Print this Article


දිවිය සුරකින අත්තිවාරම දිවි දෙවැනි කොට රකින සීලයයි

දිවිය සුරකින අත්තිවාරම දිවි දෙවැනි කොට රකින සීලයයි

අහස උසට ඉදිවෙන ගොඩනැඟිලි තිබෙනවා සාමාන්‍ය පමණට, කුඩාවට ඉදිවන ගොඩනැඟිලි තිබෙනවා. මේ කවර ගොඩනැඟිල්ලක් වූව ද රඳා පවතින්නේ, කල්පැවැත්ම, වටිනාකම තීරණය කරන්නේ ඒවායෙහි අත්තිවාරමයි. අත්තිවාරම ශක්තිමත් නොවුණොත් ගොඩනැඟිල්ලට පැවැත්මක් නෑ. සුළු කාලයකින් ම බිඳී, ඉරිතැලී, විනාශ වී යන්න පුළුවන්. පුංචි ම ආපදා තත්වයක දී වූවත් කඩා වැටෙන්නට පුළුවන්. මෙය අපේ ජීවිතයටත් සමාන කර ගන්න පුළුවන්. යම් පුද්ගලයෙක් ආර්ය භාවයට පත්වීමේ අත්තිවාරම සීලයයි. බෞද්ධයන් ලෙස අප විසින් ශක්තිමත් කර ගත යුතු ආර්ය ධන හතක් පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. සප්ත ආර්ය ධනය කියන්නේ ඒ උතුම් ධනයන්ටයි.

මෙලොව ජීවත්වන සෑම මනුෂ්‍යයකු ම මේ ධන හත සම්පූර්ණ කර ගැනීමට උත්සාහවත් විය යුතු වෙනවා. එහි පළමු ධනය ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාව තුළින් සීලය ගොඩනැඟෙනවා.

ත්‍රිශික්ෂාවන් හි මුල සීලය හැටියට හඳුන්වනවා. සීලය ගොඩනඟන්නට නම් ශ්‍රද්ධාව තිබිය යුතු වෙනවා. ශ්‍රද්ධාව පසුබිම් කරගෙන, සීලය ගොඩනැඟෙනවා. සීලය පදනම් කරගෙන සමාධිය ගොඩනැඟෙනවා. ඒ තුළිනුයි ප්‍රඥාව වැඩිය හැකි වන්නේ.

සීලයේ ප්‍රධාන අරමුණ කය, වචනයේ සංවර බවයි. යම් කෙනකුට භාවනාවෙන් මානසික ඒකාග්‍රතාව ඇති කරන විට, කයෙහි සංවරයත්, වචනයෙහි සංවරයත් සීලයෙන් අපේක්ෂා කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දස රාජ ධර්මය හා දස පාරමිතා උගන්වන තැන දී සීලය අනිවාර්ය අංගයක් ලෙස පුරුදු පුහුණු කළ යුතු බව දේශනා කොට තිබෙනවා.

ඒ වගේ ම බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළින්, සීලය බිඳගත් යම් කෙනකුට කිසිදු ආර්ය මාර්ග තත්වයකට ළඟාවිය නොහැකි බව පෙන්වා දී තිබෙනවා. ගිහි වේවා, පැවිදි වේවා කිසියම් සීලයක පිහිටා සිටීම අනිවාර්යයි. නැතිනම් කායික වශයෙනුත්, වාචික වශයෙනුත් පුද්ගලයා තුළින් දුශ්චරිත බිහි වීමේ ප්‍රවනතාව ඉහළ තලයට පත්විය හැකියි.

දිනක් බුදුරජාණන් වහන්සේ “චුන්ද හිමියන් අමතා චුන්ද පමා නොවන්න, පමා වී පසුතැවෙන්න එපා. ධ්‍යානය සඳහා යොමු වන්න. ධ්‍යානය නම් භාවනාවයි.

තථාගත බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් මේ සසර දුකින් අප මුදවා ගැනීම සඳහා අනුශාසනා කර තිබෙනවා. මඟ පෙන්වා දී තිබෙනවා. පමා නොවන්න, පමා වි පසුතැවෙන්න එපා. සීලය පිරීමට අධිෂ්ඨානයක් ඇති කර ගන්න. එක සිල්පදයක් හෝ ආරක්ෂා කර ගන්න උත්සාහ කරන්නේ නම් එය විශාල ආධ්‍යාත්මික ශක්තියක් බවට පරිවර්තනය වෙනවා. ඒ වගේ ම බාහිරින් සිදුවන්නට තිබෙන උවදුරු වළක්වා ගැනීමේ පළිහක් බවට සීලය පත්වෙනවා. ඒ වගේ ම නිර්වාණ මාර්ගය සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය හොඳ පහන් ආලෝකයක්.

දෙ‍දෙව් ලොවට අධිපති ශක්‍ර දෙවියෝ දිනක් දන බිම නමා වන්දනා කරන අවස්ථාවේ දී මාතලී දිව්‍ය පුත්‍රයා විචාළේ , දෙදෙව් ලොවට අධිපති වූ ඔබතුමා මනුෂ්‍ය ලොවට වන්දනා කරන්නේ ඇයි ද කියලයි. ඒ අවස්ථාවේ දී ශක්‍ර දෙවියෝ මාතලී දිව්‍ය පුත්‍රයාට මෙසේ පිළිතුරු දුන්නා.

“මාතලී මේ මනුෂ්‍ය ලෝකයේ පින්කම් කරමින්, සිල්වත් ව ජීවත්වෙමින් කටයුතු කරන උපාසකයෙක් වේ ද? ඒ උපාසකයා ධාර්මික ජීවන උපාය මාර්ගය අනුගමනය කරමින් අඹු දරුවන් පෝෂණය කරයි ද? මාතලී මම ඒ මනුෂ්‍යයන්ට වන්දනා කරනවා. මෙයින් පැහැදිලි වන්නේ කුමක් ද? සීලයේ පිහිටි පුද්ගලයාට දෙවියන් ඉදිරියේ යදින්නට අවශ්‍ය වන්නේ නැහැ. සිල් රකින්නා ඕනෑම අතුරු ආබාධයකින් වැළැක්වීම සඳහා එය ම පළිහක් ලෙස පාවිච්චි කළ හැකියි. යම් සීලයක් පිරූ තැනැත්තකුට ඕනෑ ම මොහොතක තමන්ට උවදුරක්, කරදරයක් පැමිණෙන විට ඒ සීලය ම මෙනෙහි කර සත්‍යක්‍රියාවක් කරන්නට හැකියි. එයින් යම් ජීවිතයකට කායික මෙන් ම මානසික ලෙසිනුත් සුවපත් භාවයක් ලබන්නට හැකියි.

සීලයේ අනුසස් ලෙස කීර්තිය, ප්‍රශංසාව, නම්බුනාම සසර පුරාවට ම උරුම කර ගන්නට පුළුවන්. තමන් මෙතෙක් ආරක්ෂා කළ යම් සිල්පදයක් වේ නම්, ඒ සීලය දිවි දෙවැනි කොට ආරක්ෂා කරන්නාක් මෙන් ම, මොනම අමාරු අවස්ථාවක දී වූවත් දිවි දෙවැනි කොට සිල්වත් වන්නට, සිල්පද ආරක්ෂා කරන්නට අධිෂ්ඨාන කර ගනිමු.