ප්‍රධාන භාවනාව වන නවසීවථික භාවනාවේ යෙදීමට පෙර ඒ සඳහා අවශ්‍ය මූලික ධර්ම කාරණා පිළිබඳ දැනීම ලබා ගැනීමට මට බොහෝ පොත් කියවීමට සිදු විය. රූපස්කන්ධය හෙවත් මේ ශරීරය තැනී ඇති ධාතු හතර පිළිබඳ ව ලැබූ දැනීම මම මීට පෙර කෙටියෙන් සටහන් කෙළෙමි. ඊළඟට මට අවශ්‍ය පංචස්කන්ධ පිළිබඳ දැනුම යි.

“ත්‍රිපිටකයෙන් ලබා ගන්නා දැනුම තමන්ගේ ම අවබෝධයක් වන්නේ භාවනාවෙනුයි. භාවනාවෙන් ලැබූ ප්‍රායෝගික අත්දැකීම් සමඟ ඒ දැනුම විස්තර කිරීමට ධම්මරතන හාමුදුරුවන් තරම් දක්ෂ කෙනෙක් ගැන මා දන්නේ නැහැ. මගේ ජීවිතේ අවසාන කාලේ දී තමයි උන් වහන්සේ හමුවුණේ.

“පන්සල් හදමින්, රට පුරා බණ කියමින් මුළු ජීවිතය ම ඒ වැඩට කැප කළ මා භාවනාව ගැන සිතුවේ නැහැ. ඒ අඩුව වැටහෙන කොට මගේ අත - පයත්, හිතත් දුර්වල වෙලා. පොඩි හාමුදුරුවන් දැන්ම ම, ඔය තරුණ වයසේ දී ම දහම් දැනුම භාවනාව තුළින් අවබෝධ කර ගන්නට වෑයම් කරන්න ඕන. මට බැරි වුණු දේ පොඩි හාමුදුරුවන්වත් කර ගන්න ඕන.”

ලොකු හාමුදුරුවන් මට දුන් ධෛර්යයට මා කළගුණ සලකන්නේ ධර්මය භාවනාවෙන් අවබෝධ කර ගැනීමේ අභියෝගය ජය ගැනීමෙන් ම ය. උන්වහන්සේ ජීවත් ව සිටිය දී ම එහි ජයග්‍රහණය මා ලබා ගත යුතු ය. මගේ සිත දැඩි විය. මම වහ - වහා සාර්ථක ව භාවනාවේ යෙදීමට අවශ්‍ය දැනුම සපයා ගතිමි.

නවසීවථික භාවනාවට අවශ්‍ය පංචස්කන්ධය පිළිබඳ දැනුම ධම්මරතන හිමියන්ගේ පොත්වලින්, හඬපටවලින් සහ සංයුක්ත තැටිවලින් මම ලබා ගතිමි. ඒ දැනුම මම මෙසේ සාරාංශ කර ගතිමි.

“රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන පංචස්කන්ධ ධර්ම හැර ස්ත්‍රියක්, පුරුෂයෙක්, පුද්ගලයෙක්, ආත්මයක් වශයෙන් ගන්නට කිසිම දෙයක් මෙහි නැත. මේ පංචස්කන්ධ ධර්ම නිරන්තරයෙන් ම වෙනස් වෙමින් අනිත්‍යයට යනවා. ඒවා පවතින එක ම දුකක්.

පංචස්කන්ධ ධර්ම, හේතූන් නිසා හටගත් ඵල ධර්ම. ඒවා මම නො වෙයි. මගේ නො වෙයි. මාගේ ආත්මයත් නො වෙයි කියා ප්‍රත්‍යක්ෂ ලෙසට අවබෝධයක් ලබා ගැනීම අවශ්‍ය යි.

රූපස්කන්ධය කියන්නේ ශරීරයට යි. ශීත, උෂ්ණ, සා පිපාසා ආදිය නිසා නිතර වෙනස් වන නිසයි රූප කියා කියන්නේ.

ශරීරය සෑදී ඇත්තේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන ධාතූන් හතරෙන් සහ ඒ ධාතු හතර නිසා සෑදුණු උපාදාය රූපයන්ගෙන්. ඇස, කන, නාසය, දිව, ශරීරය යන ඉන්ද්‍රියයන්ගේ ඇති ප්‍රසාද ගතිය. ස්ත්‍රී භාව, පුරුෂ භාව, රූපයේ ඇති වර්ණය, ගන්ධය, සැහැල්ලු බව, මෘදු බව, කන, නාසය ආදි කුහර තුළ ආකාශ ධාතුව යනාදිය උපාදාය රූප වශයෙන් ගණන් ගැනෙනවා. පරමාණු වැනි ඉතා සියුම් රූප කලාප ගිණිය නොහැකි අතිවිශාල ප්‍රමාණයක් ඇති නිසයි ‘රූපස්කන්ධය’ කියා කියන්නේ.

රූපය ඇති වීමේ හේතු හතරක් තිබෙනවා කර්ම, චිත්ත, ඍතු, ආහාර කියලා. මවුකුසට ප්‍රතිසන්ධි විඥානය පැමිණි විගස ම, ඒ හා සමඟ ම මෙම ශරීරය හැදීමට අවශ්‍ය රූප කොටසකුත්, සිත පිහිටා සිටීමට අවශ්‍ය රූප කොටසකුත්, ස්ත්‍රියක් ද, පුරුෂයෙක් ද කියා නිගමනය වන රූප කොටසකුත් ඒ කර්ම ශක්තිය තුළින් නිපදවෙනවා. මවගෙන් ලැබෙන ආහාර ශක්තිය නිසා ඒ රූපය වැඩෙනවා. එසේ වැඩෙන විට කර්ම ශක්තිය තුළින් ඇස, කන, නාසය ආදි ඉන්ද්‍රියන් ඇති වනවා.

මවුකුසින් බිහි වුණාට පසු ව, ආහාරපාන නිසා ඒ රූපය වැඩෙනවා.

ඒ වගේ ම සීත, උෂ්ණ ආදී ඍතූන් නිසාත් මෙම රූපය ඇති වෙමින්, නැති වෙමින් යනවා.

සිත, නිසාත් රූපය ඇති වෙනවා. නැති වෙනවා.

සිනා වී සතුටින් සිටින විට හා තරහ ගිය විට මුහුණේ දැකිය හැකි වෙනස්කම ගැන සිතුවා ම, සිත නිසා රූපය ඇතිවන ආකාරය අවබෝධ කර ගන්න පුළුවන්.

මේ හේතූන් හා ශරීර ඉන්ද්‍රියයන් යථා පරිදි තිබෙන තාක් කල් මේ ශරීරය පැවතගෙන පැවතගෙන, යනවා.

මේ හේතූන් නැති වී යෑමෙන්, ඒ ඒ හේතු නිසා ඇති වූ රූප නැති වෙනවා. උදාහරණයක් වශයෙන් ආහාර නිසා ඇති වූ රූප, ආහාර ශක්තිය නැති වී ගිය විට නැති වී යනවා. චිත්ත ඍතු ආදිය නිසා ඇති වූ රූපත් ඒ හේතු නැති වන විට නැති වෙනවා.

භාවනා කරන විට, අරූපාවචර ධ්‍යානවල දී හා ශුන්‍යතාවයකට පත් වූ විට, රූපය සිතට නොපෙනී, රූප නිමිති නැති වී යන විට රූප නිරෝධයක් ඇති වනවා. නිරෝධ සමාපත්තියකදීත් රූප නිරෝධයක් අත් දකින්න පුළුවන්. එහෙත් නිත්‍ය රූප නිරෝධයක් සිදු වන්නේ රහත් වූ කෙනකු පිරිනිවී ගිය පසුව යි.