Print this Article


නොබිඳෙන නොසෙල්වෙන ගරු පුණ්‍ය කර්මය

නොබිඳෙන නොසෙල්වෙන ගරු පුණ්‍ය කර්මය

පාවා නුවර භික්ෂූන් වහන්සේ පිරිසක් මුහුණ දුන් දුෂ්කරතාවක් මුල්කරගෙන කඨින චීවර පූජාවෙහි සමාරම්භය සිදු විය.

එ සමයෙහි බුදුරදුන් වැඩසිටියේ සැවැත්නුවර ජේතවනාරාමයේ ය. පාවා නුවර වාසය කළ තිස්නමක් පමණ වූ භික්ෂූන් වහන්සේ පිරිසක් බුදුරජාණන් වහන්සේ බැහැදැකීම පිණිස සැවැත් නුවරට වැඩමවමින් සිටියහ. එහෙත් වස් එළඹීම ළං ව තිබූ හෙයින් සැවැත්නුවර වස් එළඹීමට යාමට නොහැකි විය. උන්වහන්සේ පාවා නුවරත්, සැවැත් නුවරත් අතරමඟ වූ සාකේත නුවර වස් එළඹියහ.

තෙමසක් ඇවෑමෙන් වස් වැස නිම කළ එකී භික්ෂූන් වහන්සේ වස් පවාරණය සිදු කළහ. ඉක්බිති ව බුදුරදුන් බැහැදැකීමට පිටත් වූහ. අතරමඟ දී වැස්සෙන් තෙමී, දියෙන් තෙත්වී ගිය සිවුරුවලින් යුතු ව ගොහොරු මඩෙහි ගමන්ගත් එම ගමන බෙහෙවින් ම දුෂ්කර වුණි. සැවැත්නුවර ජේතවනාරාමයට වැඩමවන විට එම භික්ෂූන් වහන්සේ ක්ලාන්ත ස්වභාවයකින් යුක්ත වූහ.

මෙම ආගන්තුක භික්ෂු පිරිස සමඟ බුදුරජාණන් වහන්සේ පළමුව ආ ගිය තොරතුරු විමසමින් කෙටි පිළිසඳරක නිරත වූහ. එහිදී උන්වහන්සේ මුහුණ දුන් දුෂ්කරතාව අසා මින් මතු සියලු ම භික්ෂූන් වහන්සේට මෙවන් දුෂ්කරතාවන් හි දී තරමක පහසුවක් ඇති කිරීම සඳහා කඨිනාස්තරණ විනය කර්මය මෙසේ අනුදැන වදාළ හ.

මහණෙනි, වස් වැස නිම කළ භික්ෂූන්ට කඨින ඇතිරීම අනුදනිමි.

මෙතැන් සිට භික්ෂූන් වහන්සේට අතිරේක චීවරයක් ලෙස කඨින චීවර පරිහරණය කිරීමට අවස්ථාව උදා වුණි. එහෙත් මෙම කඨින චීවරයක් ලැබීමට සෑම භික්ෂූන් වහන්සේ නමක් ම සුදුසු නොවෙති. ඒ සඳහා විනය කර්ම හා වත් පිළිවෙත් සම්පූර්ණ කළ යුතු ය.

පෙරවස් එළඹි භික්ෂූන් වහන්සේ නමක්වීම එහි පළමුවැන්න වන අතර, පෙරවස් එළඹි පමණින් එය සම්පූර්ණ නොවේ. තුන් මාසය මුළුල්ලෙහි ම වස්සච්ඡේදනය කොට නොගෙන (වස් කඩ නොකොට) එය මැනවින් ආරක්ෂා කොට, වප් පුර පසළොස්වක පොහෝදා මහා පවාරණයෙන් පවාරණය කළ භික්ෂූන් වහන්සේ නමක් විය යුතු ය.

ඇසළ පොහෝදා පොහොය කොට අව පෑළවියෙහි පෙර වස් සමාදන් ව, එහෙත් කිසියම් කරදරයක් හෝ රෝග පීඩාවක් නිසා හෝ පෙර වස් පවාරණය කිරීමට නොහැකි වූ භික්ෂූන් වහන්සේ නමකට ද සංඝ සම්මුතියට අනුව කඨින චීවරයක් පිළිගත හැකි ය.

කඨින චීවරයක් පිළිගැනීමට බලයක් නැත්තේ පෙර වස් සමාදන් ව එය අතරමඟ දී කැඩී ගිය භික්ෂුවටත්, ඇසළ අව පෑළවියෙහි අතපසුවීමෙන් නිකිණි අව පෑළවියෙහි පසුවස් එළඹි භික්ෂුවටත්, සාමණේරවරුන්ටත් ය. එසේ ම කඨිනයට අතුරනු ලැබූ වෙහෙරෙන් පිටත අනෙක් වෙහෙරක වස් විසූ භික්ෂූන් වහන්සේට ද කඨින චීවරය අයත් නොවේ. උන්වහන්සේ ගණපූරක භික්ෂූහු වෙති. මේ කඨින චීවරය පිළිගැනීම පිළිබඳ වූ මූලික ම විනය නීති මාලාව යි.

මෙම කඨින චීවර පූජාව මහපොළොව මෙන් කිසි කලෙකත් කම්පා නොවෙන, මහාමේරු පර්වතය මෙන් අධික සුළඟින් නොසෙල්වෙන, ඒකඝන වජිර පර්වතය මෙන් නො බිඳෙන, ස්ථාවර ගරු පුණ්‍ය කර්මයකි.

බෞද්ධ සාහිත්‍යයේ මැනවින් වර්ණිත නාගිත මහරහතන් වහන්සේගේ උතුම් චරිත කතාව දෙස බැලීමේ දී කඨිනයෙහි ආනිසංස මනාව වටහාගත හැකි ය.

නාගිත තෙරණුවෝ එක් භවයෙක කඨින පූජාවක් සිදු කොට එහි ආනිසංසය නිවන් මඟට හේතු වේවා'යි ප්‍රාර්ථනා කළහ. එතැන් සිට සතර අපායේ නො ඉපිද සදෙව් ලොව හා මිනිස් ලොව යන සත් වැදෑරුම් කාම ලෝකයන්හි දෙව් මිනිස් සැප වින්දහ. අවසාන භවයෙහි ඒහිභික්ඛු භාවයෙන් පැවිදි ව අර්ථ, ධර්ම, නිරුක්ති සහ පටිභාන යන සිව් අවබෝධය ද සහිත ව සිව්පිළිසිඹියාපත් මහරහතන් වහන්සේ නමක් බවට පත් වූ හ යි, බෞද්ධ සාහිත්‍යයේ සඳහන් ය.