Print this Article


විපුල පල ලබන්නට නිවැරැදි ව බෝධි පූජාව තබන්න

විපුල පල ලබන්නට නිවැරැදි ව බෝධි පූජාව තබන්න

අපගේ රටේ ඉතාම ප්‍රචලිත බුද්ධ වන්දනා ක්‍රමයක් තමා බෝධිපූජා පින්කම කියන්නේ. නමුත් එම පූජාවේ නිවැරැදි අර්ථය නො දැනයි බොහෝ දෙනා බෝධි පූජාව කරන්නට පෙළඹී සිටින්නේ. එනිසා දන්න අයගේ වැඩිදුර දැනුවත්වීම පිණිසත්, නො දන්නා අයගේ දැනුවත්වීම පිණිසත් නිවැරැදිව බෝධි පූජාවක් කරන්නේ කොහොමද කියා මෙම ලිපියෙන් ඉදිරිපත් කිරීමට අදහස් කරනවා.

අට්ඨකතා විස්තරවල දී බෝධිය හඳුන්වා දී ඇත්තේ සතරමඟ සතරඵල ඤාණයන්ට යි. ඒ කියන්නෙ මාර්ගඵල අවබෝධයට යි. අපේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ නේරංජනා නදිය අසබඩ වජිරාසනය මත වැඩ සිට ඇසතු රුක්ෂය සෙවණේ දී උතුම් ශ්‍රී සම්බෝධිය සාක්ෂාත් කොට වදාළා. එනිසා ම ඒ සම්බෝධියට ප්‍රාප්ත වූ ස්ථානයේ සෙවණ සැලසූ වෘක්ෂ රාජයාණන් වහන්සේ බෝධීන් වහන්සේ කියා ව්‍යවහාර වෙන්න පටන් ගත්තා.

බුදුරදුන් නොදුටු කල...

බෝධි වන්දනාව අලුතින් හඳුන්වා දුන් ක්‍රමයක් නොවේ. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ දී ම සිදු වූ දෙයක්. උන්වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටින කාලයේ ඈත දනව්වල සිටි මිනිසුන් බුදුරජාණන් වහන්සේ බැහැදකින්නට මාස ගණන්, දුර ගෙවාගෙන දුක් පීඩා මැද ජේතවනාරාම විහාරයට එනවා. එසේ එන විට භාග්‍යවතුන් වහන්සේ ධර්ම ප්‍රචාරයට ගම් දනව් කරා වැඩම කිරිම හේතුවෙන් විහාරයේ නැහැ. බලාපොරොත්තු සහිත ව බුදුගුණ සිතමින් එන සැදැහැවතුන්ට බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට නොහැකි වීම නිසා තැවුලට පත්වෙනවා. වැළපෙනවා. හඬා වැටෙනවා.

මේ බව දුටු ආනන්ද තෙරුන් දිනක් භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් වන්දනා කොට පවසා සිටියා ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, සැදැහැවතුන් බොහෝ බලාපොරොත්තු තබා ගෙන භාග්‍යවතුන් වහන්සේ බැහ දකින්නට වෙහෙරට එනවා. ස්වාමීනි, සමහර දිනවල ඔබ වහන්සේ විහාරයේ වැඩ නො සිටින වේලාවට සැදැහවතුන් බොහෝ කනගාටුවට පත් වෙනවායි වදාළා. එවිට භාග්‍යවතුන් වහන්සේ වදාළේ “පින්වත් ආනන්ද, තථාගතයන් වහන්සේ උතුම් සම්බෝධිය සාක්ෂාත් කොට වදාරන අවස්ථාවේ දී සෙවණ සැලසූ, මහා බෝසතාණන් වහන්සේ ඉපදෙන දිනයේ ම මහා පොළොවෙන් පැන නැඟුණු ඒ පෘථිවියේ නාබී මණ්ඩලයේ පිහිටි ඒ උතුම් බෝධිරාජයාණන් වහන්සේගේ ඵලයක් ගෙනැවිත් ඒ ඵලය ජේතවනාරාමයේ රෝපණය කරන්න කියලයි.

එදා සිට සැදැහැවතුන් බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට පැමිණ උන්වහන්සේ විහාරයේ නොමැති නම් මල්, සුවඳ දුම්, පහන් ආදිය ගෙන බෝධීන් වහන්සේ පැදකුණු කොට ඒ පා මුල සියල්ල පූජා කොට වන්දනා කිරීමට පුරුදු වුණා.

සැබෑ අර්ථයක්

එදා මිනිසුන් ඒ බෝධි පූජාවට පැමිණියේ මාගේ කායික රෝග, මානසික රෝග සුවපත් වේවා’ යි සිතමින් නොවේ. ඔවුන් අපල දුරුකර ගන්නට මල්, සුවඳ, දැහැත් ගෙන ආවේ නැහැ. ඔවුන් ආවේ අප සරණ ගිය තථාගතයන් වහන්සේ තුන් ලොව දිනුවා. මාරයා පරාජය කළා. සත්‍ය අවබෝධ කළා. අවබෝධ කළ සත්‍ය අපට දේශනා කරනවා. අප සසර දුකින් එතෙර කරනවා. එනිසා ඒ සත්‍යවාදී තථාගතයන් වහන්සේ බැහැ දැක අපට වන්දනා කර ගන්නට ඇත්නම්. උන්වහන්සේට දෝත මුදුනේ තබා වන්දනා කොට පුදන්නට ඇත්නම්. උන්වහන්සේගෙන් බණ පදයක් අසන්නට ඇත්නම්, කියන අදහසින් පමණයි. එවිට විහාරයේ තථාගතයන් වහන්සේ නැති වුවත් ඒ අදහසින් පමණයි රෝපිත බෝධීන් වහන්සේ වෙත ඔවුන් ගොස් වන්දනාමාන සිදු කළේ. ආනන්ද තෙරුන් වහන්සේ මුල් වී රෝපණය කළ නිසා ඒ බෝධීන් වහන්සේ ආනන්ද බෝධිය ලෙස ප්‍රසිද්ධියට පත් වුණා. අදත් ජේතවනාරාම පුණ්‍ය භූමියේ ආනන්ද බෝධීන් වහන්සේ බොහෝ අතුපතුර විහිදවා සුව සේ වැඩ සිටිනවා. අදත් දඹදිව යන බොහෝ සැදැහැවතුන් ඒ උතුම් බෝධීන් වහන්සේ පුදනවා, වඳිනවා.

එහෙනම් අපට තේරෙනවා බෝධීන් වහන්සේ කියා කියන්නේ බුදුරජාණන් වහන්සේ සජීවීව වන්දනාමාන කිරීමට නොහැකි වූ අවස්ථාවක සැදැහැවතුන් භාග්‍යවතුන් වහන්සේ වෙනුවට සිදුකළ වන්දනාවක් කියා.

අද වන විට අපගේ ශාස්තෘන් වහන්සේ පිරිනිවන්පා සිටින්නේ. අද අපට සජීවී ව උන්වහන්සේ වන්දනා කර ගැනීමට නොහැකි වුවත් සර්වඥතා ධාතූන් වහන්සේ සහ පාරිභෝගික චෛත්‍ය රාජයාණන් වහන්සේ වන්දනා කර ගැනීමට අවස්ථාව තිබෙනවා.

අනුරපුරයේ වැඩ සිටින බෝධීන් වහන්සේ

අපේ රටේ වැඩ සිටින ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මේ ආනන්ද බෝධීන් වහන්සේට වඩා පැරැණි යි. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වන මොහොතේ දකුණු දිශාවේ වැඩ සිටි සෙවණ සැලසූ ශාඛාවයි අනුරපුරේ උඩමළුවේ වැඩ සිටින බෝධීන් වහන්සේ. ඒ ශාඛා රත්නය ලංකා ධරණීතලයට ලැබිය යුතුයි කියා අපගේ තථාගතයන් වහන්සේ පිරිනිවන් මංචකයේ සිට කළ අධිෂ්ඨානයක්. ඒ උතුම් බෝධීන් වහන්සේ ඉන්දියාවෙන් වැඩම කළ බෝධීන් වහන්සේ යි. ඒ නිසා අප හොඳින් දැනුවත්ව බෝධි පූජාව තැබිය යුතු වනවා.

පින් වැඩෙන පූජාව

අපට බෝධි පූජාවක් තබන්නට අවශ්‍ය වූ විට පන්සලට කල් වේලා ඇතිව යා යුතු වෙනවා. නිවසේ දී පෙරාගත් පිරිසුදු පැන් බෝතලයක්, මල්, පහන්, ගිලන්පස, සුවඳ දුම් ආදියක් පිළියෙළ කර ගන්න. බෝධි පූජාවක් තබන්න ඕනැ යැයි සිතා විහාරයට යන්නන් වාලේ නොයා ඒ සඳහා කාලය වෙන්කර ගන්න. බෝධි පූජාව සඳහා පේවෙලා එය සිදු කරන්න.

අපගේ ශාස්තෘන් වහන්සේ බැහැ දැකීමට යන නිසා හොඳින් පිරිසුදු වෙලා යා යුතු වෙනවා. විහාරස්ථානයේ සියලු කටයුතු බුදු ගුණ සිහි කරමින් කරන්න. අනුන්ගේ ඇද කතා කරමින් ඕපදූප සිතමින් යන්න එපා. ගෞරවයෙන් යා යුතු වෙනවා. ඉන්පසු බෝමළුව අමදින්න. මල් ආසන පිරිසුදු කරන්න. ඒ සියල්ල ම තමන් දන්නා විදිහට බුදුගුණ සිහි කරමින් සිදු කරන්නත් ඕන. අප මේ හදන්නේ අපගේ ජීවිතයට උතුම් පිනක් රැස්කර ගන්නට යි. එසේ නැතුව අපේ ජීවිතයේ ඇති අපල දුරු කර ගන්න නොවේ. අප සැරසෙන්නේ බුදුරජාණන් වහන්සේ පුදන්නයි. පහන් පිරිසුදු කර පහන් දල්වන්න.

එවිට අපට සිතන්නට පුළුවන් මගේ ශාස්තෘන් වහන්සේට මේ පහන් ආලෝකය පූජා කරමි. පූජා වේවා! සීල ගුණයෙන් පිවිතුරු වූ බුදුරජාණන් වහන්සේට මේ පිවිතුරු සුවඳ මල් පූජා වේවා. සීල සුගන්ධය පැතිර ගොස්, ගුණ සුවඳ පැතිර ගොස් වැඩ සිටි බුදුරජාණන් වහන්සේට මේ සුවඳ දුම් පූජා කරමි. පූජා වේවා! කියා සිතනවා. ඒ වගේම කරුණාවෙන් සිහිල් වී ගිය හදවතක් ඇති දෙව් මිනිසුන්ගේ සිත් නිවාලූ භාග්‍යවතුන් වහන්සේට මේ මිහිරි ගිලන්පස පූජා වේවා කියලා පූජා කරනවා. උදේ වරුවක අප බෝධි පූජාව තබනවා නම් මිහිරි ලෙස සකසා ගත් කිරිපිඬු පාත්‍රයක් පූජා කරන්නට අපට පුළුවන්.

ඒ වගේ ම රාහු, කේතු ආදී ග්‍රහයන් ගේ අපල දුරුවේවා කියා කොඩිවල ලියා ඒවා බෝධීන් වහන්සේට අගෞරවයක් වන ලෙස එල්ලන්න එපා. ඒ වෙනුවට බුදුගුණ, දහම් ගුණ ලියූ කොඩිවැල් පමණයි අප බෝධීන් වහන්සේගේ එල්ලිය යුතු වන්නේ. ඒ සඳහා හෝ අප බෝධීන් වහන්සේ ස්පර්ෂ නොකළ යුතු වෙනවා. කොඩිපත් එල්ලිය යුතු නම් අසල තිබෙන වැටක හෝ සුදුසු තැනක කොඩිය එල්ලන්න. අප බුදුරජාණන් වහන්සේට හා සමානව ම බෝධීන් වහන්සේට සැලකිලි, ගෞරව, පුද සත්කාර කළොත් පින තවත් වැඩි වෙනවා.

සංවරවීම හා සංසිඳීම

ඒ ආකාරයට සියලු කටයුතු කරලා බෝධීන් වහන්සේගේ අසලින් පහසු ආකාරයකට වාඩි වෙන්න. හඬ නඟා ගාථා කියන්න. තිසරණය, පන්සිල් සමාදන්වීමෙන් පසුව කවි, ගාථා, පිරිත් ආදිය සජ්ඣායනය කරන්නට පුළුවන්. විශේෂයෙන් බෝධි පූජාවක් තබද්දී දම්සක් පැවතුම් සූත්‍රය සජ්ඣායනා කිරීම සුදුසු වෙනවා. ඉන්පසුව සුළු මොහොතක් හෝ මෛත්‍රී භාවනා, බුදුගුණ, දහම්ගුණ හෝ කුමන හෝ අනුස්සති භාවනාවක් කරන්නට පුළුවන්. ඉන්පසු තමන්ට උපකාර කරන අල්පේශාඛ්‍ය, මහේශාඛ්‍ය සියලු දෙවිවරුන්ට පින් අනුමෝදන් කරන්නට පුළුවන්.

බෝධීන් වහන්සේ පිදිය යුත්තේ බුදුරජාණන් වහන්සේගේ ගුණ සිතාගෙන යි. අවසානයට ඒ බෝධීන් වහන්සේ සුරකින, විහාරස්ථානය සුරකින ගම්භාර, පළාත්භාර රටවැසි, ඉෂ්ඨකාන්ත දෙවිවරුන්ටත්, අකනිඨා බඹලොව දක්වා සියලු දෙවි බඹුන්ටත් මේ පින අනුමෝදන් කරන්න පුළුවන්.

සද්භාවයෙන් අප කරන ඒ පින දෙවියෝ අනුමෝදන් වෙනවා. දෙවියෝ සතුටු වෙනවා. ඉන්පසු අපට පුළුවන් මේ, මේ ආකරයට ම මගේ ජීවිතයට නොයෙක් දුක් දොම්නස් ඇතිවෙලා තිබෙනවා. ඒවා දුරුකර ගන්නට උපකාර කරන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා සිටින්නට. එය අපේ ජීවිතවලට විශාල ආශිර්වාදයක් වෙනවා. දෙවියන්ව පිනෙන් පුදද්දී ඒ දෙවියෝත් පෙරළා ගෞරව බුහුමන් ආරක්ෂා විධි සිදු කරනවා.

එනිසා බෝධි පූජාව බොහෝ ම සංවර ව, සංසිඳීමෙන් වේලාවක් ගෙන කළ යුතු පින්කමක්. ඒ පින අපගේ ජීවිතවලට ආශීර්වාදයක් ගෙන දෙනවා ඒකාන්ත යි.