Print this Article


මිගදායෙන් ගලා ගිය අමාදම් ගඟුල

මිගදායෙන් ගලා ගිය අමාදම් ගඟුල

බරණැස ඉසිපතන මිගදාය පරිසරය සිසාරා හමා ගිය සිසිල් මන්ද මාරුතය තෙරුවන් ගුණය සමඟ මිශ්‍ර ව ලොව්තුරු ගුණයෙන් සකල සත්ව සිත් සතන් සැනසෙන්ට බුද්ධ ශ්‍රී මුඛයෙන් පිටවන සිව්සත් දම් අමා දහර හේතුවාසනා විය.

අප බුදුරජාණන් වහන්සේ එම උතුම් දහම සත්‍යඥාණ, කෘත්‍යඤාණ, යන ත්‍රිපරිවර්ත වශයෙන් ද, එය දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය යන ආර්ය සත්‍යයට ඇතුළත් වීමෙන් ද්වාදසාකාර, යථාභූත ඤාණ දර්ශනයක් සුපරිශුද්ධ සම්බුද්ධ ඤාණයෙන් සමස්ත විශ්වයට ම ප්‍රකාශ වන්නේ ය.

එතෙක් ලෝකවාසී සත්ත්වයන් තම පෘථග්ජන ඤාණයෙන් දැන සිටි කාම සුඛල්ලිකානුයෝගය හා අත්තකිලමථානුයෝගය යන අන්තගාමී මිථ්‍යාදෘෂ්ඨි මාර්ග දෙක ඔස්සේ සම්ප්‍රේෂණය වූ දෙසැටක් මිථ්‍යා දෘෂ්ටි අන්ධකාරයේ මං මුළා වූ සත්වයන්ට මෙම චතුරාර්ය සත්‍ය ධර්ම නමැති පහනේ ආලෝකයෙන් සත්‍ය මාර්ග දර්ශනය වන්නට විය.

දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳ සත්‍ය ඤාණය, දුක්ඛ ආර්ය සත්‍ය පිරිසිඳ දැන ගත යුතු යන කෘත්‍ය ඤාණය, දුක්ඛ ආර්ය සත්‍ය පිරිසිඳ දැන ගන්නා යන කෘත ඤාණය, දුක්ඛ සමුදයාර්ය සත්‍ය පිළිබඳ සත්‍ය ඤාණය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය ප්‍රහීණ කළ යුතු ය යන කෘත්‍ය ඤාණය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය ප්‍රහීණ කළා යන කෘත ඤාණය, දුක්ඛනිරෝධ ආර්ය සත්‍ය පිළිබඳ සත්‍ය ඤාණය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය පිළිබඳ ප්‍රත්‍යක්ෂ කළ යුතු කෘත්‍ය ඤාණය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය පිළිබඳ ප්‍රත්‍යක්ෂ කළා යන කෘත ඤාණය, දුක්ඛ නිරෝධ ගාමිණී පිළිබඳ සත්‍ය ඤාණය, දුක්ඛ නිරෝධගාමිණී පිළිබඳ වැඩිය යුතු යන කෘත්‍ය ඤාණය, දුක්ඛ නිරෝධාර්ය පිළිබඳ වඩන ලද කෘත ඤාණ ය, දුක්ඛ ආර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමත්, සමුදය ආර්ය සත්‍ය ධර්මය ප්‍රහීණ කිරීමත්, දුක්ඛ නිරෝධ ආර්ය ප්‍රත්‍යක්ෂ කර ගැනීමත්, දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදා ධර්මය පිළිපැදීමත් සිදුවන අතර, මෙම චතුරාර්ය සත්‍ය ධර්මය විදහා දැක්වීමේ දී ප්‍රථමයෙන් පෙන්වා දී ඇත්තේ ඵලය දක්වා, දෙවනුව හේතුව දැක්වීමෙනි. එය පහසු අවබෝධ සඳහා ය.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පහළවී මෙම උතුම් ශ්‍රී සද්ධර්මය ප්‍රථමයෙන් මානව චිත්ත සන්තාන ගත කළ යුතු වන්නේ ය. එතැන් පටන් දෙවියන් මිනිසුන් ආදී සකල සත්ව චිත්ත සන්තාන ගතවන විට සගමොක් සුව ලබා දෙන්නේ ය.

‘අථාහං භික්ඛවෙ සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ්මකෙ සස්සමණ බ්‍රාහ්මණියා පජාය සදෙව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධිං අභිසම්බුද්ධෝ පච්චඤ්ඤාසිං

මෙම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳ ද්වාදසාකාර යථාභූත ඤාණ දර්ශනය සුවිසුද්ධ වූයේ ද, එම මොහොතේ පටන් මම අනුත්තර සම්මා සම්බුද්ධ යැයි ප්‍රතිඥා දෙමි.

මෙම චතුරාර්ය සත්‍ය ධර්මය මෙම විශ්වයේ සෑම මොහොතක ම ක්‍රියාත්මක වන නමුත් මනුලොව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් පහළ ව දේශනා කරන තුරු ජනතාවට එම සද්ධර්මය පිළිබඳ අවබෝධයක්, විඤ්ඤාණයක් නොමැත.

සම්බුද්ධ ශාසනයේ පැවැත්මට බුද්ධ ශ්‍රාවකයන් වහන්සේගේ ශාසනික පැවැත්ම ප්‍රධාන වශයෙන් හේතු වන්නේ ය. අඤ්ඤාකොණ්ඩඤ්ඤ හිමියන් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රත්‍යක්ෂයෙන් දැනගත් දිනයේ පටන් බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝරත්නය යන ත්‍රිවිධ රත්නය පහළවීම නිසා ම යථාභූත ඤාණ දර්ශනය ද පහළ විය.

අප බුදුරජාණන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කර ගත් එම ශ්‍රී සද්ධර්මය වර්ෂ දෙදහස් ගණනක් ගතවී නමුත් බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩ සිටින්නා සේ ම ධර්මයේ පවත්නා කුසලබල මහිමය, ධර්ම රසය පවතින්නේ එ දවස බරණැස ඉසිපතනයේ දී ප්‍රකාශනයට පත්කළ දේශනා විලාසය නිසා ම ය.

බරණැස ඉසිපතන මිගදායේ දී අප බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පිටවූ එම උතුම් දම්සක් පැවතුම් සූත්‍රයේ අක්ෂරයක්, පදයක් පාසා ලොව්තුරු ගුණය හා ආනුභාවය ගලා යන්නේ ය. මෙම බුද්ධාන්තරය අවසන් වන තුරු මෙම දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේ අර්ථය, ව්‍යාංජනය, පවතින අතර තව තවත් කෙළ කෝටි සංඛ්‍යා සත්වයන්ට සගමොක් සුවය ලබා දෙන්නේ ම ය.