Print this Article


බාධක කම්කටොලු ඉවසීමෙන් ජය ගනිමු

බාධක කම්කටොලු ඉවසීමෙන් ජය ගනිමු

පරලොව පමණක් නොව මෙලොව සුබසිද්ධියට අදාළ වන ශ්‍රේෂ්ඨ ධර්මයකි බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත්තේ. මෙම නෛර්යානික ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීම සඳහා අප බෝධිසත්ත්වයන් වහන්සේ නියත විවරණයෙන් පසු සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම්දම් පුරා ඇත.

ප්‍රථමයෙන් ම මුහුදේ සත් දිනක් මව කරපින්නාගෙන පිහිනා මාතෘ විවරණයක් ලබා ගත්හ. එතැන් සිට සත් අසංඛ්‍ය කල්ප ලක්ෂයක් මනෝප්‍රණීධානය සපුරා අනියත විවරණ ලබාගෙන වාග් ප්‍රණීධානය තව අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පිරුවේය.

ශ්‍රද්ධාධික බෝසත්වරයෝ අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී දම් සපුරති. වීර්යාධික බෝධිසත්ත්වයෝ දහසය අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම්දම් සපුරති. මේ කාල පරිච්ඡේදය දෙස බලන විට පෙනී යන්නේ සම්බුද්ධත්වය ලැබීමට කොතරම් අසීරුද යන්නයි.

එතරම් කාලයක් පෙරුම්දම් පුරා ලොව්තුරා බුද්ධත්වයට පත්වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේත් අටලෝ දහම නමැති ලෝක ධර්මතාවට මුහුණ දීමට සිදුවිය.

බුද්ධ චරිතය අධ්‍යයනය කිරීමෙන් දැනගත හැකි ය. වේරංජාවේ වස් විසීම, චිංචි මානවිකාව බුදුරදුනට අභූත චෝදනා නඟමින් කුසෙහි දරමිටියක් බැඳගෙන ඒම, තීර්ථකයන්ගේ නොමනා හැසිරීම්, දේවදත්ත තෙරුන්ගේ ක්‍රෑරක්‍රියා කලාපය, ආදී නොයෙක් අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේට ද අටලෝ දහමට මුහුණ දීමට සිදුවිය. එම කිසිදු අවස්ථාවක දී බුදුරජාණන් වහන්සේ කම්පා වූ බවක් හෝ උදම් වූ බවක් දක්නට නොලැබේ. එය මුළු බුද්ධ චරිතය පුරා ම දැකිය හැකි සුවිශේෂී කරුණකි.

බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේ ප්‍රමුඛ කොටගත් ඕනෑම තරාතිරමක ජීවත් වන පුද්ගලයකුට වුවද මෙම අටලෝදහම නම් ධර්මතාවයට මුහුණ දීමට සිදුවෙයි. ඒ පිළිබඳ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ පඨම ලෝක ධම්ම හා දුතිය ලෝක ධම්ම සූත්‍රවල සඳහන්ව ඇත. එනම්,

ලාභො අලාභො අයසො යසො ච
නින්දා පසංසා ච සුඛංච දුක්ඛං
එතෙ අනිච්චා මනුජෙසු ධම්මා
අසස්සතා විපරිනාම ධම්මා

ලාභය, අලාභය, යසය, අයසය, නින්දා ය, ප්‍රශංසා ය, සුඛ ය, දුක්ඛ ය යන මේ ධර්මයෝ සත්ත්වයන් කෙරෙහි පෙරැළෙන ස්වභාවයෙන් යුක්ත ය. එම ධර්මතා අටම චක්‍රයක් මෙන් ලෝක සත්ත්වයා වෙත සුබ, අසුබ වශයෙන් විපාක දෙන්නේ ය. එයින් පැන යාමට කිසිවකුටත් පුළුවන්කමක් නැත. ලාභය ලැබෙන තැන අලාභය ද, සැප ළඟ දුක ද, යසස ළඟ අයස ද, ප්‍රශංසාව ළඟ නින්දාව ද පවතී. ඇතැම් විට මෙහි යථාර්ථය අවබෝධ කර ගැනීමට අපහසු වීමෙන් කම්පාවට පත්වෙති.

එතෙ ච ඤත්වා සතිමා සුමෙධො
අවෙක්ඛති විපරිනාමධම්මෙ
ඉට්ඨස්ස ධම්මා න මථෙන්ති චිත්තං
අනිට්ඨ තො නො පටිඝාතමේති

සිහි නුවණින් යුක්ත පණ්ඩිත තෙමේ වෙනසකට බඳුන් වන මෙම අටලෝ දහම ගැන නුවණින් දැක, එතුළින් කම්පාවට පත් නොවේ. එම දහම් තුළින් පණ්ඩිතයාගේ සිත නොකැළඹෙන අතර, ඒ කෙරෙහි ඇලීමට ද ගැටීමට ද පත් නොවේ. සියලු දෙනාට ම මෙම ගුණය, එනම්, අටලෝ දහමින් කම්පා නොවී සිටීමේ හැකියාව ඇතිකර ගැනීම අපහසු කාර්යයකි.

කස්සානු රෝධා අථවා විරොධා
විධුපිතා අත්ථගතා න සන්ති
පදංඤ්ච ඤත්වා විරජං අසොකං
සම්මප්පජානාති භවසස්පාරගූති

පණ්ඩිතයාගේ සිතෙහි කිසිම මොහොතක අටලෝ දහම කෙරෙහි විරෝධයක් නූපදී. ඔහු නිවැරැදි ලෙස එහි ඇති ස්වභාවය දැකීමට සමර්ථ වේ. කෙලෙස් නැති කොට, ශෝක නැති කොට නිර්වාණ බෝධය කරා යෑමට ඔහු උත්සාහ කරයි.

ඒ අනුව බලන විට අටලෝ දහම ලෝක ධර්මතාවක් බවත්, අප කැමැති වුවත්, අකැමැති වුවත් එයට මුහුණ දීමට සිදුවන බවත් පැහැදිලි ය. අටලෝ දහමට සමාන ව මුහුණදී අන්තයට නොවැටී සමබර ව සිටිය යුතු ය.

කොපමණ ගල් බොරළු තිබුණත් අතර මඟ යා යුතු තැනට යනවාමයි ගලන ගඟ මේ ආකාරයට ජීවිතයට එළැඹෙන සියලු බාධක කම්කටොළු ඉවසීමෙන් යුක්තව ජයගත යුතු ය.

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරින්. මෙම ලිපිය සකස් කෙරිණි.