Print this Article


සුදන ගුණයක මහිමය

සුදන ගුණයක මහිමය

බුදුරජාණන් වහන්සේ වදාළේ මේ මුළු බුද්ධ ශාසනය ම රඳා පවතින්නේ සත්පුරුෂ කල්‍යාණ මිතුරන් මත බවයි.

ඒ නිසා සත්පුරුෂ වේශයෙන් පෙනී සිටින අසත්පුරුෂයන්ගෙන් ගහන වත්මන් සමාජයෙහි සැබෑ ම සත්පුරුෂයන් හඳුනා ගැනීමට උතුම් බුද්ධ දේශනා ඇසුරු කර ගනිමින් ම අප උත්සාහවත් විය යුතු ය.

සත්පුරුෂයකු හඳුනා ගැනීමට උපකාර වන ලක්ෂණ රැසක් උතුම් වූ බුද්ධ දේශනාවන්හි අන්තර්ගත ව ඇත.

අංගුත්තර නිකායේ චතුක්ත නිපාතයේ සප්පුරිස වර්ගයේ ඇතුළත් සූත්‍ර දේශනාවන්ට අනුව පස් පවින් දුරු වූ තැනැත්තා හටත්, ශ්‍රද්ධාවන්ත, පවට ලජ්ජා ඇති, පවට බිය ඇති, බහුශ්‍රැත, වීර්යවන්ත, මනා සිහිය ඇති, ප්‍රඥාවන්ත තැනැත්තා හටත්, දස කුසල් උපදවා ගත් තැනැත්තා හටත්, එමෙන් ම ආර්ය අෂ්ඨාංගික මාර්ගයට අදාළ අංග අටෙන් සමන්විත තැනැත්තා හටත් සත්පුරුෂයා යැයි කියයි. එමෙන් ම බුදුරජාණන් වහන්සේ වදාළේ “මහණෙනි, සත්පුරුෂයා කෘතඥයි, කෙළෙහිගුණ සිහිකිරීමට දනී.” කියා ය.

එපමණක් ද නොව, සත්පුරුෂ පණ්ඩිතයන් සුචරිතවත් සිතිවිලි සිතන නිසා, සුචරිතවත් වචන කියන නිසා, සුචරිතවත් දේ කරන නිසා පණ්ඩිතයන් විසින් ඔවුන් ගැන “මේ තමයි පණ්ඩිතයා, මේ තමයි සත්පුරුෂයා.” කියා හඳුනා ගන්නා බව ද භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කොට වදාළ සේක.

සත්පුරුෂයන්ගේ ස්වභාවය නම් තමන් ඇසුරු කරන අයට තවත් සත්පුරුෂයන් හඳුන්වා දෙමින් සත්පුරුෂ සමාගම ඇති කර දීමයි. එසේ ම අකුසල්වලින් දුරුවීමේ අනුසස් ද, කුසල් දහම් දියුණු කිරීමේ අනුසස් ද කියා යහපතට ම යොමු කිරීමයි. සත්පුුරුෂයා අන් අය අයහපතෙන් වළක්වා ගනියි. වැසී තිබෙන නිධානයක් පෙන්වා දෙන්නාක් මෙන් අඩුපාඩු පෙන්වා දෙමින්, කරුණාවෙන් අවවාද කර, වරදින් මිදෙන්නට උපකාර කිරීම සත්පුරුෂයාගේ ලක්ෂණයකි. බුදුරජාණන් වහන්සේ වදාළේ අසත්පුරුෂයෝ අන්‍යයන් නිරයට පමුණුවන බවත්, සත්පුරුෂයෝ අන්‍යයන් සුගතියට පමුණුවන බවත් ය.

එබැවින් අප විසින් මුලින් ම කළ යුත්තේ තමන් තුළ සත්පුරුෂ ගුණ ඇති කර ගැනීමයි. එවිට ධර්මයේ සඳහන් පරිදි නුවණින් විමසා සත්පුරුෂ උත්තමයන් හඳුනාගැනීමට අප හට හැකියාව ලැබෙනු ඇත.