Print this Article


උපායෙන් රැස් කරන පාපයක ආදීනව

උපායෙන් රැස් කරන පාපයක ආදීනව

පින්වතුනි, නූතන සමාජයේ අපට දක්නට ලැබෙන එක් පැතිකඩක් පිළිබඳ ලොව්තුරු තථාගතයන් වහන්සේ තාලපුට නම් රංගන ශිල්පියා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් දේශනා කළ සූත්‍ර දේශනාවක් පැහැදිලි කර දීමටයි සූදානම් වන්නේ.

මේ නළු නිළියන් පිළිබඳවත්, එහි විපාකය පිළිබඳවත් අපූරුවට පහදා දුන් බුද්ධ දේශනාවක්.මේ පිළිබඳ පුන පුනා බුදුරජාණන් වහන්සේගෙන් තාලපුට නාට්‍ය ශිල්පියා ප්‍රශ්න කළත් එය අනවශ්‍ය බව බුදුහිමියන් පවසද්දීත් නැවත නැවත ඇසු හෙයින් ඒ පිළිබඳ බුදුරජාණන් වහන්සේ මනරම් අයුරින් මේ සූත්‍රය තුළින් පහදා දී ඇත. මේ උතුම් බුද්ධ වචනය නිවැරැදිව අවබෝධ කර ගෙන ප්‍රායෝගික ජීවිතයේ වැඩපිළිවෙළ සකස් කර ගැනීමට මේ දහම් කරුණු චරිතායනය කර ගැනීමට කටයුතු කිරීමට අපි වග බලා ගනිමු. එය දෙලොව ජීවිතයේ සුඛ විහරණය සඳහා මහෝපකාරී වනු ඇත.

එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. අථ ඛො තාලපුටො නටගාමණි යෙන භගවා තෙනුපසංකමි; උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො තාලපුටො නටගාමණි භගවන්තං එතදවොච - “සුතං මෙතං, භන්තෙ, පුබ්බකානං ආචරියපාචරියානං නටානං භාසමානානං - ‘යො සො නටො රංගමජ්ඣෙ සමජ්ජමජ්ඣෙ සච්චාලිකෙන ජනං හාසෙති රමෙති, සො කායස්ස භෙදා පරං මරණා පහාසානං දෙවානං සහබ්‍යතං උපපජ්ජතී’ති. ඉධ භගවා කිමාහා”ති

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයේ වැඩ සිටි සේක. එදා තාලපුට නම් (වේදිකාවල නෘත්‍ය දක්වන) නටගාමිණී භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණු තාලපුට නටගාමිණී භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ පැවසුවා.

“ස්වාමීනි, ඉස්සර හිටපු නෘත්‍ය දක්වන ආචාර්ය ප්‍රාචාර්යවරු කියන්නා වූ කරුණක් මං මේ විදිහටයි අහල තියෙන්නේ. ‘යම් ඒ නළුවෙක් රංග ශාලාව මැද, නැටුම් ශාලාව මැද, ඇත්තෙනුත්, බොරුවෙනුත් ජනයා හිනස්සවයි ද, සතුටු කරවයි ද, අන්න ඒ තැනැත්තා කය බිඳී

මරණින් මතු පහාස නම් වූ දෙවියන් අතරට පැමිණෙනවා’ කියලා. භාග්‍යවතුන් වහන්සේ

ඔය කාරණය ගැන කුමක් වදාරණ සේක්ද?”

“පින්වත් ගාමිණී, වැඩක් නෑ. ඔය කාරණය තිබුණා වේ. ඕක ගැන මගෙන් අහන්ට එපා.” දෙවෙනි වතාවේදීත් තාලපුට නටගාමිණී භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ පැවසුවා. “ස්වාමීනි, ඉස්සර හිටපු නෘත්‍ය දක්වන ආචාර්ය ප්‍රාචාර්යවරු කියන්නා වූ කරුණක් මං මේ විදිහටයි අහල තියෙන්නේ.

‘යම් ඒ නළුවෙක් රංග ශාලාව මැද, නැටුම් ශාලාව මැද, ඇත්තෙනුත්, බොරුවෙනුත් ජනයා හිනස්සවයි ද, සතුටු කරවයි ද, අන්න ඒ තැනැත්තා කය බිඳී මරණින් මතු පහාස නම් වූ දෙවියන් අතරට පැමිණෙනවා’ කියලා. භාග්‍යවතුන් වහන්සේ ඔය කාරණය ගැන කුමක් වදාරන සේක්ද?” කියලා. “පින්වත් ගාමිණී, වැඩක් නෑ. ඔය කාරණය තිබුණාවේ. ඕක ගැන මගෙන් අහන්ට එපා.” තෙවැනි වතාවේදීත් තාලපුට නටගාමිණී භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා. “ස්වාමීනි, ඉස්සර හිටපු නෘත්‍ය දක්වන ආචාර්ය ප්‍රාචාර්යවරු කියන්නා වූ කරුණක් මං මේ විදිහටයි අහල තියෙන්නේ. ‘යම් ඒ නළුවෙක් රංග ශාලාව මැද, නැටුම් ශාලාව මැද, ඇත්තෙනුත් බොරුවෙනුත් ජනයා හිනස්සවයි ද, සතුටු කරවයි ද, අන්න ඒ තැනැත්තා කය බිඳී

මරණින් මතු පහාස නම් වූ දෙවියන් අතරට පැමිණෙනවා’ කියලා. භාග්‍යවතුන් වහන්සේ

ඔය කාරණය ගැන කුමක් වදාරණ සේක් ද?” කියලා.

‘පින්වත් ගාමිණී, වැඩක් නෑ. ඔය කාරණය තිබුණා වේ. ඕක ගැන මගෙන් අහන්ට එපා’ යන කරුණ ඒකාන්තයෙන් ම පින්වත් ගාමිණී, මම ලබන්නේ නෑ. එනමුදු එයට මං පිළිතුරු දෙන්නම්. පින්වත් ගාමිණී, (රංගන බලන්නට එන්නට) පෙර සිට ම සත්වයන් පහ නොවූ රාග ඇතිවයි ඉන්නේ. බැඳුණු රාග බන්ධන ඇතිවයි ඉන්නේ. යම් දෙයකින් රාගය ඇති කරවනවා නම්, ඔවුන් තුළ බලවත් ව රාගය ඇති වීම පිණිස ඔවුන් ඉදිරියේ නළුවෙක් රංගන මැද, නැටුම් මැද රඟපෑමෙන් (සරාගී කරුණු) මතු කරල පෙන්වනවා.

පින්වත් ගාමිණී, (රංගන බලන්නට එන්නට) පෙර සිට ම සත්වයන් පහ නොවූ ද්වේෂ ඇතිවයි ඉන්නේ. බැඳුණු ද්වේෂ බන්ධන ඇතිවයි ඉන්නේ. යම් දෙයකින් ද්වේෂය ඇති කරවනවා නම්, ඔවුන් තුළ බලවත් ව ද්වේෂය ඇති වීම පිණිස ඔවුන් ඉදිරියේ නළුවෙක් රංගන මැද, නැටුම් මැද රඟපෑමෙන් (ද්වේෂ සහගත කරුණු) මතු කරල පෙන්වනවා. පින්වත් ගාමිණී, (රංගන බලන්නට එන්නට) පෙර සිට ම සත්වයන් පහ නොවූ මෝහ ඇතිවයි ඉන්නේ. බැඳුණු මෝහ බන්ධන ඇතිවයි ඉන්නේ. යම් දෙයකින් මෝහය ඇති කරවනවා නම්, ඔවුන් තුළ බලවත් ව මෝහය ඇති වීම පිණිස ඔවුන් ඉදිරියේ නළුවෙක් රංගන මැද, නැටුම් මැද රඟපෑමෙන් (මුළාවෙන කරුණු) මතු කරල පෙන්වනවා. ඉතින් ඔහු තමනුත් මත් වෙලා, ප්‍රමාද වෙලා, අනෙක් උදවියවත් මත් කරලා, ප්‍රමාදයට පත් කරලා කය බිඳී මරණින් මත්තේ පහාස නම් නිරයක් ඇත්නම්, එහි තමයි උපදින්නේ.

ඉදින් ඔහුට ‘යම් ඒ නළුවෙක් රංග ශාලාව මැද, නැටුම් ශාලාව මැද, ඇත්තෙනුත් බොරුවෙනුත් ජනයා හිනස්සවයි ද, සතුටු කරවයි ද, අන්න ඒ තැනැත්තා කය බිඳී මරණින් මතු පහාස නම් වූ දෙවියන් අතරට පැමිණෙනවා’ කියලා, මෙවැනි ආකාරයේ දෘෂ්ටියක් ඇති වුණොත්, ඒක ඔහුගේ මිත්‍යා දෘෂ්ටිය යි. පින්වත් ගාමිණී, මිත්‍යා දෘෂ්ටියෙන් යුතු පුරුෂ පුද්ගලයාහට නිරය හෝ තිරිසන් යෝනිය යන ගති දෙක අතරින් එක්තරා උපතක් විතරයි තියෙන්නේ කියලයි මා කියන්නේ.

එසේ වදාළ විට තාලපුට නටගාමිණී හැඬුවා. කඳුළු හෙළුවා. “පින්වත් ගාමිණී වැඩක් නෑ. ඔය කාරණය තිබුණා වේ. ඕක ගැන මගෙන් අහන්ට එපා’ යන මේ කරුණ පින්වත් ගාමිණී මං නොලැබුවා නොවැ.”

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මා හට යම් කරුණක් වදාළ සේක් නම්, මේ ගැන මං හඬන්නේ නෑ. නමුත් ස්වාමීනි, ඉස්සර හිටපු ආචාර්ය ප්‍රාචාර්ය නළුවන් විසින් බොහෝ කලක් තිස්සේ මා රවටා තියෙන්නේ. වංචා කරල තියෙන්නේ. වරද්දවල තියෙන්නේ. ‘යම් ඒ නළුවෙක් රංග ශාලාව මැද, නැටුම් ශාලාව මැද, ඇත්තෙනුත් බොරුවෙනුත් ජනයා හිනස්සවයි ද? සතුටු කරවයි ද? අන්න ඒ තැනැත්තා කය බිඳී මරණින් මතු පහාස නම් වූ දෙවියන් අතරට පැමිණෙනවා’ කියලා.

අභික්කන්තං භන්තෙ, අභික්කන්තං භන්තෙ, සෙය්‍යථාපි භන්තෙ නික්කුජ්ජිතං වා

උක්කුජ්ජෙය්‍ය, පටිච්ඡන්නං වා විවරෙය්‍ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය,

අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්‍ය චක්ඛුමන්තො රූපානි දක්ඛින්තීති. එවමෙවං

භගවතා අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භන්තෙ භගවන්තං සරණං

ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඩ්ඝඤ්ච. ලභෙය්‍යාහං භන්තෙ භගවතො සන්තිකෙ පබ්බජ්ජං

ලභෙය්‍යං උපසම්පදන්ති. අලත්ථ ඛො තාලපුටො නටගාමණි භගවතො සන්තිකෙ

පබ්බජ්ජං, අලත්ථුපසම්පදං. අචිරූපසම්පන්නො ච පනායස්මා තාලපුටො එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො –පෙ– අඤ්ඤතරො ච

පනායස්මා තාලපුටො අරහතං අහොසීති.

ස්වාමීනි, ඉතා සුන්දරයි. ස්වාමීනි, ඉතා සුන්දරයි. යටට හරවා තිබූ දෙයක් උඩු අතට හැරෙව්වා වගෙයි. වහලා තිබුණු දෙයක් ඇරලා පෙන්නුවා වගෙයි. මං මුළා වූවන්ට නියම මඟ පෙන්වා දෙනවා වගෙයි. ඇස් ඇති උදවියට රූප දකින්න, අඳුරෙහි තෙල් පහනක් දල්වාගෙන දරා සිටිනවා වගෙයි.

ඔය විදිහට භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ශ්‍රී සද්ධර්මය වදාළා. ස්වාමීනි, මේ මමත් භාග්‍යවතුන් වහන්සේ සරණ යනවා. ශ්‍රී සද්ධර්මයත්, භික්ෂු සංඝයා වහන්සේත් සරණ යනවා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මාත් පැවිදි බව ලබා ගන්නම්. උපසම්පදාව ලබා ගන්නම්.” තාලපුට නටගාමිණී භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිදි බව ලැබුවා. උපසම්පදාව ලැබුවා. උපසම්පදාව ලබා ගත් නොබෝ කලකින් ම ආයුෂ්මත් තාලපුටයන් වහන්සේ හුදෙකලා වුණා. පිරිසෙන් වෙන් වුණා. අප්‍රමාදී වුණා. කෙලෙස් තවන වීරියෙන් යුතු වුණා. දහමට

දිවි පුදා ධර්මයේ හැසිරෙන කොට ආයුෂ්මත් තාලපුට තෙරුන් වහන්සේ එක්තරා

රහතන් වහන්සේ නමක් බවට පත් වුණා.

මේ උතුම් සූත්‍ර දේශනාවේ දහම් කරුණු චරිතායනය කර ගෙන අවබෝධ කරගත් අනුහසින් ම අප සෑම සියලු දෙනාට ම ඝෝර කටුක සසර ගමන නිමා කරන උතුම් නිර්වාණාවබෝධය පිණිස ම හේතු වේවා’යි පින් සිතින් ප්‍රාර්ථනා කරමි.