Print this Article


සමගියෙන් වස් සමාදන් ව සමගියෙන් ම සමුගන්නා වස් පවාරණය

සමගියෙන් වස් සමාදන් ව සමගියෙන් ම සමුගන්නා වස් පවාරණය

මහාවග්ග පාළියේ දැක්වෙන පරිදි වස් පවාරණය කළ යුත්තේ දුටු හෝ, ඇසූ හෝ, සැකයට භාජන වූ හෝ වරදක් වේ නම්, ඒවා නිවැරැදි කර ගෙන ය.

බුද්ධ කාලයේ භික්ෂූන් වහන්සේ තැන තැන කණ්ඩායම් වශයෙන් වස් වසා තිබේ.

විවිධ වයස් කණ්ඩායම් එක් ව මාස 3ක් පමණ කාලයක් වාසය කරන විට එකිනෙකාගේ විවිධ අදහස් උදහස්, ක්‍රියාකාරකම් අන් අයට වැරැදි ලෙස පෙනෙන්නට ද, ඇසෙන්නට ද, සැක කිරීමට ද පුළුවන.

ඒ අනුව විෂම වයස් කාණ්ඩවල භික්ෂූන් එක් ස්ථානයක වස් වසා සිටින විට විවිධ ගැටුම්, වාද භේද, තර්ක විතර්ක පැනනැඟීම සාමාන්‍ය තත්ත්වයකි. මේ තත්ත්වය ඇති වුවහොත් වස් පවාරණය කර විසිරී යන්නේ සමගියෙන් නොව අසමගියෙනි.

බුදුසසුනේ චිරකල් පැවැත්ම සඳහා විනය ප්‍රධාන වන බව “විනයෝ නාම සාසනස්ස ආයු” යනුවෙන් ද, භික්ෂූන් වහන්සේලාගේ සමගිය සැපයක් බව “සුඛා සංඝස්ස සාමග්ගි” යනුවෙන් ද බුදුහිමි දේශනා කර ඇත්තේ මෙවැනි අසමගිකම් ඇති වීමට ඉඩ නොතබමිනි.

වස් විසීමට සමගියෙන් එකමුතු ව සහභාගී වූ භික්ෂූන් එය අවසන් කළ යුත්තේ ද සමගියෙන් යුතු ව බව දැක්වීමට වස් පවාරණය නම් විනය කර්මය නියම කළ බව පෙනේ. එහි දී වස් කාලය තුළ එක්ව විසූ භික්ෂූන් අතර සිදු වූ යම් වරදක් දැක්කේ නම්, ඒ වැරැදි ක්ෂමා කර ගෙන හෝ, තවත් පිරිසකගේ වැරැදි අසා තිබේ නම් ඒවා සමථයකට පත් කොට ගෙන හෝ, තවත් අයුරකින් යමකුගේ වරදක් ගැන සැකයක් ඇති වී නම් ඒවා දුරු කරගෙන හෝ, වස් සමාදන් වන විට භික්ෂූන් අතර පැවති සුහදතාව, සමගිය වස් පවාරණය කරන විට ද එලෙස ම හෝ ඊටත් වැඩියෙන් ආරක්ෂා කර ගෙන භික්ෂූන් වහන්සේ සමගියෙන් යුතු ව සිදු කෙරෙන සමුගැනීමක් ලෙස වස් පවාරණය අගනා විනය කර්මයක් ලෙස හැඳීන්විය හැකි ය.

මහාවග්ග පාළියේ ප්‍රථම භාගයේ ඇතුළත් පවාරණක්ඛන්ධකයේ බුදුහිමියන් පවාරණ විධි හතරක් නම් කර ඇත. එනම්,

අධර්මයෙන් බෙදී සිදු කෙරෙන පවාරණ කර්මය, අධර්මයෙන් සමගි වී සිදු කෙරෙන පවාරණ කර්මය, ධර්මයෙන් බෙදී සිදු කෙරෙන පවාරණ කර්මය, ධර්මයෙන් සමගි වී සිදු කෙරෙන පවාරණ කර්මය (ම.ව.පා. 1. 403) යි. මෙයින් බුදුහිමියන් අනුමත කර ඇත්තේ සිව්වන පවාරණ කර්මයයි.

“තත්‍ර භික්ඛවේ, යමිදං ධම්මේන සමග්ගං පවාරණකම්මං, ඒවරූපං භික්ඛවේ, පවාරණ කම්මං

කාතබ්බං, ඒවරූපඤ්ච මයා පවාරණකම්මං, අනුඤ්ඤාතං” (ම.ව.පා. 1.402)

“මහණෙනි, ඔවුන් අතුරෙහි යම් ඒ ධර්මයෙන් සමගි වූ පවාරණ කර්මයක් වෙයි ද, එම පවාරණ කර්මය කළ යුතු ය. මා අනුමත කරන්නේ ද එම පවාරණ කර්මය යි.”

(ම.ව.පා. 1.403)

මෙහි අතීත තොරතුරු මෙසේ ය. බුද්ධ කාලයේ භික්ෂූන් වහන්සේ වස් වසා අවසාන කළ පසු බුදුහිමියන් හමුවීමට යාම පුරුද්දක් විය. ඔවුහු පාත්‍ර හා සිවුරු රැගෙන සැවැත්නුවර ජේතවනාරාමයෙහි වූ අනේපිඬු සිටුගේ ආරාමයට පිළිවෙළින් ගොස් බුදුහිමියන්ට මනාව වැඳ පසෙකට වි සිටියහ. ආගන්තුක ව පැමිණි භික්ෂූන් සමග සතුටු සාමීචී කතා කිරීම බුදුහිමිගේ සිරිතකි.

මහණෙනි, වස් කාලය තුළ ලැබුණු සැප පහසුකම් ප්‍රමාණවත් ද? ඉවසිය හැකි ද? යැපිය හැකි ද? හෙවත් ජීවිතය ගෙන ගිය හැකි ද? සමඟියෙන් සතුටින්, වාද විවාද නොකරමින් හොඳීන් වස් විසුවේ ද? ආහාර සම්බන්ධයෙන් කරදර නොවී ද? යන ප්‍රශ්න බුදුහිමියන් ඒ භික්‍ෂු පිරිසගෙන් අසා ඇත.

භික්ෂූන් ඒ සියල්ලට ම පිළිතුරු ලෙස වස් කාලය ඉවසිය හැකියි, යැපිය හැකියි, සමගි ව සතුටින්, විවාද නොකර පහසුවෙන් විසූ බව කියා ඇත.

එවිට බුදුහිමියන් ඒ භික්ෂූන් අමතා දේශනා කර ඇත්තේ බුදුවරු දැන ගෙනත් විමසති. දැන ගෙන ම නොවිමසති. කාලය දැන ගෙන විමසති. ඇතැම් විට නොදැන විමසති. බුදුවරු වැඩදායක වූවක් ම විමසති. නිෂ්ඵල දෑ නොවිමසති. අර්ථ රහිත වචනයෙහි හේතු නැසීම බුදුවරුන්ගේ මාර්ග ඥානයෙන් ම සිදු වේ යැයි කියායි.

බුදුවරු මෙසේ විමසන්නේ භික්ෂූන්ට ධර්මය දේශනා කිරීමට හෝ ශික්ෂා පද පැනවීමට ය. ඉන් පසු බුදුහිමියන් තෙපි කෙසේ සමගියෙන්, සතුටින්, වාද විවාද නොකරමින්, පහසුවෙන් වස් විසී දැයි භික්ෂූන්ගෙන් අසා ඇත. (ම.ව.පා. 1. 397)

භික්‍ෂූන් සමගියෙන්, සතුටින්, වාද නොකරමින්, පහසුවෙන් වස් කාලය ගත කර ඇති බව බුදුහිමියන්ට කියා ඇත්තේ මෙලෙසිනි.

එකිනෙකා කතා නොකළෙමු. ප්‍රශ්න හා පිළිතුරු ලෙස කතා නොකළෙමු. පිණ්ඩපාතයේ ගොස් සැමට පෙර වස් විසූ ස්ථානයට පැමිණි භික්ෂුව සියලු සිරිත් විරිත් ඉටු කළේ ය. යමෙක් හිස් වූ පැන් කළය හෝ පරිභෝග කරන දිය කළය හෝ වැසිකිළියට රැගෙන යන දිය කළය හෝ දුටුවොත් ඒවා රැගෙන විත් තබයි. ඔහුට තනිව ම නොහැකි නම් අතින් දක්වන සංඥාවකින් තවත් අයකුට කතා කර අත්විලංගුවෙන් හෙවත් අත් එකට බැඳ දමන මාංචුවෙන් ගෙනැවිත් තබන නිසා ම එකිනෙකා කතා නොකර සිටියහ. මෙසේ සිටීමෙන් එකිනෙකා කතා නොකළ අතර, උත්තර හා පිළිතුරු ද නො දුන්නෙමු. මේ ආදී ක්‍රියාවන් නිසා තමන් සමගියෙන් , සතුටින්, එකිනෙකා සමග වාද නොකර, පහසුවෙන් විසුවෙමු. ආහාර නැති ව ක්ලාන්ත නොවීමු යැයි කියා ඇත.

එය ඇසූ බුදුහිමියන් පවසා ඇත්තේ වස් කාලය තුළ අපහසුවෙන් ගත කොට පහසුවෙන් විසූ බව කියති. මේ හිස් පුරුෂයෝ සිවුපාවුන් එක්ව වාසය කළා සේ හිඳ පහසුවෙන් වාසය කළ බව කියති. මහණෙනි, මේ හිස් අය එළු පිරිසක් එකට වාසය කළා සේ අපහසුවෙන් වස් වසා පහසුවෙන් විසූ බව කියති. මහණෙනි, මේ හිස් පිරිස සතුරු පිරිසක් සමඟ එක්ව සිටියා හා සමාන ව අපහසුවෙන් හිඳ, පහසුවෙන් සිටි බව කියති. මහණෙනි, මේ හිස් පුරුෂයෝ එකිනෙකා කතා නොකරන ගොළුවන්ගේ හැසිරීමක් බඳු ව්‍රත ඇති තීර්ථකයන්ගේ සීලයක් සමාදන් වූවාක් වැනි ය. එලෙස වස් විසීම නොපැහැදුණු අයගේ පැහැදීමට හෝ පැහැදුණු අයගේ පැහැදීම වැඩි දියුණු වීමට හෝ හේතු නොවන බව කියා ගර්හා කොට දැහැමි කථා කර මෙසේ භික්ෂූන් අමතා දේශනා කර ඇත.

මහණෙනි, වස් වැස නිම කළ භික්‍ෂූන්ට දැකීමෙන් හෝ ඇසීමෙන් හෝ සැකයෙන් හෝ යන කරුණු තුනින් පවරන්නට හෙවත් දුටු හෝ ඇසූ හෝ සැක කළ හෝ තමාගේ දෝෂයන් කියන්නට භික්‍ෂූන් කැමැති කරවා ගැනීමට අනුදනිමි. ඒ පැවරීම තොපට උනුන්ගේ අනුලොම් බව ද, ඇවතින් නැඟී සිටීම ද, විනය පෙරටු කොට ගත් බව ද වන්නේ ය.

(ම.ව.පා. 1. 399)

භික්ෂූන් වහන්සේට කාරණා තුනකින් වස් පවාරණය කිරීමට බුදුන් වහන්සේ නියම කිරීමට පසුබිම් වී ඇත්තේ ඉහත සිදුවීමයි.

ඉහත දැක්වූ කරුණුවලින් පැහැදිලි වන්නේ එක්ව වස් විසූ භික්‍ෂු පිරිස වස් අවසානයේ ඔවුනොවුන්ගෙන් සමුගත යුත්තේ ද සමගියෙන් හා සුහද ව බවට භික්‍ෂූන් වහන්සේට අමුත්තක් නොදැනෙන සේ වස් පවාරණය විනය කර්මයක් ලෙසින් සංඝ සමාජයේ ස්ථාපිත කොට ඇති බවයි.