Print this Article


නිවැරැදිි කළ නොහැකි පාපයනට මුල කෙලෙස් නොහැඳිනීමයි

නිවැරැදි කළ නොහැකි පාපයනට මුල කෙලෙස් නොහැඳිනීමයි

කෙනෙක් තවත් අයකු අපහසුතාවට පත්කරන්නේ, නින්දා අපහාසවලට භාජනය කරන්නේ, විවිධ තාඩන පීඩන එල්ල කරනුයේ, සමහරවිට අවසානයේ දී ඝාතනයට පවා ලක්කරනුයේ තමන් තුළ පවතින ක්ලේශයන් නිසයි. එහෙත් එම පුද්ගලයා වෛරී ලෙස තම සිත්හි තිබුණු ක්ලේශයන් හඳුනාගෙන තිබුණේ නැහැ. එනිසයි එවැනි නිවැරැදි කළ නොහැකි පාපයන්ට යොමු වන්නේ

සෝවාන් වීමට නම් කෙලෙස් නැසිය යුතුයි. නමුත් සෝවාන් වීමේ දී සහමුලින් ම කෙලෙස් නැසීමක් සිදු නොවේ. සහමුලින් ම කෙලෙස් නැසෙනුයේ නිර්වාණය අවබෝධ කර ගැනීමේ දී පමණයි.

කෙලෙස් නැති කළ හැක්කේ කෙලෙස් යනු කුමක්ද යන්න නිවැරැදි ව වටහා ගැනීමෙන් පමණයි.

ත්‍රිපිටකයේ කෙලෙස් යන්න නම් කිහිපයකින් ම හඳුන්වාදී තිබෙනු දැකිය හැකියි. කිලෙස, උපකිලෙස, ක්ලේශ, අංගණ, ආසව, ආසුවමස, නීවරණ, අකුසල්, ලෝභ, දෝෂ, පාප ආදී වශයෙන් කෙලෙස්වලට පර්යාය නාමයන් තිබෙනු එහි දැකිය හැකියි.

කෙලෙස් යන්න විවිධ නම්වලින් හැඳින්වුව ද ඒ ඒ නාමයන්ගේ භාවිත වන අවස්ථා අනුව විශේෂතා ඇති බව සඳහන් කළ යුතු ය.

නිදසුනක් ලෙස කෙලෙස් යන්න නීවරණ ලෙස හඳුන්වා ගැනීමේ දී පංචනීවරණ ගැන සඳහන් වෙනවා. පංචනීවරණ යටපත් කර ගැනීමෙන් ධ්‍යානලාභියකු විය හැකියි. නමුත් පංචනීවරණ සහමුලින් ම යටපත් කිරීම නිර්වාණය අවබෝධ කර ගැනීම නොවේ. ඒකට හේතු වන්නේ අවිජ්ජා කියන නීවරණය මෙතැන දී සඳහන් නොවීමයි. නමුත් මෙහි මූලයක් තිබෙන බව ද අප අමතක නොකළ යුතු ය. ලෝභය, දෝෂය සහ මෝහය යන්න එම මූලයන් ලෙස හඳුන්වාගෙන තිබෙනවා.

ආසව යන්නෙහි සරල තේරුම වන්නේ කැකෑරෙන යන්නයි. අප සිත් තුළ ද කැකෑරෙමින් පවතින මැලියම් බැඳුණු දේ අනන්තවත් තිබේ. ඒවා ආසව හෙවත් කෙලෙස් ලෙසයි සලකන්නේ.

ඇතැම් කෙලෙසුන් ඉදිරිපත් වන්නේ සුබවාදී ආකාරයෙන්, සමහර එවැනි කෙලෙස් ඇත්තෝ පවා තමා තුළ එවැනි කෙලෙස් ඇති බවක් නොදනිති.

කෙසේ හෝ වේවා කෙලෙස් යනුවෙන් අදහස් කෙරෙනුයේ සිත කෙලෙසන දෙයටයි. නැතහොත් සිත කිලිටි කරන, නරක් කරන අකුසල චෛතසික කෙලෙස් ලෙස හඳුන්වා දීමට පුළුවන්.

එම කෙලෙස්වල ස්වභාවය විවිධාකාරයි. සමහර කෙලෙස් ඇති බව නොදැන යටපත් වූ ලෙසින් පවතිනවා. ඇති බව දැනෙන ලෙස ඉස්මතු වූ කෙලෙස් ද තිබෙනවා. ඒ වගේ ම ක්‍රියාකාරී කෙලෙස් ද තිබෙනවා.

කෙලෙස්වලට රූපයක් නැහැ. එනිසා මේවා අරූපී ධර්ම ලෙසයි සැලකෙන්නේ. නමුත් මෙම කෙලෙස් මිනිසුන් මැරීමට, සතුන් මැරීමට, ගම්දනව් විනාශ කිරීමට හේතුවෙනවා. එපමණක් නොවෙයි මිනිසුන් භේදභින්න කිරීමට, මිනිසුන් අතර වෛරය වැපිරීමට සමස්තයක් ලෙස සමාජගත වෛරය වර්ධනය කිරීම දක්වා මූලික ප්‍රවාහය ලෙස ක්‍රියා කරන්නේ ක්ලේශයයි. එනිසා කෙලෙස් යනු මහා විනාශකාරි බලවේගයක්.

අද අප සමාජයේ මිනිසුන් විවිධ හැලහැප්පීම් ඇති කර ගැනීම, ඇනකොටාගැනීම, භේද ඇතිකර ගැනීම, ළමා අපචාර සිදුකිරීම ආදී විවිධ සමාජ විරෝධි ක්‍රියා සිදුවනුයේ කෙලෙස් නිසයි. නමුත් අපට කෙලෙස් සම්පූර්ණයෙන් ම නැති කළ නොහැකියි. ඊට හේතු වන්නේ සහමුලින් ම කෙලෙස් නැති වන්නේ නිර්වාණය අවබෝධ කර ගැනීමෙන් පමණක් වන නිසා. නමුත් අපට කෙලෙස් හඳුනාගත හැකි නම් කෙලෙස් අඩු කළ හැකියි. ඒ තුළින් අපේ ජීවිතයේ සංවර භාවයක් ඇති කර ගත හැකියි.

අපට ආසාව ලෙස දැනෙන දෙයෙහි මූලය වන්නේ ලෝභයයි. ලෝභය සඳහා වචන 100ක් ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. එනිසා ලෝභ, ද්වේෂ, මෝහ යන්න විවිධ ස්වරූපවලින් ඉස්මතු වී පෙනෙනු දැකිය හැකියි. කෙලෙස් මිනිසුන් නොමිනිසුන් කරන, ගම් දනව් විනාශ කරන, මිනිසුන් භේදභින්න කරන, බලවේගයක්.

මේ බලවේග ක්‍රියාකාරී වන අවස්ථා එමටයි. දෙපාර්ශ්වයෙන් ගැටුම් ඇති කර ගෙන අවසානයේ දී අර්බුදකාරී තත්ත්වයට පත්වන්නේ ඇයි. ඔවුනොවුන් එම තත්ත්වයට පත්වන්නේ ඔවුන්ගේ සිත් තුළ වෛරය ලෙස තිබූ ක්ලේශය ක්‍රියාකාරී වන අවස්ථාවේ දී ය.

කෙලෙස් ඇසින් දැකිය නොහැකි වේ. කනින් ඇසිය නොහැකියි. අතින් ස්පර්ශ කළ නොහැකියි. මෙය තමයි ක්ලේශවල ස්වභාවය. රැහැනක විදුලිය තිබුණත් එම විදුලිය විනිවිද දැකිය නොහැකියි. නමුත් විදුලිය රැහැනේ තිබියදී නොදකින විදුලිය බල්බයක් පත්තු කිරීමේ දී, යම් පුද්ගලයකුට විදුලි සැර වැදීමේ දී එම රැහැනේ විදුලි බලය ඇති බව පසක් වෙනවා. ක්ලේශයන්ගේ ස්වභාවයත් එබඳුයි.

කෙනෙක් තවත් අයෙකු අපහසුතාවට පත්කරන්නේ, නින්දා අපහාසවලට භාජනය කරන්නේ, විවිධ තාඩන පීඩන එල්ල කරනුයේ සමහරවිට අවසානයේ දී ඝාතනයට පවා ලක්කරනුයේ තමන් තුළ පවතින ක්ලේශයන් නිසයි. එහෙත් එම පුද්ගලයා වෛරී ලෙස තම සිත්හි තිබුණු ක්ලේශයන් හඳුනාගෙන තිබුණේ නැහැ. එනිසයි එවැනි නිවැරැදි කළ නොහැකි පාපයන්ට යොමුවන්නේ.

සමහර අවස්ථාවල දී ඔබට මෙහෙම සිතිලා ඇති. නැති නම් කෙනකු කියනවා අහලා ඇති.

මට ඒ වේලාවේ ආවේ පුදුම කේන්තියක්. නමුත් මම ඒ වෙලාවේ හැටියට ඉවසුවා. ඒක නිසා මම මොනවත් කීවේ නැහැ. මෙය හොඳ අවස්ථාවක්. මෙම පුද්ගලයා කළේ කේන්තිය යටපත් කර ගැනීමයි. එනම්, කේන්තිය, ක්‍රෝධය ලෙස ඉස්මතු වූ ක්ලේශයන් යටපත් කිරීමයි. මේ ආකාරයෙන් අපේ ක්ලේශයන් යටපත් කළ හැකි නම් විය හැකි මහා විනාශකාරී දේවලින් අපට වැළකිය හැකියි.

කෙලෙස් යනු මොනවාදැයි මජ්ක්‍ධිම නිකායේ අනංගණ සූත්‍රයෙහි සඳහන් වෙනවා.

එක පුද්ගලයකු සිටිනවා කෙලෙස් තිබෙනවා, තිබෙන බව දන්නේ නැහැ. දෙවැනි පුද්ගලයාට කෙලෙස් තියෙනවා. කෙලෙස් තියෙන බවත් දන්නවා. කෙලෙස් තියෙන, කෙලෙස් තියෙන බව දන්න පුද්ගලයා උතුම් බව මෙම සූත්‍රයේ දී පෙන්වා දෙනවා.

තෙවැනි පුද්ගලයා කෙලෙස් තුනී වූ අයෙක්. සිව්වැන්න වනුයේ කෙලෙස් තුනී වුවත් ඒ බව නොදන්නා පුද්ගලයායි. එනම් සිව්වැන්න ඉන්නේ ප්‍රගතියක් තියෙන තැනක. නමුත් ඒ බව නොදන්නා නිසා දුගතියට යෑමට ඉඩකඩ තිබෙනවා.

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපිලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.