Print this Article


යළි දකිමු දීඝවාපිය

යළි දකිමු දීඝවාපිය

බුදුරජාණන් වහන්සේ තෙවැනි වරට ලංකාවට වැඩම කළ අවස්ථාවේ කැලණිය, සමන්තකූටය, හා දිවාගුහාව යන ස්ථානයන්හි නැවතී පසුව දිගාවැවට (දීඝවාපිය) වැඩම කළ බව දීපවංශයේ සඳහන් වේ.

බුදුරජාණන් වහන්සේ එසේ වැඩම කළ ස්ථානයේ උන්වහන්සේගේ නීය ධාතුන් වහන්සේ (නඛා ධාතූන්) තැන්පත් කර රියන් 7ක කුඩා ස්තූපයක් මහාසේන දෙවියන් විසින් කළ බවත් ජනප්‍රවාදිත ය.

එසේ බෞද්ධ ජනතාවගේ වන්දනාවට පත් වූ දීඝවාපිය සොළොස්මස්ථාන අතුරින් කාලාන්තරයක් තිස්සේ ජනතාවගේ වන්දනාමානයෙන් ඈත්ව තිබුණේ ත්‍රස්තවාදී උවදුරු නිසා ය.

එහෙත් නැඟෙනහිර ඓතිහාසික පුදබිම් රැක ගැනීමේ කාර්යයේ දී දීඝවාපි ස්තූපය රැක ගැන්ම පිණිස විශේෂ කාර්යයක් සිදු කරන්නට ආරක්ෂක ලේකම් විශ්‍රාමික ‍ජනරාල් කමල් ගුණරත්න විසින් කටයුතු සංවිධානය කරන ලදී.

ඒ අනුව දීඝවාපි ස්තූපයේ සංරක්ෂණ කටයුතු ආරම්භ කෙරුණු අතර, ඒ වෙනුවෙන් වෙනම ම අරමුදලක් ද පිහිටුවන ලද්දේ රජයේ මුදල් වැය නොකර එම කාර්යය සිදු කිරීම වෙනුවෙනි. ‘යළි දකිමු දීඝවාපිය‘ නම් වූ මේ කාර්යයේ සුවිශේෂී අවස්ථාවක් පසුගිය 14 දා සිදු කෙරුණි.

ඒ ඓතිහාසික දීඝවාපි ස්තූපයේ ධාතු ගර්භයේ සර්වඥ ධාතුන් වහන්සේ හා නිදන් වස්තු තැන්පත් කිරීම ය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාර්යය සිදු කරන ලද්දේ මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ ය. දීඝවාපි රාජමහා විහාරාධිපති මහඔය සෝභිත හිමි ඇතුළු තෛ‍්‍රනිකායික මහා සංඝරත්නය ඊට සහභාගි වූහ.

ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු දීඝවාපී ස්තූපය මෙරට උසින් තුන්වැනි ස්ථානයට පත් වන අතර, එය දෙවැනි වන්නේ රුවන්වැලි මහ සෑරදුන්ට හා සඳහිරු සෑරදුන්ට පමණි.

සර්වඥ ධාතූන් වහන්සේට අමතර ව නා උයන ආරණ්‍ය සේනාසනාධිපති හිමියන් විසින් පරිත්‍යාග කළ රත්රන් කිලෝ 2කටත් වඩා බරකින් යුත් අලංකාර බුදු පිළිමයක් ද පවුම් 107කින් නිම කළ විවිධ මැණික් 150කට අධික සංඛ්‍යාවක් ඔබ්බවන ලද රන් කරඬුවක් ද විවිධ මැණික් ව්‍යාපාරිකයන් විසින් පරිත්‍යාග කළ මැණික් අඩංගු මංජුසාවක් ද එහි නිධන් කරන ලදී.

යුද හමුදාවේ ශ්‍රම දායකත්වය මේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් ලබා දෙන අතර සිවිල් ආරක්ෂක බලකායේ දායකත්වය ද හිමි ය.

ප්‍රතිසංස්කරණයෙන් පසු උසින් අඩි 268කින් යුක්ත වන දීඝවාපි ස්තූපයට අමතර ව නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ඉදි කෙරෙන කාමර 20කින් හා විශාල ශාලා 4කින් සමන්විත විශ්‍රාම ශාලාවක්ද මෙහි ඉදිකෙරේ.

එසේම ගුවන් හමුදාව ද මේ කාර්යයට විශාල දායකත්වයක් ලබා දෙන අතර, ස්තූපයේ කොත් කැරැල්ල පමණක් අඩි 67කින් යුක්ත ය. ස්තූපය මධ්‍යයේ එක් ගඩොල් වටයක් ගොඩ නැංවීම සඳහා ස්තූප ගඩොල් (සාමාන්‍ය ගඩොල් කැටයක් මෙන් 3 ගුණයකි) 72,000ක් අවශ්‍ය වන බව ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දෙයි. තවත් වසර 3කින් පමණ මෙහි වැඩ කටයුතු අවසන් කරන්නට ආරක්ෂක අමාත්‍යාංශය බලාපොරොත්තු වන අතර, මේ සියලු කාර්යයන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උපදෙස් හා නිර්ණායක අනුව සිදු කෙරේ.

කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් දීඝවාපි අරුණ නමින් ලංකා බැංකුවේ තැප්‍රොබේන් ශාඛාවේ ආරම්භ කර ඇති 86860000 ගිණුමට ඕනෑම අයකුට දායකත්වය ලබා දිය හැකි ය.