Print this Article


භික්‍ෂූන් වහන්සේට වස් විසීමට නියම කළේ ඇයි ?

භික්‍ෂූන් වහන්සේට වස් විසීමට නියම කළේ ඇයි ?

බුදුරජාණන් වහනසේගේ ප්‍රථම ශ්‍රාවක පිරිස වූ පස්වග මහණුන් වහන්සේ අමතා, ‘චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේවමනුස්සානං’

මහණෙනි බොහෝ දෙනාගේ යහපත පිණිසත් බොහෝ දෙනාගේ සුවය පිණිසත්, ලෝකයාට අනුකම්පාව පිණිසත් දෙව් මිනිසුන්ගේ යහපත පිණිසත්, හිත සුව පිණිසත් චාරිකාවේ හැසිරෙවු” . (මහාවග්ග පාළි. 1. 42 පිටුව) දේශනා කළ බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් අමතා දෙව් මිනිසුන් පිළිබඳ වන යම් කෙලෙස් නැමැති උගුල් වේ ද, ඒ සියල්ලෙන් තමා මිදුණු බවත් මගේ ශ්‍රාවකයන් වන ඔබත් එම කෙලෙස් උගුල්වලින් මිඳී ඇති බවත් දේශනා කර ඇත.

ඒ නිසා ඉහත දක්වා ඇති අරමුණු වෙනුවෙන් ධර්මචාරිකාවේ යෙදෙන ලෙසත් එහි දී දෙනමක් එක මඟක නො යන ලෙසත් මුල, මැද හා අග යහපත් වූ, අර්ථ සහිත වූ ව්‍යංජන සම්පත්තියෙන් යුක්ත වූ සියල්ලෙන් සම්පූර්ණ වූ ධර්මය දේශනා කරන ලෙසත් පිරිසිදු වූ බ්‍රහ්මචර්යය ප්‍රකාශ කරන ලෙසත් කාරුණික ව බුදුහිමියෝ වදාළ සේක.

සුළු වශයෙන් හෝ රාග, ද්වේෂ ආදී කෙලෙස් ඇති සත්ත්වයන්ට ධර්මය අසා දැන ගැනීමට නො ලැබුණොත් ඔවුන් පිරිහීමට ලක් වන බවත්, ඔවුන්ට ධර්මය අවබෝධ කර ගත හැකි බවත් දේශනා කොට තමන් වහන්සේ ද උරුවෙල් දනව්වේ සේනානි නියම් ගමට ධර්මය දේශනා කිරීමට වැඩම කරන බව දේශනා කර තිබේ.

මේ අයුරින් භික්‍ෂූන් වහන්සේ ධර්ම චාරිකාවේ යෙදෙමින් දම් දෙසමින් වැඩම කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් විවිධ දිශාවලින්, ජනපදවලින් පැවිදි උපසම්පදා වූ ශ්‍රාවක භික්‍ෂු පිරිස ක්‍රමයෙන් වැඩි විය.

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩ සිටි අවදියේ තම ශ්‍රාවක භික්‍ෂූන් වහන්සේට වස් විසීම සඳහා විනය නීති පණවා නොතිබුණි. බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ බුදුන් වහන්සේ ධර්ම චාරිකාවේ හැසිරෙන ලෙස මුල දී ම දුන් කාරුණික නියෝගය ගෞරවණීය ලෙස පිළිගෙන

හේමන්ත, ගිම්හාන හා වස්සාන යන ඍතු තුනෙහි ම ධර්ම චාරිකාවෙහි සැරිසැරූහ.

බුදුන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ දිගු කලක් තිස්සේ ධර්ම චාරිකාවේ යෙදීම නිසා එකල ජනයා ජීවිතය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගෙන තිබුණි.

එකල බුද්ධ ශ්‍රාවකයන් සේ ම අන්‍යාගමිකයන් ද සංචාරයේ යෙදී ඇත. සදහම් සැරියෙහි යෙදී බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ කටයුතු කරද්දී හමු වූ ජනයාට බෞද්ධ දර්ශනය දේශනා කොට පැහැදිලි කිරීමේ ප්‍රතිඵල ලෙස මිථ්‍යාදෘෂ්ටික මත ප්‍රචාරය කරමින් සැරි සැරූ අන්‍යාගමිකයන්ගේ මඟ ගිය ජනයා ඒ මඟ හැර දමා තෙරුවන් සරණ ගොස් ඇත.

ශ්‍රමණ භවත් ගෞතම බුද්ධශ්‍රාවකයන් සන්සුන් ඉඳුරන් සහිත ගමනින් ද තරුණ හා ප්‍රියමනාප කතා බහ සහ දේශනා විලාසයෙන් ද ජීවිතයේ යථා තත්ත්වය සත්‍යවාදීව හා යථාරූපීව පැහැදිලි කර දීම ද සංඝ ශාසනය පුළුල් වීමට හේතු විය.

අන්‍යාගමිකයන් මේ නිසා භික්ෂූන් වහන්සේ කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් ඔවුන් සම්බන්ධ ව කුමන හෝ දෝෂයක් මතු කොට ජනයා අතර ප්‍රචාරය කරන්නට වූයේ භාරතයේ බ්‍රාහ්මණ ආගමටත්, පූජකයන්ටත් මුල දී සමාජය තුළ හිමි වී තිබූ ප්‍රභූත්වය හා ගෞරවය අහිමි වී එම තත්ත්වය බුදුදහමට හා බුද්ධ ශ්‍රාවකයන්ට හිමිවීම නිසා ය.

අන්‍ය තීර්ථකයන් හා පරිබ්‍රාජකයන් වර්ෂා කාලයේ බැහැර නො ගොස් එක තැනක සිටින්නේ ආහාර ගැන නො සිතා බවත්, කුරුල්ලන් පවා වැසි කාලයේ ගස් මුදුන්වල කූඩු තනා ගෙන උණුසුම සඳහා එකට ගුළි වී සිටින බවත්, පැවසූ අන්‍යාගමිකයන් කොළ පැහැති තණබිම් පාගමින් ඉතා කුඩා සතුන් බොහෝ කොට විනාශ කරන බවට චෝදනා කරමින් භික්‍ෂූන්ට අවමන් කළහ; නින්දා කළහ; දොස් කීහ. මේ තත්ත්වය බුදුන් වහන්සේට භික්ෂූන් දන්වා ඇත.

මහාවග්ග පාළියට අනුව වර්ෂා කාලයේ ධර්ම චාරිකාවේ යෙදීම නිසා කොළ පැහැයෙන් යුතු ව හැදී වැඩී එන අලුත් තණ බිම් පාගමින් සැරි සැරීමත්, ඒ මත සිටින ඉතා කුඩා ජීවීන් විශාල ප්‍රමාණයක් විනාශ වීමත්, ගැන එකල ජනයා භික්‍ෂුන් වහන්සේට දෝෂාරෝපණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස බුදු හිමියන් උපසපන් භික්‍ෂූන්ට වස් විසීම අනුමත කරනු ලැබීය.