Print this Article


උසස් දානයට කොන්දේසි විරහිතයි

උසස් දානයට කොන්දේසි විරහිතයි

සාමාන්‍ය ජනයා අතර දන්දීම යන්නෙන් යම් යම් වස්තූන් දීම ම ප්‍රකට ය. එය වස්තු දානය, භෝග දානය හෝ අත්ථ දානය යනුවෙන් නම් කළ හැකි ය.

ගින්නෙන්, ජලයෙන්, සොර සතුරන්ගෙන් හෝ ලෙඩ දුක් ආදියේ දී යමකුට බියක් ඇති වූ කල්හි කරුණාව සහ උපාය බුද්ධිය යොදා ඔහුගේ හෝ ඇයගේ හෝ දුක නැති කළ හැකි නම්, එය අභය දානයක් වේ.

ඉහත කී අවශ්‍යතා නැති, එසේත් නැතහොත් ධනය ඇති නිදහසේ වෙසෙන ඇතැම්හු ධර්මය නොදන්නාකමින් දිළින්දෝ වෙති. එහෙයින් ම විවිධ ව්‍යසනයන්ට මුහුණ දෙති. මුදල් හෝ වෙනත් ප්‍රතිලාභ හෝ අපේක්ෂා නොකොට ඔවුන්ට නිශ්සරණාධ්‍යාශයෙන් ධර්මය ඉගැන්විය හැකි නම්, ධර්මය කියාදිය හැකි නම් එය ධර්ම දානයක් වේ. මෙය උසස් ම දානය ලෙස දැක්වේ.

තවද දානය පාරමිතාවකි. පාරමිතා යනු බුද්ධත්වය ප්‍රාර්ථනා කරන උතුමන් වහන්සේ තුළ පවතින ප්‍රධාන ගුණාංගයකි. බෝසත්වරයකු තමන් වෙත අපේක්ෂාවෙන් පැමිණියකු සඳහා ජීවිතය වුවත් දීමෙහි ලා පසුබට නොවේ. එය දීම, පරිත්‍යාගය, පූජා කිරීම හා සබැඳී ගුණාංගයයි. වෙනත් විධියකින් කිවහොත් දාන පාරමිතාව යනු ඉක්මවා යා නොහැකි දානයයි. උසස් ම දානයයි.

මේ නිසා කරුණාව සහ උපාය බුද්ධිය නැමති අංග දෙක යමක් තව කෙනකුට දීමේ දී උසස් මිනිසුන් තුළ ක්‍රියාත්මක වේ. මෙය වෙනත් විධියකින් කිවහොත් කරුණාව සහ ප්‍රඥාවයි. බුද්ධත්වය සිද්ධ වන්නේ ප්‍රඥාවෙනි. බුදුකිස සිදුවන්නේ කරුණාවෙනි.

බෝසත්වරු ශරීරාංග පවා දීමේ රුචිය උපදවා ගන්නේත්, දීමෙන් පසු අත්තුක්කංසන පරවම්භන දෙකෙන් වැළකී පසුතැවිලි ආදියට පත් නොවී තමා තුළ සොම්නස රඳවා ගෙන සිටිනුයේත් ඔවුන් තුළ පවතින මෙම ප්‍රඥා මහිමය නිසා ය.

අනෙක් අතින් දානපාරමිතාව යනු තමන් සතු සියලු ධනය අනුන්ට දී දිළින්දකු බවට පත්වීම නොවේ. ප්‍රඥාව අවශ්‍ය වන්නේ ඒ නිසා ය. කරුණාව නිසා දීම උපරිමයෙන් ප්‍රගුණ කළ යුතු වුවත් බුද්ධිමත් ආර්ථික කළමනාකරණයක් සහිත ව මෙය කළ යුතු වේ.

සමහරු තමන්ට හිරිහැර වන, එසේ ම අනවශ්‍ය වස්ත්‍ර ආහාර ආදී දේ පමණක් දීමට පෙළඹෙති. මෙය උසස් දීමක් නොවේ. දුගියෙක් යමක් ඉල්වයි නම් එසේත් නැත්නම් ඔහුගේ අවශ්‍යතා පිළිබඳ කරුණාවෙන් කුළුගැන්වුණු ඔබගේ හදවත ප්‍රඥාවෙන් ඔබ ව දැනුවත් කරයි නම්, එබඳු දේ දීම යහපත් ය. දාන පාරමිතාවෙහි දී කරුණාව හා ප්‍රඥාව මූලික වන්නේ එහෙයිනි.

බුද්ධවංසපාළියෙහි සඳහන් වන පරිදි බුද්ධත්වය සඳහා අනුගමනය කළ යුතු ප්‍රතිපදාව කුමක්දැයි නුවණින් විමසූ මහ බෝසතාණන් වහන්සේට සමත්‍රිංශත් පාරමිතා පූරණය කිරීම එකම ක්‍රමවේදය බව පසක් විය. එහිදී උන්වහන්සේට පෙනී ගියේ පෙර බුදුවරුන් විසිනුදු අනුගමනය කළ පරිදි දාන පාරමිතාව පළමුවෙන් ම සම්පූර්ණ කළ යුතු බවයි.

දානය පළමු පාරමිතාව වන්නේ එය සීල පාරමිතාව පිරීමට බෙහෙවින් බලපාන, එය පහසු කරවන අධාරකයක් වන හෙයින් බව සඳහන් වේ. එබැවින් මෙහි අනුක්‍රමික සම්බන්ධතාවක් ඇත. එනම් දානය සීලයටත්, සීලය නෛෂ්ක්‍රම්‍යයටත්, නෛෂ්ක්‍රම්‍යය ප්‍රඥාවටත් ආදී වශයෙන් ප්‍රගුණ කිරීමේ ආධාරක බවක් එහි පවතී. මෙම පදනම මත දානය මුල්ම පාරමිතාව වේ.

බෞද්ධ අර්ථකථන සම්ප්‍රදාය අනුව කරුණාව සහ උපාය කෞශල්‍ය ඥානය පෙරදැරි කොටගෙන තමා සතු දේ පරිත්‍යාග කිරීම දානපාරමිතා නම් වේ. දාන පාරමිතාවේ ලක්‍ෂණය පරිත්‍යාග කිරීමයි.

මෙයින් කෙරෙන ප්‍රමුඛ කාර්යය නම් ලෝභය සහමුලින් ම නැති කිරීමයි. අනාශක්ත බව හෙවත් කිසිදු වස්තුවක් කෙරෙහි නො ඇලීමේ බුද්ධියක් උපදවා ගැනීම මෙහි ඇති ප්‍රතිඵලයකි. මෙහි ආසන්නම කාරණය නම් ලෞකික ලෝකෝත්තර සම්පත් ලැබීමයි. දානයට සීමා මායිම් නොමැත. පිරිසුදු විවෘත හදවතින් සහ මනසින් යුතු ව කරනු ලබන්නකි. අන්‍යයන් කෙරෙහි කරුණාව මූලික කොට ගත්තකි. එසේම එම පරිත්‍යාගයෙහි කිසිදු ආත්මාර්ථකාමී හැඟීමක් සඟවී නැත. එය සපුරාම බැඳීම් සහ අපේක්ෂාවන්ගෙන් බැහැර වූවකි.

කෙනකු තමා සිටින තත්වයෙන් තවත් පියවරක් උසස් වීමට නම් දානය ම ප්‍රමුඛ කාරණය වේ. මෙය ප්‍රගුණ කිරීම තුළ තවත් උසස් ගුණාංග රාශියක් ගැබ්වන හෙයින් ප්‍රමුඛ කාරණය යැයි දක්වන ලදී.

ලෝකයෙහි දානය සහ දාන පාරමිතාව යැයි දීම ප්‍රගුණ කිරීමේ ක්‍රම දෙකක් පවතී. ඕනෑම යමක් අලෝභ චේතනාවෙන් දීම දානයයි. එයින් ස්වර්ග සම්පත් ආදී ප්‍රතිඵල ලැබේ. එහෙත් ථේරවාද මහායාන සම්ප්‍රදාය දෙකෙහි ම උසස් දානය නිරපේක්ෂක වූවකි. පුහුදුන් මිනිසුන් වන අප විසින් උසස් දානය නම් කිමැයි තේරුම් ගැනීම වැදගත් වන්නේ එයින් උසස් ප්‍රතිඵල ලැබෙන හෙයිනි.

නිත්‍ය වශයෙන් ම උසස් දානයට ආත්මාර්ථකාමී නිර්ණායක නැත. එයට කොන්දේසි නැත. දැන හැඳුනුම්කම්, උසස් පහත්කම්, වැදගත් නොවැදගත්කම් ආදී කිසිවක් පාරමිතා පාදක දානයෙහි දී සැලකිල්ලට භාජනය නොවේ. එහිදී සැලකිල්ලට ගැනෙනුයේ හුදෙක් අන්‍යයන්ගේ යහපත ය. ලබන්නාගේ සුඛවිහරණය අරමුණු වන අතර, දෙන්නාගේ හදවත හා බුද්ධිය අවදි වීම සිදුවේ.