Print this Article


සුවය සතුට ලබනු පිණිස

සුවය සතුට ලබනු පිණිස

ආරෝග්‍ය පරමා ලාභා – සන්තුට්ඨි පරමං ධනං
විස්සාස පරමා ඤාතී – නිබ්බාණං පරමං සුඛං

බුදුරජාණන් වහන්සේ කොසොල් රජු අරභයා වදාළ මෙම ගාථාව තුළින්

නිරෝගී බව උතුම්ම ලාභයයි,

සතුටට සම වන කිසිදු ධනයක් නොමැත, ඥාතීත්වය විශ්වාසය මත රැඳී පවතී. උතුම් වු නිර්වාණයට සම වන ලොව වෙනත් සුවයක් නොමැත යනුවෙන් පැහැදිලි කෙරේ.

පුද්ගලයකු උපතේ සිට යම් යම් රෝග තත්ත්වයන්ට මුහුණ දෙනවා නම් එම ජීවිතය නිරෝගී නොවේ. එය තමන්ගේ ජීවිතයට පමණක් නොව තමන්ගේ දරු පවුලට, ඥාතීන්ට ද හානිකර වෙනවා. ඒ නිසා සෞඛ්‍ය සම්පන්න නීරෝගී දිවියක් ගත කළ යුතු ව තිබෙනවා.

අද විවිධ රෝග වැළ¼දීමේ වර්ධනය වීමක් දක්නට ලැබෙනවා .බොහෝ දෙනෙක් තම ජීවිතයේ වටිනාකම පිළිබඳ සිතන්නේ නෑ ,බොහෝ දෙනෙක් විෂම ආහාරවලට යොමු වෙලා තිබෙනවා. විෂම මත්ද්‍රව්‍ය, මත්කුඩු පානය කිරීමට පෙළඹී තිබෙනවා.

අතීතයේ අප ගොවිතැන් කටයුතු සිදු කරමින්, තමන්ට ආහාරයට අවශ්‍ය බව භෝග වගා කරමින් උපයා සපයා ගනු ලැබුවා. ඒ සඳහා වස විස භාවිත කළේ නෑ. අද වගාවන් සඳහා නොයෙක් කෘමිනාශක භාවිත කරනවා. මේ නිසා අපට ආහාරයට ගැනීමට සිදුව තිබෙන්නේ වස විෂ සහිත ආහාරයි ,එය සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අහිතකරයි.

එසේම අයහපත් සෞඛ්‍ය පුරුදු හා වැරැදි ආහාර රටා, වැරැදි ජීවන පුරුදු ද පුද්ගලයකුගේ නිරෝගිමත් බවට ප්‍රධාන ලෙස බලපානවා. කුඩා කල සිට ම බෝවන රෝගවලින් ආරක්ෂා වීමට නම් යහපත් සෞඛ්‍ය පුරුදු පිළිපැදිය යුතු ව තිබෙනවා.

බුදුරජාණන් වහන්සේ “ සන්තුට්ඨි පරමං ධනං” යනුවෙන් දේශනා කර ඇත්තේ පුද්ගලයකුගේ මානසික නිරෝගීකමයි. වර්තමාන සමාජය දෙස බලන විට බොහෝ ජීවිතවල මානසික සතුට නෑ. මානසික රෝගීන් බහුල යි. සමාජීය, ආර්ථික බලපෑම් ද මෙයට හේතු වී තිබෙනවා.

තමාගේ මානසික සුවය සලසා ගත යුත්තේ තමා ම යි. සම්බුදු දහමේ පුද්ගලයකුට මානසික නිරෝගීතාව ඇති කර ගැනීම සඳහා අවශ්‍ය කරුණු දේශනා කර තිබෙනවා. එහි දී මූලික වන්නේ භාවනාවයි .“

“විස්සාසා පරමා ඥාතී” ලෙස දේශනා කර ඇත්තේ යහපත් ජීවිතයක් ගත කිරීමට විශ්වාසවන්ත භාවය තිබිය යුතු යන්න යි . විශ්වාසය උතුම්ම ඥාතියා ලෙස මෙහිදී පෙන්වා දෙනවා. විශ්වාසවන්ත ව කටයුතු කරන පුද්ගලයාට සමාජයෙන් උසස් පිළිගැනීමක් හිමි වෙනවා .විශ්වාස කඩවීම නිසා සිදු වන හානි, විපත් බොහෝ විට අපට අසන්නට දකින්නට ලැබෙනවා.

“නිබ්බානං පරමං සුඛං’ ලෙස ආධ්‍යාත්මික සුවපත්භාවයයි පෙන්වා දෙන්නේ. උතුම් වූ නිර්වාණය, ලබන්නා වූ පරම සුවය බව බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරනවා. බෞද්ධ ජනතාව ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් තම ජීවිතවලට ආධ්‍යාත්මික සුවය ලබා ගැනීමට කටයුතු කළ යුතු යි.