Print this Article


මේ පින් පිරෙන වස්සාන කාලයයි

මේ පින් පිරෙන වස්සාන කාලයයි

බුදුරජාණන් වහන්සේගේ පහළ වීම සිදු වු භාරතයෙහි තත්කාලීන ව ආගමික ඉගැන්විම් දෙසැටක් පමණ වු බව ශාසන ඉතිහාසය මඟින් අනාවරණය කරනු ලැබේ.

මෙම ආගම් හා ඉගැන්වීම් අතර සුවිශේෂී ඉගැන්වීමක් වු බුදු දහම මුලික වශයෙන්ම තරුණ පිරිසක් ඒකරාශි කොට ගෙන ව්‍යාප්ත වුවකි. සාම්ප්‍රදායික වෙනත් ඉගැන්වීම් අතර බුද්ධ ධර්මය නව මගක් ගත් දහමක් විය.

ඒ අනුව තම ශ්‍රාවකයන්ගේ අවබෝධය පිණිස, හික්මීම පිණිස, ශාන්තභාවය පිණිස, කෙලෙස් මල දුරු කිරීම පිණිස තම ධර්මය දේශනා කරන බව පමණක් නොව, “පරිනිබ්බුතො සො භගවා පරිනිබ්බාය ධම්මං දෙසෙති” යනුවෙන් සියලු කෙලෙස් මලින් පිරිනිවුන පරම සංසිඳීමේ සුවය ළඟා කර ගැනීම සඳහා තථාගතයන් වහන්සේ විසින් ධර්මය දේශනා කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ මෙම අනුශාසනාවට අනුව ක්‍රියා කළ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ තම පැවිද්දෙහි උපරිම පරමාර්ථ සාධනය සඳහා ඉතා දිරිමත් ව ක්‍රියා කළහ. එහිදී උන්වහන්සේ අව් වැසි, සීතෝෂ්ණ නොසලකමින් ක්‍රියා කළා පමණක් නොව කිසිදු දේශගුනික බලපෑමක් ද මායිම් නොකොට චාරිකාවෙහි හැසුරුනා හ.

බුදු දහම පහළ වීමෙන් එළැඹි මුල් කාලපරිච්ඡේදයේ ඉගැන්වීම් බහුල වශයෙන් ම නිර්මාණවාදී ඉගැන්වීම් වු අතර, ඇතැම් ඉගැන්වීම් කර්මවාදී මෙන් ම පරම අවිහිංසාවාදී ඉගැන්වීම් විය. තත්කාලින භාරතීය ජනතාව මෙම විවිධ ආගමික මත වාද නිසා ද දැඩි පීඩනයකට ලක්ව සිටියේ ය. ගිම්හාන සෘතුවේ ඇතිවන දැඩි නියඟය ආදී විවිධ පාරිසරික පීඩාවන්ගෙන් ද මහත් සේ පිඩාවට ලක් වුහ.වර්තමාන ඉන්දීය සමාජය තුළ ද මේ

තත්වයන් අඩු වැඩි වශයෙන් පවත්නා බව බොහෝ දෙනා දන්නා කරුණකි.

මෙම විනය ප්‍රඥප්තියට අනුව උපසම්පදා භික්‍ෂුන් වහන්සේ අනිවාර්යයෙන් ම මෙම වස් ශික්‍ෂා පදය සමාදන් විය යුතු ය. මෙය ඉක්මවීම කිසියම් ආපත්තියක් සඳහා ද හේතුවේ. දායක දායිකාවන්ගේ ආරාධනයක් ඇතත්, නැතත් භික්ෂුවක විසින් කිසියම් ස්ථානයක වස්විසිමේ මෙම උතුම් චාරිත්‍රය ආරම්භ වී වසර 2600ද ඉක්මවා ගොස් ඇත. තත්කාලීන භාරතයෙහි කාලගුණික සහ සමාජමය අවශ්‍යතා මත ආරම්භ වන මෙම උතුම් චාරිත්‍ර ධර්මය භික්‍ෂුන් වහන්සේ තම අධිගමයන් සඳහා වඩාත් උත්සුක වූ කාල සීමාවක් ලෙස ද සඳහන් කළ හැකි ය.

උපසපන් භික්ෂුන් වහන්සේගේ වස් එළැඹීමේ චාරිත්‍රය බුද්ධ නියමයක් ඉටු කිරීමකි. විනය ශික්‍ෂා පදයක් ආරක්ෂා කිරීමකි. නියමිත දිනයෙහි පොහෝ පවුරුණු කටයුතු සම්පුර්ණ කරන භික්‍ෂුන් වහන්සේ තමන් වහන්සේ තීරණය කරගත් ස්ථානයෙහි අදාළ දිනයේ දී “ඉමස්මිං ආරාමේ ඉමං තේමාසං වස්සං උපේමි ඉධ වස්සං උපේමි ” යනුවෙන් තෙවරක් වාචික ව ප්‍රකාශ කොට වස්

අධිෂ්ඨාන කිරීම සිදු කරනු ලැබේ. වස් විසු භික්ෂුව එම ස්ථානයෙන් බැහැර ව යාමේ දී සතිකරණයෙන් යුතුව බැහැර විය යුතු අතර ඉන් අදහස් කරනුයේ අනිවාර්යයෙන් ම නැවත එම ස්ථානයට පැමිණෙන්නෙමි'යි යන අදහස ය. එදින පැමිණීමේ නොහැකියාවක් වේ නම්, සතියක් අතුළත පැමිණෙමි'යි අධිෂ්ඨානශිලී ව පිටත්වීම සත්තාහකරණය යනුවෙන් දක්වා ඇත.

වස් ශික්‍ෂාපදය ආරක්ෂා කර ගැනීම සදහා භික්‍ෂුන් වහන්සේ කෙතරම් උත්සුක වන්නේ ද යන්න පමණක් නොව, මෙම උතුම් ආගමික චාරිත්‍රයෙහි ඇති වගකීම් සහගත බව අද සිට අපේ බොහෝ විහාරස්ථානවල ප්‍රධාන දොරටුව ආසන්නයෙහි දක්නට ලැබෙන “අයං වස්සාන කාලෝ” යන වැකිය ඉදිරි තෙමස පුරා ප්‍රදර්ශනය කිරීමෙන් පෙනී යයි.

තථාගතයන් වහන්සේ ජීවමාන කාලයෙහි එනම් මීට වසර 2568කට පෙර ඇරඹුණ මෙම වස්විසිමේ උතුම් පින්කම ලාංකික සමාජයට ආරෝපණය වී මේ වනවිට වසර 2330 ඉක්මවා ගොස් ඇත. දේවානම් පියතිස්ස රාජ්‍ය සමය දක්වා විහිදී යන ඉතිහාසයට උරුමකම් කියන මෙම උතුම් චාරිත්‍ර ධර්මය මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමත් සමඟ ආරම්භ වූවකි.

මහින්දාගමනය පොසොන් පොහොය දිනයේ සිදු වු බව ප්‍රකට කරුණකි. ඉන් පසුව එළැඹුණ ඇසළ පුර පොහෝ දිනයෙහි වස්විසීම නම් වූ උතුම් බුද්ධ නියමය ඉටු කළ යුතු බව මිහිඳු මා හිමියන් වහන්සේ විසින් දේවානම් පියතිස්ස රජතුමාට දැනුම් දුන්හ. ඒ පිළිබඳ පුර්ණ අවබෝධයක් ද ලබා දුන්හ. ඒ අනුව මිහින්තලයෙහි අටසැටලෙන්හි භික්‍ෂුන් වහන්සේ වස්වසා වැඩසිටි බව අපේ වංශකථා මගින් අනාවරණය කරනු ලැබේ.

එදා නවමු දහමක් ලෙස බුදුසමය පිළිගෙන වැළඳගත් අපේ ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව ප්‍රබෝධවත් මනසකින් යුතු ව අද දක්වා ම ඇසළ පුන් පොහෝ දිනයෙහි දැහැත් ගොටු සහ වැසි සළු පිළිගන්වා වස් ආරාධනා කිරීම සිදු කරනු ලැබේ. ලක්දිව නාගරික ප්‍රදේශයන්හි පමණක් නොව ඈත ගම්දනව් දක්වා සෑම විහාරස්ථානයක ම අපේ භික්ෂු මහා සංඝරත්නය මහත් කැපවීමෙන් සිදු කරනු ලබන මෙම උතුම් චාරිත්‍ර ධර්මය මුළු මහත් ථෙරවාදී බෞද්ධ ලෝකය පුරා ම අනුගමනය කරනු ලබන්නකි.

අප රටෙහි භික්‍ෂුන් වහන්සේ අතර අරිට්ඨ මහ රහතන් වහන්සේගෙන් ඇරඹෙන මෙම උතුම් පින්කම සඳහා නතු වූවෝ සාමාන්‍ය ජනතාව පමණක් නොවේ. රාජ රාජ මහාමාත්‍යාදීන් ද මහත් ගෞරවයෙන් යුතු ව මෙම පින්කමෙහි නියැළුණු අයුරු අපේ ශාසන ඉතිහාසය මඟින් මනාව වාර්තා කොට ඇත. ඇතැම්විට විහාරස්ථානවලින් පරිබාහිර ව තම පෞද්ගලික නිවාසයන්හි ද භික්‍ෂුන් වහන්සේ වස් වසවා ගැනීම සදහා අපේ බෞද්ධ ජනතාව ඉතා කැමැත්තෙන් ක්‍රියා කොට ඇති බව ද ප්‍රකට කරුණකි.