Print this Article


මම බොහොම අවලස්සනයි කවුරුවත් සලකන්නේ නෑ

මම බොහොම අවලස්සනයි කවුරුවත් සලකන්නේ නෑ

අනුරාධපුර රාජ්‍ය කාලයේ රුහුණු රටේ ‘තිස්සදන‘ කියන දනව්වේ ‘වත්තේගම‘ කියලා ගමක් තිබුණා. හැමදෙනාම වාගේ කළේ හේන් සහ කුඹුරු ගොවිතැන. පන්සලත් එක්ක බොහොම සමීපයි. බණ අහනවා, දන් දෙනවා, සිල් ගන්නවා. ධාර්මික ව ජීවත් වෙනවා.

මේ හැම ගුණයක් ම හොඳට පුරුදු කරපු තරුණයෙක් විශාල කුඹුරක් වගා කළා. පැලක් හදාගෙන හැමදාම රෑට පැලට ගියා. අඳුර පැතිරුණා. රැහැයියන්ගේ, උලලේනන්ගේ හඬ ඇහෙනවා. මෙහෙම කලුවරේ ඉන්න කොට ඈතින් ඇහෙන්න ගත්තා මිනිස් කටහඬක්.

‘මට කන්න දෙන්න, මට බඩගිනියි, මට බොන්න දෙන්න, මට බොහොම පිපාසයි‘කියනවා ඇහුණා. දෙතුන් වතාවක් ම මෙහෙම කියනවා ඇහුණා. ඒත් එක්කම ඉකි ගසමින් අඬන සද්දයත් ඇහෙන්න පටන් ගත්තා.

කවුද කියල බලන්න ඕන කියලා හුළු අත්තක් පත්තු කරගෙන එතැනට ගියා. කවුරුත් ම හිටියේ නෑ. නැවතත් අඬන සද්දය ඇහුණා. නැවතත් එතැනට ගියා. ඊට පස්සේ වෙනත් තැනකින් අඬනවා ඇහෙනවා. බැරිම තැන ඇහුවා ‘ඔබ කවුද? ඇයි මේ ඉකි ගගහා අඬන්නේ? කියලා.

එතකොට අඬපු කෙනා කියනවා

‘මම ප්‍රේතයෙක් මම ඔබ ඉදිරියේ පෙනී ඉන්නේ නෑ. ඔබ බියට පත් වෙනවා. මම බොහොම විරූපියි. මගේ කටින් කෙළ වැගිරෙනවා. අවලස්සන යි. මා පහු කර ගෙන මගේ නෑයන් මේ දැන් ගියා. මෙන්න මේ දැනුත් මා පහු කර ගෙන යනවා. ඔබට ඒවා පේන්නේ නෑ. ඔවුන්ට බොහෝම ලස්සන වස්ත්‍ර තියෙනවා. රසවත් කෑම තියෙනවා. ඒත් මට දෙන්නේ නෑ. මා දිහා බලන්නේ නෑ. ඒ දුකට තමයි අඬන්නේ.

මට පිහිට වෙන්න මගේ දරුවෝවත්, නෑයෝවත්, හිතවතුන්වත් ඉදිරිපත් වෙන්නේ නෑ. ඒ වේදනාවෙන් අඬන්නේ, මම මෙතැනට ආවේ ඔබගෙන් පිහිටක් ඉල්ලන්න. ඔබ මගේ නෑයෙක්වත්, හිතවතෙක්වත් නෙවෙයි. ඒත් ඔබේ ගුණයක් තියෙනවා මම දැක්කා. පුළුවන් නම් මට පින් දෙන්න‘යි තරුණයාගෙන් ඉල්ලීම් කළා.

තරුණයා පසුදා ම විහාරයට ගිහින් භිකෂූන් වහන්සේ අට නමකට ආරාධනා කරලා හැම ආහාරයක් ම වාගේ සම්පූර්ණ වෙන්න ප්‍රණීත ව දන් පූජා කළා. එදින රාත්‍රියේ පැලේ ඉන්නකොට ඒ ප්‍රේතයා අඬන්නේ නැති ව, වෙහෙසක් නැති ව, සතුටින් මහා රාත්‍රියේ ඇවිත් කතා කළා. ‘ඔබට බොහෝම ස්තූතියි. මට ඇති වෙන්න දැන් කෑම බීම තියෙනවා‘යි කිව්වා.

තරුණයා එතකොට කියනවා ‘එහෙනම් මට ඔබ ව දකින්න සලස්වන්න‘ කියලා. එතකොට ප්‍රේතයා කියනවා ‘මට වස්ත්‍ර නෑ. ඒ නිසා ඔබ ඉදිරියේ පෙනී ඉන්න විදිහක් නෑ‘යි කියලා. තරුණයා තමන්ගේ වස්ත්‍රයක් දික්කරලා ‘මේක අරගෙන ඇඳ ගන්න‘යි කියනවා. එවිට ප්‍රේතයා කියනවා ‘ඔහොම දෙන වස්ත්‍ර මට ගන්න බෑ. මට ගන්න පුළුවන් සංඝයාට පූජා කරලා පින් දුන්නොත් විතරයි‘කියලා.

පසු දින තරුණ ගොවියා නැවතත් විහාරයට ගිහින් භික්ෂූන් අට නමකට ආරාධනා කරලා ගෙදරට වැඩම කරවලා දන් දීලා, සිවුරු පූජා කරලා, පින් දුන්නා. එදින මධ්‍යම රාත්‍රියේ අර ප්‍රේතයා ඇවිත් බලන කොට තරුණයාට හොඳට ම නින්ද ගිහින්. ඒ නිසා දුර ඉඳගෙන කතා කරලා කියනවා ‘අවදි වෙන්න, ඔබට බොහොම ස්තූතියි. මගේ ඥාතියෙක්වත් මට උදව් කළේ නෑ. එහෙත් ඔබ මට උදව් කළා. මම ඔබට පිහිට වෙන්න ඕන‘යි කියලා දිව්‍ය වේශයෙන් ඔහු ඉදිරියේ පෙනී ඉදලා කියනවා.

‘මම ගිය ආත්මයේ බොහෝම ධනවතෙක්, මම තැන්පත් කළ නිදන් තුනක් තියෙනවා. ඒත් දන් දුන්නේ නෑ. මේ ගැන කාටවත් කිව්වේ නෑ. ආශාවෙන් ධනය රැස් කළා. දැන් මට ඒවා අරගෙන දන් දෙන්නවත්, පරිභෝග කරන්නවත් බෑ. ඔබ ඒවා අරගෙන පරිභෝග කරන්න. දන් දෙන්න. මටත් පින් දෙන්න ‘යි කියලා ඔහු කැඳවා ගෙන ඊට මදක් දුරින් තිබුණු නුග ගහක් යටට ගිහින් මිනිස් කල තැන්පත් කළ රන්, රිදී සහ කහවණු තියෙන නිදන් තුනක් පෙන්නලා කියනවා

‘කිසිම කලෙක මළ ගිය අයට පින් නොදී ඉන්න එපා, ඒ වගේ ම ජීවත් වෙලා ඉන්නකොට දන් නොදී ඉන්න එපා. දන් නො දීමේ දුක වේදනාව දැනෙන්නේ මං වගේ සාපිපාසාවලින් දුක් විඳිනකොට තමයි. මට මේ දුක් සියල්ල විඳින්න වුණේ ඒවා නො කළ නිසා කියන එක අමතක කරන්න එපා. ධාර්මික, අධාර්මික හැම දෙනාට ම මගේ කතාව කියන්න. මළ ගිය නෑයන්ට පින් දෙන්න කියන්න‘යි අවවාද කර දිව්‍ය වේශය අත්හැර ගියා‘යි කතා පුවතත් සීහළවත්ථුවේ සඳහන් වෙනවා.

පින්වතුනි, මේ කතාවේ ආදර්ශය අරගෙන දන් දෙන්න, සිල් රකින්න,

අන් අයට උදව් කරන්න, ‘පරලොව අපට පිහිට වෙන්න කෙනෙක් නෑ‘යි කියන එක නම් අමතක කරන්න එපා. හැම වෙලේ ම සිහි කරන්න.