Print this Article


මේ ජීවිතයේ දී ම බුදුරදුන් දැක ගනිමු

මේ ජීවිතයේ දී ම බුදුරදුන් දැක ගනිමු

යම් කෙනෙක් ධර්මය දකිනවා නම් ඔහු හෝ ඇය හෝ භාග්‍යවතුන් වහන්සේ දකී. තථාගත බුදුරජාණන් වහන්සේ අපගේ දෑසින් ජීවමාන ව වැඩ සිටිනවා දකින්න නොලැබුණත් සීල සමාධි, පඤ්ඤා ගුණ අනුගමනය කිරීමෙන් උන්වහන්සේ දැක ගන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක, ශ්‍රාවිකාවන්ගෙන් බලාපොරොත්තු වූයේත් එයමයි.

එදා බුදුරදුන් දවස වක්කලී නම් ස්වාමීන් වහන්සේ නමක් වැඩ සිටියා. ඒත් උන්වහන්සේ පැවිදි වූයේ නම් බුදුරජාණන් වහන්සේගේ රූපය දෙස බලා සිටින්නටයි. බුදුරජාණන් වහන්සේගේ රූපය දකින්න නොලැබීම වක්කලී ස්වාමීන් වහන්සේගේ දුකට හේතු වුණා. මේ පිළිබඳ කරුණු දක්වමින් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට දේශනා කොට වදාළේ “වක්කලී, මේ දෙතිස් කුනුපයන්ගෙන් යුතු ශරීරය දෙස බලා සිටීමෙන් ඔබගේ මහණ දිවියට යහපතක් ප්‍රයෝජනයක් වන්නේ නැහැ. ඔබ ධර්මය දකින්න. එවිට මා දුටුවා වෙනවා” යනුවෙන්.

ධර්මය දැකීම නම් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සීල, සමාධි, පඤ්ඤා ගුණ මුල් කොටගත් ඒ ආර්යය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීමෙන් සියලු කෙලෙස් ප්‍රහානය පිණිස කටයුතු කිරීමයි. යමෙක් ධර්ම විනය අනුගමනය කරන්නේ නැති නම් ගිහි වේවා පැවිදි වේවා ඒ සියල්ලෝ බුදුරජාණන් වහන්සේට බොහෝ ම දුරස්. එහෙත් යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේට යොදුන් ගණනක ඈත සිටියත් ධර්ම විනය අනුගමනය කරනවා නම්, පිළිවෙත් මාර්ගය අනුගමනය කරනවා නම්, ඒ අය බුදුරජාණන් වහන්සේට බොහොම සමීපයි. බුදුරජාණන් වහන්සේට හැබෑවට ම ගරු කරන, බුදුරජාණන් වහන්සේට වන්දනා කරන ශ්‍රාවකයෙක් හෝ ශ්‍රාවිකාවක් වන්නේ ය.

මේ දහම් අවවාදයෙන් අප තේරුම් ගත යුතු වන්නේ කුමක්ද? පුද පූජාවන් පැවැත්වීම හොඳයි. එයින් පින් රැස්වෙනවා. ඒ වගේම කුසල් වැඩෙනවා. එහෙත් මේ දුර්ලභ ව ලබාගත් මනුෂ්‍ය ජීවිතයෙන් ඉතාම දුර්ලභ ව ඔබට මෙන් ම මට මුණගැසුණු මේ ගෞතම බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්නට නම් අප කුමක් ද කළ යුත්තේ. අපට පින් අවශ්‍යයයි. ඒ වගේම ඒ පින උපකාර කර ගෙන ධර්මාවබෝධයට මාර්ගය සකසා ගැනීම අත්‍යවශ්‍යයි. එයයි ධර්මය දැකීමෙන් බුදුරජාණන් වහන්සේ දැකීම ලෙස අප හඳුනාගත යුතු වන්නේ. සිතන්න. අපේ රටේ පමණක් නොවෙයි ලෝකයේ සියලුම ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා බුද්ධ ශ්‍රාවක, ශ්‍රාවිකාවෝ සියලු දෙනාම පොදුවේ වැඩිපුරම මතකයේ රඳවා ගෙන සජ්ඣායනා කරන ගාථා රත්නය වන්නේ ඉතිපිසෝ භගවා..... යන බුදු ගුණය සජ්ඣායනා කරන ගාථා රත්නයයි. ඒ වගේ ම ස්වක්ඛාතෝ... ආදී වශයෙන් ධර්මය වන්දනා කරන ගාථා රත්නයයි. සුපටිපන්නෝ.... ආදී වශයෙන් ආර්ය සංඝරත්නය වන්දනා කරන ගාථා රත්නයයි. ඉතින් මේ ගාථා ධර්මයන් අපි දකින්නට ඕනේ වන්දනා කරන ගාථාවක් ලෙස ම නොවෙයි. එහි තේරුම සිතට ගෙන අනුස්සති ධර්මයක් හැටියටයි. ඒ කියන්නේ නැවත නැවත මෙනෙහි කරමින් ඵලයක් ලැබෙන ආකාරයට අවස්ථාව සකසා ගැනීමයි.

සිතන්න, දවසකට එක් වතාවක් ‘ඉතිපිසෝ’ ගාථාව අවුරුදු විසිපහක් සජ්ඣායනා කර ඇත්නම් ඒ ගාථාව දහදාහකට ආසන්න වතාවක් සජ්ඣායනා කර තිබෙනවා. එනමුත් කීයෙන් කී දෙනෙක් ද එම ගාථාවන් හි අදහස තේරුම් ගෙන තිබෙන්නේ. දැනුම අවබෝධයට ගෙන කෙලෙස් නැති වෙන ආකාරයට සිත පුරුදු කළ යුතුයි. අඩුම තරමේ ‘ඉතිපිසෝ භගවා අරහං’ ආදී ඒ බුදුගුණයන්හි තේරුම දන්නවා ද? නුවණින් සිතා බලන්න. තේරුම දන්නේ නැතිව ඒ පාලි වචන සජ්ඣායනා කරන විට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇතිවෙනවා. ඒ වගේ ම කරුණා ගුණය ඇතිවෙනවා. කාමාදි අකුසල ධර්ම යටපත් ව ඒ සිත සංසිඳීමකට, සංයමයකට පත්වෙනවා. එය සැබෑවක්. එහෙත් එතැන නතර වෙන්න එපා. එසේ වූ විට පරමාර්ථ ධර්මය අවබෝධයෙන් කෙලෙස් ප්‍රහානය කරනවා කියන තැනට ගමන් කරන්න අපහසුයි. ඒ ඇයි? තේරුම දන්නේ නැති නිසයි.

තවදුරටත් සිතන්න. අරහං බුදුගුණයේ තේරුම නම් සුදුසුයි යන අදහසයි. සියලු දෙවි බඹුන්ගේ, මිනිසුන්ගේ ආමිස, ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසුයි. ඒ කුමක් නිසා ද? දුකින් පිරුණු මේ ඝෝර සසර නම් වූ භවය සකස් වෙන්නේ තෘෂ්ණාව නිසයි.

ඒ රාග, දෝෂ, මෝහ, ඇලීම්, ගැටීම්, මුලාව ඇතිවන්නේ චතුරාර්ය සත්‍යය ධර්මය කෙරෙහි ඇති අනවබෝධ නිසයි. මේ රාග, දෝෂ, මෝහ මුළුමනින් ම බැහැර කළ හෙයින් බුදුරජාණන් වහන්සේ සියලු දෙවි බඹුන්ගේ මිනිසුන්ගේ ආමිස ප්‍රතිපත්ති පුජාවන්ට සුදුසු වන සේක.

එසේ නම් බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ කියමින් සිටීම පමණක් ප්‍රමාණවත් වන්නේ ද?. පරමාර්ථ ධර්ම දැක ගන්නට ඕනෑ. ඒ දැනුම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. දැනුමවත් නැති කෙනෙක් කෙසේද? අවබෝධයට එන්නේ.

යම් කෙනෙක් තෙරුවන් වන්දනාව සිදු කරනවා. එහෙත් එතැනින් නැඟිටින්නේ සමහර විටක දැඩි ආශාවකින්, තරහකින් කේන්තියකින්, ඊර්ෂ්‍යාවකින් විය හැකියි. මේ ආදී වශයෙන් සිතා බලන්න. අරහං බුදුගුණයෙන් පෙන්වා දෙන කාරණය අප අනුගමනය කර ඵලයක් ලබා තියෙනවා දැයි සිතා බලන්න.

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්, ශ්‍රාවිකාවක් වෙන්න නම් උතුම් නිවන් මඟ අරමුණු කර ගෙන ගමන ආරම්භ කරනවා නම් ‘අරහං බුදුගුණය’ බුදුරජාණන් වහන්සේ වෙතින් දැක අපත් ඒ බුදුගුණයට ළංවෙන්නට උත්සාහ කරන්න ඕනෑ. රහසින්වත් දැන දැන පාපයක් කරන්නේ නැහැ කියන සිතිවිල්ලට පැමිණෙන්නට ඕනෑ. නැති නම් මොනතරම් ‘ඉතිපිසෝ’ ගාථාව සජ්ඣායනා සිදු කළත් ඵලක් වන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ දකින පුද්ගලයා උන්වහන්සේ දේශිත ධර්ම මාර්ගයේ ගමන් කරනවා.