Print this Article


පිළිවෙතින් පින් පුරමු

පිළිවෙතින් පින් පුරමු

පෙර වස් විසීම, පසු වස් විසීම යැයි වස් විසීම් දෙකකි. ගිම්හාන ඍතුවේ ඇසළ මස පුර පසළොස්වක දිනයේ පෝය කොට, අව පෑළවිය දිනයේ පෙරවස් එළඹිය යුතු ය. වස්සාන ඍතුවේ දෙවන පෝය වූ නිකිණි මස පුරපසළොස්වක දිනයෙහි පෝය කොට, අව - පෑළවිය දිනයේ දි පසු වස් එළඹිය යුතු ය.

ඒ දෙදිනෙන් එක් දිනක වස් විසීම නො කළ භික්ෂුවට “න භික්ඛවෙ වස්සනෙ උපගන්තබ්බං, යො න උපගච්ඡෙය්‍ය ආපත්ති දුක්කටස්ස” යන බුද්ධ ප්‍රඥප්තියේ සැටියට දුකුළා ඇවැත් වේ.

වස් එළඹෙන දිනයෙහි තමා වස් වසන විහාරය පිළිදැගුම් කරගෙන සවස් කාලයේ දී මල් – පහන් පුදා රත්නත්‍රය වැඳ, පිරිත් කියා දෙවියන්ට පින් දී, “ඉමස්මිං විහාරෙ ඉමං තෙමාසං වස්සං උපෙමි” යි එක්වරක් හෝ දෙවරක් හෝ තුන් වරක් හෝ කියා වස් එළඹිය යුතු ය.

“මෙහි වස් වසමි ය” යන අදහසින් යම්කිසි විහාරයක වෙසෙන භික්ෂුවකට දහම් දෙසීම් ආදි කටයුතුවල යෙදීම නිසා “ඉමස්මිං විහාරෙ ඉමං තෙමාසං වස්සං උපෙමි” යන වාක්‍ය කියා වස් ඉටා ගැනීමට අමතක වූයේ ද, වස් විසීමේ බලාපොරොත්තුව ඇති බැවින් වස් විසීම සිදු වේ. වස කඩා නො ගෙන විසුවහොත් ඒ භික්ෂුවට පවාරණය කිරීමට බාධාවක් නැත්තේය.

වහලක් ඇති, දොරක් ඇති, සෙනසුනක් සොයා ගෙන ම වස් එළඹිය යුතු ය. ඉදින් වස් විසීමට සෙනසුනක් නැති නම්, කරවා දෙන දායකයකු ද නැතිනම්, උපකාරකයන් සොයාගෙන හෝ සෙනසුනක් කරවා ගත යුතු ය. උපකාරකයන් ද සොයාගත නොහැකි වේ නම්, තමා විසින් ම හෝ කර ගත යුතු ය. සෙනසුනක් නැත ය කියා වස් නො වැස, ඇවතින් නො මිදිය හැකි ය.

වස්කාලය වනාහි වැසි වසින කාලය යි. අනෙකුත් ඍතු දෙකට වඩා වස්සාන ඍතුව තුළ එක දිගට වැසි ඇද හැලීම සිදුවේ.

ලොව්තුරු බුදුපියාණන් වහන්සේ බුද්ධත්වය ලැබ, පළමු මංගල ධර්ම දේශනය වූ දම්සක් පැවතුම් සූත්‍ර දේශනය බරණැස ඉසිපතනයේ දී පස්වග මහණුන්හට දේශනා කරන්නට යෙදුණේ ද මෙකී වස්සාන ඍතුව ආරම්භ වන ඇසළ පුන් පොහෝ දිනක දී ය. එසේ එම දේශනය සිදු කොට බුදුපියාණන් වහන්සේ පළමු වැසි සාර මස එහි ම වැඩ විසූ සේක. මෙතැන් සිට බොහෝ කාලයක් යනතුරු වස් විසීමේ නීතියක් උන්වහන්සේ පනවා තිබුණේ නැත. එහෙත් ආවේණික ධර්මයක් ලෙස බුදුන් වහන්සේත්, රහතන් වහන්සේත්, මුලදී ස්වභාවික පුරුද්දක් ලෙස වස් කාලයෙහි චාරිකාවේ නොගොස් එකම තැන වැඩ වාසය කළහ.

මෙසේ කල් ගතවත්ම ක්‍රමයෙන් භික්ෂු පිරිස වර්ධනය වීමෙන් අනතුරු ව භික්ෂු පිරිසේ ගති පැවතුම්, සිරිත් විරිත් ආදිය ද වෙනස් වන්නට විය. ඒ අනුව වැසි කාලය තුළදී ද ගම්, නියම්ගම් සැරිසරමින් ධර්මය ප්‍රචාරණය කරන්නට ද උන්වහන්සේ කටයුතු කළ අතර, එය විවිධ ජනයාගේ දෝෂයට ලක්වන්නට විය.

වස් ආරාධනා කරනු ලබන්නේ හුදෙක් දායක පින්වතුන්ගේ ප්‍රයෝජනය පිණිස ය.

මෙකල මෙන් නොව පෙර භික්ෂූන් වහන්සේ නිතර එක තැනක වාසය නොකළහ. අවුරුද්දේ වැඩි කාලයක් ධර්ම චාරිකාවට යෙදවූහ. එයින් දායක ඇත්තන්ට අවශ්‍ය වෙලාවට බණක් ඇසීමට, දනක් පූජා කිරීමට ආදි ගැටලු ද මතුවිය. යම් ප්‍රදේශයක භික්ෂූන් වහන්සේ වස් වසවා ගන්නට ලැබුණොත් සිව්පසයෙන් උපස්ථාන කිරීමෙන් දායක පක්ෂයට පින් සලසා ගැනීමටත්, යහපත සලසා ගැනීමටත් හැකි වන්නේ ය.

මෙහි දී ගිහි, පැවිදි යන දෙ පිරිස අතර අන්‍යෝන්‍ය සහ සම්බන්ධතාවක් ගොඩනැඟෙනවා, මෙන් ම සාමාන්‍ය කාලවලට වඩා මේ කාලය තුළ පින් පුරවා ගැනීමට ද නිරතුරුව ම පුළුවනි. මෙසේ සීල, භාවනා දී ගුණධර්ම පිරීමෙන් නිතර කල් ගෙවන නිසා පුණ්‍ය කාලය ලෙස ද මෙම කාලය සම්මත වී තිබේ.

ඉහත කී වස් ආරාධනාව සඳහා පූජා කරනු ලබන පිරිකර අතරින් වැදගත් මෙන් ම ප්‍රධාන තැනක් හිමි වන්නේ වැසි සළුවට යි. අද වන විට වැසි සළුව වෙනුවට තුන් සිවුරට අයත් “අඳන සිවුර” බොහෝ තැන්වල භාවිත කරන බවක් දක්නට ලැබේ. එය වැරැදි ක්‍රියා පිළිවෙතකි.

පුරාණයේ වස් ආරාධනාවක් සඳහා උපයෝගී කර ගන්නා ලද්දේ වස් ගොටුව යි. වස්ගොටුව සකසනු ලබන්නේ විශාල ව සැදුණු පොල් ගෙඩියක් ගෙන බිඳ ඉන් ප්‍රමාණයෙන් විශාල පොල් බෑය ගෙන ඇතුළතින් නටුව පොල් බෑය ඇතුළට තැබෙන පරිදි දළුමුර නැතහොත් බුලත්කොළ වටේට අතුරා ගොටුවක් ආකාරයටයි.

මෙම ගොටුව පෙරළී නොයන සේ පට්ටල කර තැබීම සඳහා දරනුවක් ද සකස් කර ගනියි. එය ගොප්කොළ භාවිත කර සකස් කරනු ලබන අතර, අලංකාරය සඳහා දරනුව වටේට පිටතට විහිදෙන පරිදි ගොප් කොළ ඉතිරි කරයි.

එකී වස්ගොටුව මත වැසි සළුව තබා ආරාධනා කිරීම සිදු කරනු ලබයි. මෙම චාරිත්‍රය දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි, ඒ ඒ ප්‍රදේශයන්ට ආවේණික පරිදි සිදු කරනු ලබයි.

මෙම ආරාධනාවේ දී භික්ෂූන් හට විහාරස්ථානයේ වස් සමාදන් වීම සඳහා ආරාධනා කරමින් වස් කාලය තුළ උන්වහන්සේට දානය පිළියෙළ කර දීම, අවශ්‍ය බෙහෙත් හේත් ආදී වෛද්‍ය ප්‍රතිකාර ද, සෙනසුන් ද, අවශ්‍ය සිවුරු පිරිකර ද ලබා දෙමින් සුඛවිහරණයට අවැසි වටපිටාව සකස් කර දීම දායක කාරකාදීන්ගේ පරම යුතුකමකි.

භික්ෂූන් වහන්සේ විසින් ද එකී සිවුපසයෙන් උවටැන් කරන දායක පින්වතුන්ට අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වරදෙන් මුදා ගැනීම ද පරම යුතුකමක් වන්නේ ය.

මෙලෙසින් ගිහි, පැවිදි දෙ පිරිස ම අවබෝධයෙන් වස්සාන කාලය තුළ කටයුතු කරන්නේ නම්, පින් සිතිවිලි මනා කොට වර්ධනය වී සසර කෙළවර උතුම් වූ අමා නිවන ප්‍රත්‍යක්ෂ කර ගැනීම දුෂ්කර නොවන්නේ ම ය.