Print this Article


චීවර දානය ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ

ධම්මාය වස්තුව ඇසුරිනි:

චීවර දානය

සාමාන්‍ය ජනයා අරමුණු කොට රචිත බණකතා පොත් අතරට ගම්පොළ යුගයෙන් එකතු වූ මහා ධර්ම ග්‍රන්ථය සද්ධර්මාලංකරය යි. එය ගද්‍ය සාහිත්‍යයේ ද, බණකතා සාහිත්‍යයේ ද අපර යුගය සනිටුහන් කරන්නා වූ වටිනා එකකි.

මෙහි ඉතා දුර්භික්ෂ සමයක මෙරට ජනජීවිතය පිළිබඳ අවධාරණය වන කතා පුවත් බොහෝමයක් ඇතුළත් ව ඇති හෙයින් එකල මෙරට ජනයා ආර්ථීක සමෘද්ධියෙන් දැඩි සේ වියෝ වූ බැවින් භික්ෂූන් වහන්සේ විෂයයෙහි සිව්පසයෙන් පවා සංග්‍රහ සම්මාන කිරීමට ද ඔවුනට අපහසු වී ඇති බව පැහැදිලි වේ. එහෙත් එබඳු දුෂ්කර අවස්ථාවල දී පවා දානාදි කුසලාධ්‍යාසයන් මානව සිත් සතන් කෙරෙන් වියෝවන්නට ඉඩ නොදී පවත්වා ගනිමින්, ඔවුනගේ මෙලොව පරලොව සුගතිය විෂයයෙහි අනුග්‍රහ පිණිස භික්ෂූන් වහන්සේ කටයුතු කළ ආකාරයට තවත් අපූර්ව නිදසුනක් වූයේ දෙවැනි ධර්මකීර්ති හිමියන්ගේ මෙ බණ කතා රචනයයි. එහි එන ලංකාදීප උත්පත්ති කතා මාලාව අතීත ශ්‍රී ලංකාවේ සමාජ, සංස්කෘතික, ආර්ථික හා දේශපාලන තොරතුරු පදනම් කොට ගෙතුණු කතා රැසකින් සගෘහීත වී ඇත. සාධු සම්මත සමාජ පැවැත්ම තහවුරු කරන දාන, ශීලාදි ගුණධර්ම කෙරෙහි ජනතාව වඩ වඩා නැඹුරු කරවීමට කතුවරයා විසින් දරන ලද උත්සාහය ඒවායින් මැනවින් ප්‍රකට වේ.

එකී කතා මාලාවේ එකුන් විසිවැනි වර්ගයේ හතරවැනි කතා පුවත වන්නේ මෙම සාකච්ඡාවට ප්‍රස්තුත වන ධම්මාය වස්තුවයි. එහි කියැවෙන පරිදි මෙරට ලජ්ජිතිස්ස නම් රජ කෙනකුගේ කාලයෙහි රුහුණු රටෙහි සීව නම් ගමට ගිරිතිම්බිලතිස්පවු විහාරයේ භික්ෂූහු පිඬු පිණිස නිරන්තරයෙන් වැඩම කොට වදාළහ. මේ ගමෙහි ඇති හැකි අයට බැලමෙහෙ කිරීම, දර පැලීම, වී කෙටීම ඇතුළු ඉතා දුක්ඛිත ජීවන රටාවක් ගත කළ ධම්මා නම් ස්ත්‍රිය සැප සම්පත්වලින් දිළිඳු වුවත්, දානාධ්‍යාසයෙන් දිළිඳු නොවූවා ය. දිනෙක ඇයට මෙබඳු දුක්ඛිත කාර්යයන්හි නිරත ව උපයාගත් මුදලින් දුක සේ වස්ත්‍රයක් උපදවා ගැනීමට හැකි විය. එය හැඳ පැළඳ තෘප්තිමත් වන්නට නොසිතන ඇය, ‘රාගය, ද්වේශය, මෝහය නිසා මම බොහෝ කාලයක් මේ සසර චුතිප්‍රතිසන්ධි වශයෙන් ඇවිද ආමි. ඒත් මතු සුඛවිහරණය උදෙසා වූ කිසිදු කුසලයක් ඒකාන්තයෙන් මා විසින් නොකරන්නට ඇත. සැප නම් මාහට අහස පොළොව සේ දුර වී ඇත්තේ එලෙසිනි.” යනාදි වශයෙන් යහපත් කල්පනාවන් උපදවා ගෙන තවදුරටත් මේ සංසාර නැමැති මහා සාගරයේ ගිලී ඉන්නා වූ මා කවර කලෙක ඉන් හිස ඔසවා ගනිම් දැයි සිතා ඊට පිළියම් ලෙස දුෂ්කර ව උපයා ගත් වස්ත්‍රය භික්ෂූන් උදෙසා දන් දෙන්නට තීරණය කළා ය.

ඇයගේ ඒ සිතිවිල්ල අපට ඉතා වැදගත් වන්නේ එබඳු යහපත් කාර්යයක් සඳහා ඇයගේ සිතිවිලි මෙහෙයවා ගත් අකාරය, අපට ද ඉතා ඵලදායී ව දානය විෂයයෙහි යොමු වීමට අවශ්‍ය මඟ පෙන්වීමක් සිදු කරන බැවිනි. පෘථග්ජන අප ඉතා ආශාවෙන් අලුතින් යමක් උපයාගත් විට එය තවකෙකුට දීමට පෙළඹෙන්නේ ඉතාමත් කලාතුරකිනි. කතුවරයා විසින් මෙබෙඳු චරිත ඔස්සේ අපට ද දානය කෙරෙහි යොමු වීමට සිදු කරන පෙළඹවීම වැදගත් ය. ධම්මා උපාසිකාවගේ මෙම සිතිවිලි දාමය ඔස්සේ අප ද මෙලෙස මේ භවයේ දී දුක හෝ සැප හෝ උරුම කර ගෙන ඇත්තේ අපගේ ම පූර්ව චරණයන් මත බව සිතන්නට පොළඹවයි. ඒ අනුව මේ භවයේ දී අප දිළිදු වූයේ නම් එයට ද, අප ධනවත් වූයේ නම් එයට ද හේතු වන්නේ අප කරන කුසල කෝ අකුසල හෝ ක්‍රියා ම බව වටහා දීමෙන් ඒ තත්ත්වයෙහි වෙනසක් සිදු කොට ගත හැක්කේ ද අපට ම බව දැඩි ව අවධාරණය කරනු ලබයි. එනිසා සසරේ මතු පැවැත්ම පිළිබඳ අප විසින් ම සැලසුම් කළ යුතු නොවේ ද? යන්න නැවත නැවත සිතන්නට මෙ මඟින් මඟ පෙන්වයි. එනිසා ම මේ අවස්ථාව අපට අප ගැන ම ස්වයං භාෂණයකට කරන්නා වූ ආරාධනයකි.

තවද ධර්මකීර්ති හිමියන් විසින් ඇයගේ මුවට නංවා ඇති වදන් මාලාව ඔස්සේ අමූලික ශ්‍රද්ධාවෙන් නොව විචාරපූර්වක ශ්‍රද්ධාවෙන් යුක්ත ව කටයුතු කිරීමට ද අප පොළඹවයි. ඇය දුක සේ උපයා ගත් වස්ත්‍රය දන් දීමට පූර්වයෙහි කල්පනා කරනුයේ “දැන් බුද්ධොත්පාද කාලයයි. ධර්මය ද ලෝකයේ පවතින්නේ ය. සමථ විදර්ශනා නමැති රළ පතර සහිත ප්‍රඥා, වීර්යය, ශීල, සමාධි ආදි ගුණධර්ම නමැති මැණික් සහිත මහා සමූද්‍රයක් වැනි භික්ෂු ශාසනය ද පවතින්නේ ය. මෙවන් ක්ෂණ සම්පත් ලද මා හට මේ ලද අවස්ථාවේ දී මේ සසරෙන් මිදීමට කටයුතු කිරීම හැර වෙනත් කිසිදු කලෙක එසේ කළ හැකි නොවෙයි” යනුවෙනි.

එනයින් අප ද කුසල චේතනා ක්‍රියාවට නැංවිය යුත්තේ නිවැරැදි අවබෝධයෙන් මිස අමූලික ශ්‍රද්ධාව නිසා නොවන බව අවධාරණය කරයි.

අනතුරුව ධම්මා උපාසිකාව වස්ත්‍රය ද ගෙන දාන ශාලාවට ගොස් වස්සාවාසික භික්ෂුවකට දී විහාරයේ හැම දෙනා වහන්සේට වස්සාවාසික කොට දෙමි’යි පූජා කොට, තමා ඉතා දුප්පත් බවත්, ඉතා ආයාසයෙන් මෙය උපදවා ගත් බවත් උන්වහන්සේට කියන ලෙස පවසා සතුටින් නික්ම ගියා ය.

භික්ෂුව විහාරයට ගොස් ඇයගේ අරමුණ දක්වා සංඝයා වහන්සේට එම වස්ත්‍රය ලබා දුන්හ. ඒ අවස්ථාවේ තුන්මසකට, දෙමසකට, මසකට, දොළොස් දවසකට, දස දවසකට, සත් දවසකට, පස් දවසකට, එක් දවසකට ආදි වශයෙන් වස්ත්‍රය පෙරවීමට භික්ෂූන් වහන්සේ විසින් ඉල්ලා සිටින ලදහ. එහිදී එක් දවසකට ඉල්ලන ලද භික්ෂුවට වස්ත්‍රය පළමුව හිමි විය. විශේෂත්වය වනුයේ එකී වස්ත්‍රය සිවුරක් සේ සකසා පෙරවූ එම ස්වාමින් වහන්සේ දැඩි අධිෂ්ඨානශීලී ව භාවනා කොට විදසුන් වඩා රහත් බවට පැමිණීමයි.

අනතුරුව දෙවැන්නාට ද, උන්වහන්සේ ද එය පොරවා රහත් බවට පැමිණ අනෙක් භික්ෂුවට ද ආදී වශයෙන් එක ම චීවරය වස් කාලය ඇතුළත භික්ෂූන් 500ක් විසින් පෙරවන ලදුව රහත් බවට පත් පත්වීමයි.

අනතුරුව ලජ්ජිතිස්ස රජ්ජුරුවෝ මහා වස් පවාරණය සදහා සැරසිලි කිරීමට මිනිසුනට අණ කළහ. ඒ අවස්ථාවේ භික්ෂූන් වහනන්සේ ද විහාරය සැරසීම් කටයුතුවල නිරත වූහ. ඒ අනුව උන්වහන්සේ භිකෂූන් රැසකට කෙලෙස් නැසීමට උපකාර වූ එකී චීවරය ගෙන සක්මන් මළුවට පිවිසෙන දොරකොඩ ධජයක් කොට ඔසවා තබන්නට තීරණය කළහ.

එය දුටු රජු ‘තමා විසින් සැරසීම් සඳහා වෛවර්ණ ධජ පතාක එවා තිබියදීත්, මෙබඳු කසට කඩක් එල්වා ඇත්තේ කිමෙක් නිසා දැයි’ භික්ෂූන්ගෙන් විමසා, එය බොහෝ භික්ෂූන්ට උපකාරී වූ නියාව ද දැන ගත්තේ ය. එහිදී භික්ෂුවක විසින් රජුට සිහිපත් කරන ලද චීවරයෙහි විශේෂ ගුණ අවබෝධ කොට ගැනීම සැදැහැවත් අපට ද වැදගත් වේ.

චීවරයක් මලමුත්‍ර ආදියෙන් අපවිත්‍ර ව දැමූ කඩ රෙද්දක් වුවත්, එය සිල්වත් ගුණවත් භික්ෂූන් විසින් ප්‍රයෝජන විඳී එකක් වූයේ නම්, අනදර නොකළ යුතු ය. එබඳු අවස්ථාවක අඥාන සත්ත්වයන්ට එය පයින් මැඬ අනදර හා අපවිත්‍ර කළ නොහැකි සේ යහපත් තැනෙක තබා වැඳපුදා ආදර කළ යුතු ය. එසේ කිරීම දෙවි මිනිස් සැප සාධනය පිණිස හේතු වන්නේ ය.

එබැවින් බොහෝ භික්ෂූන්ට කෙලෙස් තැවීමට උපකාරී වූ මෙ ධජය ද රහතුන් විසින් පරිභෝග කරන ලද බැවින් පූජාසත්කාරයට සුදුසු බව මෙම කතා පුවතින් අවධාරණය වී ඇත.

මේ අවස්ථාවේ ඉතා ප්‍රීතියට පත් රජු මේ සිවුර පිදූ ධම්මා උපාසිකාව ගෙන්වා බොහෝ සම්පත් දී සීව ග්‍රාමය ඇයට බත්ගම් කොට දීම ද, එතැන් පටන් එගම ‘ධම්මසීව ග්‍රාමය’ යැයි ප්‍රසිද්ධියට පත්වීම ද සිදු විය. එයින් පසු ඇය තවත් බොහෝ කුසල් කොට දෙව්ලොව උපන් බව දක්වා කතුවරයා කතා පුවත නිමාවට පත්කරයි.

මේ අනුව අප දෙන දානයෙහි ආනිසංශ දානය පිළිගන්නා භික්ෂූන් වහන්සේගේ ධර්මික පැවැත්ම, සිල්වත් ගුණවත් බව, මාර්ගඵල අවබෝධයෙහි ස්වභාවය අනුව වැඩි වර්ධනය වන බව ධම්මා උපාසිකාවගේ වස්ත්‍රය චීවරයක් කොට පෙරවූ භික්ෂූන් වහන්සේ කටයුතු කළ ආකාරයෙන් පැහැදිලි වේ. ඉන් අවධාරණය වන්නේ දන් දෙන්නාගේ මෙන් ම දන් ලබන්නාගේ අනුග්‍රහය ද දාන සංකල්පයේ දී ඉතා අවශ්‍ය ම කාරණයක් බවයි.

එසේ ම චීවරය දරා සිටින්නා වූ භික්ෂුවගේ සිල්වත් ගුණවත් හැසිරීම් රටාව ද චීවරයේ වන්දනීයත්වයට පාදක වන ආකාරය දක්වා තිබීම ආදි සියලු කාරණා විමසා බලන කල මෙම කතා පුවතින් යහපත් පුද්ගල හා සමාජ පැවැත්මක් සඳහා අවබෝධාත්මක ව සිදු කෙරෙන රාජ්‍ය මැදිහත් වීමත්, විචාරශීලී සාමාන්‍ය ජනතාවගේ ක්‍රියාකලාපයත්, සුපසන් භික්ෂු ආකල්පවලින් පෝෂිත භික්ෂු සමාජයක අවශ්‍යතාවත් සෘජු ව අවශ්‍ය වන බව නිර්මාණාත්මක ව අවධාරණය කොට ඇත.