Print this Article


කරුණා මුදිතා ගුණ සුපුජිත මාපලගම බුද්ධසිරි නාහිමිපාණන් වහන්සේ

කරුණා මුදිතා ගුණ සුපූජිත මාපලගම බුද්ධසිරි නාහිමිපාණන් වහන්සේ

කිසිදු නිකාය හෝ පාර්ශ්ව හෝ භේදයකින් තොරව සංඝ සමාජයේ සියලු ම භික්ෂූන් වහන්සේ සමඟ සුහද ව ආශ්‍රය කරමින් ඒ සෑම දෙනාගේ ම නොමද ගෞරවාදරයට පත් වී සිටින මාපලගම බුද්ධසිරි නාහිමිපාණන් වහන්සේ ගාල්ල යටගල රාජමහා විහාරස්ථානයෙන් ආරම්භ වූ කැටගොඩ සඟ පරපුරේ වර්තමානයේ වැඩ සිටින දීප්තිමත් ම සංඝ නේතෘවරයාණන් වහන්සේ වශයෙන් හඳුන්වා දිය හැකි ය.

මාතර වෙහෙරහේන පූර්වාරාම මහා විහාරාධිකාරි, රත්මලාන කොතලාවලපුර සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති, මහාවිහාර වංශික ස්‍යාමොපාලි මහානිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ දක්ෂිණ විහාර පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කර්මවාගාචාර්ය සහ කාරක සංඝසභික, හිනිදුම් පත්තුවේ ප්‍රධාන සංඝනායක සරභඤ්ඤ විසාරද මාපලගම බුද්ධසිරි නාහිමිපාණන් වහන්සේ ජූලි මස 08 වැනි දින ස්වකීය පුණ්‍යවන්ත දිවි මඟෙහි සූ සැට වන විය සපුරමින් සැට පස් වන වියට පා තබති.

ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම් පත්තුවේ මාපලගම දී ජන්ම ලාභය ලද නාහිමිපාණන් වහන්සේ පුරාකෘත පුණ්‍ය මහිමය නිසාවෙන් මාතර වෙහෙරහේන පූර්වාරාම මහා විහාරස්ථානයේ දී තත් විහාරාධිපති අතිපූජ්‍ය දවුලගල සංඝරතන නාහිමිපාණන් වහන්සේ, කිරම විමලජෝති නාහිමිපාණන් වහන්සේ හා මාතර ආනන්ද හිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යවරයකු වශයෙන් පැවිදි බිමට පත්ව වෙහෙරහේන ශ්‍රී රේවත පිරුවනින් හා මාතර සුදර්ශි පිරුවනින් අධ්‍යාපනය ලබා 1980 වර්ෂයේ කෝට්ටේ රාජමහා විහාරයේ දී අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පදාව ලැබූහ.

තුරුණු වියේ දී ම පිරිත් දේශනය පිළිබඳ පෘථුලත්වයට පත් බුද්ධසිරි නාහිමිපාණන් වහන්සේ තමන් වහන්සේට ම අනන්‍ය වූ ස්වරයකින් පරිත්‍රාණ ධර්ම දේශනාවන් පැවැත්වීමෙන් අද ලක්දිව වැඩසිටින අග්‍රගණ්‍ය සරභඤ්ඤ විසාරදයාණන් වහන්සේ නමක වශයෙන් දෙස් විදෙස් කීර්තියට පත් වී සිටිති.

1990 දශකයේ පාලූවට ගොස් තිබූ රත්මලාන කොතලාවල සමාධි බෞද්ධ මධ්‍යස්ථානයට වැඩමවා කෙටි කලක් තුළ සකලාංග පරිපූර්ණ විහාරස්ථානයක් වශයෙන් එම විහාරය සංවර්ධනය කිරීමට සමත් වූහ.

කිසිදු නිකාය හෝ පාර්ශ්ව හෝ භේදයකින් තොරව සංඝ සමාජයේ සියලු ම භික්ෂූන් වහන්සේ සමඟ සුහද ව ආශ්‍රය කරමින් ඒ සෑම දෙනාගේ ම නොමද ගෞරවාදරයට පත් වී සිටින මාපලගම බුද්ධසිරි නාහිමිපාණන් වහන්සේ ගාල්ල යටගල රාජමහා විහාරස්ථානයෙන් ආරම්භ වූ කැටගොඩ සඟ පරපුරේ වර්තමානයේ වැඩ සිටින දීප්තිමත් ම සංඝ නේතෘවරයාණන් වහන්සේ වශයෙන් හඳුන්වා දිය හැකි ය.

කිව යුතු යමක් ඇත්නම් කාහටත් සිත් නොරිදෙන අන්දමින් පැවසීමේ හැකියාව මාපලගම බුද්ධසිරි නාහිමිපාණන් වහන්සේ සතු බව සඳහන් කිරීම වටී. විශේෂයෙන් ලක්දිව ප්‍රසිද්ධ විහාරස්ථාන සමූහයක අධිපති නාහිමිපාණන් වහන්සේ හදිසියේ අපවත් වූ පසු ඇති වීමට ගිය විශාල අර්බුදයක් කිසිවකුගේ සිත් නොරිදෙන අන්දමින් සන්සිඳුවා සැම දෙනාගේ ම ප්‍රශංසාවට බුද්ධසිරි නාහිමිපාණන් වහන්සේ පත් වූ බව සඳහන් කළ යුතු ය.

භද්‍ර යෞවන වියේ දී ම කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ දක්ෂිණ විහාර පාර්ශ්වයේ කර්මවාගාචාර්ය හා කාරකසභික පදවියක් සඳහා පත්වීමට භාග්‍යවත් වූ බුද්ධසිරි හිමිපාණන් වහන්සේ වෙත ගාලු දිසාවේ හිනිදුම් පත්තුවේ ප්‍රධාන සංඝනායක පදවිය සද්ධර්ම කීර්ති ශ්‍රී සංඝරතන සරභඤ්ඤ විසාරද ගෞරව නාමය සහිත ව පිරිනමා තිබේ.

පරිවේණාධිපති පහළඕබඩ සුනීත හිමි , පාඨශාලාචාර්ය උඩවලවේ ජිනසිරි හිමි, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය යෝධකණ්ඩියේ අරියවංස හිමි ඇතුළු ශිෂ්‍යපුත්‍රාදීන් රාශියක් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් දායාද කිරීමට නාහිමිපාණන් වහන්සේ කටයුතු කළහ.

තමන් වහන්සේ සමඟ කුළුපග ව ක්‍රියා කරන සෑම දෙනා සමඟ ම නිබඳ සන්නිවේදනයේ යෙදෙමින් මුදිතා ගුණයෙන් යුතු ව දුක සැප විමසා බැලීම නාහිමිපාණන් වහන්සේගේ සිරිතයි.

වත සරසා ගත් සිනහවෙන් යුතු ව දුටුවන්ගේ ප්‍රසාදයට පත් වන සුපේෂල ශික්ෂාකාමී නිරහංකාර සංඝශෝභන ගුණයන්ගෙන් පිරිපුන් මාපලගම බුද්ධසිරි නාහිමිපාණන් වහන්සේට විංශත් ශතවර්ෂාධික කාලයක් ලෝක ශාසනික සංග්‍රහයේ නිරත වීම පිණිස ආයු ආරෝග්‍යාදී සම්පත් සකලාභිවෘද්ධි සාධනය වේවා’ යි ප්‍රාර්ථනා කොට සිටිමු.