Print this Article


කඨිනානිශංස

කඨිනානිශංස

වස්ත්‍ර පිදීමෙන්

බුදුරජාණන් වහන්සේට මෙන් ම, මහා සංඝයා වහන්සේ උදෙසා වස්ත්‍ර පූජා කිරීමෙන් අනුසස් අටක් ලබන්නේ ය.

උපනූපන් ආත්ම භාවයන්හි දී රන්වන් සිරුරක් ඇත්තෙක් වේ. රජස් නැත්තෙක් වේ. රැස් විහිදෙන ශරීර ඇත්තෙක් වේ. ප්‍රතාප ඇත්තෙක් වේ. සිනිඳු සිරුරු ඇත්තෙක් වේ. සුදු, කහ, රතු පැහැති වර්ණයෙන් යුතු අගනා වස්ත්‍ර ලක්ෂ ගණනින් භවයෙහි උපත ලද සෑම ආත්මභාවයක දී ම ලැබෙන්නට වීමෙන්, ප්‍රමාණවත් පරිදි පරිහරණය කරමින්, අඹු දරු, ඥාති හිතමිත්‍රාදීන් මෙන් ම අගහිඟකම් ඇති ඇත්තන්ට ද පරිත්‍යාග කරන්නෙක් වේ. එසේ කිරීමෙන් ලබන්නා වූ මානසික සුවය ද ඉතා ඉහළ ය.

අංශකඩ පූජා කිරීමෙන්

බුදුරජාණන් වහන්සේට සහ මහා සංඝයා වහන්සේට අංශකඩ පූජා කිරීමේ අනුසස් වශයෙන් අන් අයගේ සිත් දැනගන්නා නුවණ ඇතිවන්නේ ය. පෙර ආත්ම සිහි කිරීමේ නුවණ ලබන්නේ ය. පැහැපත් ශරීර වර්ණයක් ලබන්නේ ය.

දිය පිස්නා වස්ත්‍ර පිදුවොත්

රන්වන් පැහැ ශරීර ඇත්තෙක් වන්නේ ය. රජස් නැත්තෙක් වන්නේ ය. ශරීරයෙන් නික්මෙන රැස් ඇත්තෙක් වන්නේ ය. ප්‍රතාප ඇත්තෙක් මෙන් ම, සිනිඳු සිරුරක් ඇත්තෙක් වන්නේ ය.

සිරුරෙහි කුණු නො ඇලෙයි. කර්මයට අනුරූප වූ අනුසස් ලබන්නෙක් ද වන්නේ ය.

පෙරහන්කඩ පිදීමෙන්

බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේට පෙරහන්කඩ පූජා කිරීමේ අනුසස් පහකි. සෑම දෙනා ම ඉක්ම වූ දීර්ඝායුෂ ලැබීම, සොර සතුරු බියක් ඇත්තෙක් නොවීම, අවි ආයුධයෙන් හිංසාවක් නොවීම, වස විෂ ආදියෙන් පීඩාවක් නොවීම,සසර වාසය කරන සැමදා අතුරු මරණයක් නැත්තේ වීම ය.

පාත්‍ර පූජා කිරීමෙන්

බුදුරජාණන් වහන්සේට මෙන් ම ගුණවන්ත මහා සංඝරත්නය උදෙසා පාත්‍ර පිදීමෙන් දහසක් අනුසස් සසර උපදින සෑම ආත්මභාවයක් පාසා ම ලබන්නේ ය.

රන්, රිදී, මැණික්, රන් මැණික් තලි ද හැම ආත්මභවයක පරිභෝග කරන්නේ ය. උපද්‍රව, අනතුරු නැත්තෙක් වන්නේ ය. කාගේත් ගෞරවයට පාත්‍ර වන්නේ ය. ආහාර, වස්ත්‍ර සයනාසන ලබන්නේ ය. දේපළ, භවභෝග ගින්නෙන්, ජලයෙන්, කෘමි ආදී සත්වයන්ගෙන් විනාශ නොවේ.

චංචල බවින් තොර, ස්ථිර සිත් ඇත්තෙක් වන්නේ ය. සෑම කල්හි ම ධර්මයට කැමැත්තෙක් මෙන් ම, කෙලෙස් අඩු, ආශ්‍රව රහිත කෙනෙක් වන්නේ ය.

මෙවන් වූ ගුණයෝ දිව්‍ය ලෝකයේ ද, මනුෂ්‍ය ලෝකයේ ද යන සෑම තැන්හි ම ඡායාව වෘක්ෂය හැර නොයන්නාක් මෙන් මඟ නො හරිමින් පැමිණෙන්නේ ය.

ඖෂධ පූජාවෙන්

දීර්ඝායු සම්පත් ලැබේ. ශරීර ශක්තිය ලැබේ. ධෛර්ය සම්පන්න පුද්ගලයෙක් වේ. පැහැපත් වර්ණයකින් යුක්ත වේ. යහපත් කීර්තිරාවයක් ඇත්තකු වේ. ශරීර සැපය ලැබේ. කවර උපද්‍රවයකට හෝ හසු නොවන්නකු වේ. අන් අයගේ දෝෂාරෝපණයන්ගෙන් වැළකුණූ අයෙක් ද වේ.

පාවහන් සහ පා ආවරණ පිදීමෙන්

උපනූපන් ආත්ම භාවයන්හි දී හස්ති යාන, අශ්ව යාන, දෝලා ද, ගමන් බිමන් යෑම සඳහා ඒ ඒ කාලයන්හි පැවැති විවිධ වාහන ලබන්නේ ය. පයට පහසුව ගෙන දෙන අගනා පාවහන් ලබන්නේ ය. කිසියම් වූ ආත්ම භවයක දී පයේ හෝ පතුල්වල හෝ රෝගාබාධයන් ඇති නොවන්නේ ය. ඍද්ධි බල ඇති වන්නේ ය.

වටාපත් පූජාවෙන්

තථාගතයාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේට දහදිය වළක්වා ගැනීම උදෙසා ශෝභන වූ පවන් අතු හෙවත් තල් අතු පූජා කිරීමේ ආනිශංස අටක් ලබන්නේ ය. සීතලයෙන් හිරිහැරයක් නොවන්නේ ය. උෂ්ණයෙන් පීඩා නොලබන්නේ ය. ශරීරයේ දාහය නොවන්නේ ය. සිත තවන්නා වූ අධික රාගයෙන් තොර වනවා සේ ම දැඩි ද්වේශයෙන් තොර කෙනෙක් වන්නේ ය. නුවණ නැති එනම් මෝඩයෙක් ව උපත නොලබනවා සේ ම මාන්නය නැත්තෙක් වන්නේ ය. යම් යම් වැරැදි දෘෂ්ටීන්, එනම් වැරැදි විශ්වාස නොදරන්නෙක් වෙයි.