![]() |
ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ ඇසළ පුර පසළොස්වක පෝදා 2024 ජූලි 20 සෙනසුරාදා |
||||
අපේ රටේ වැඩ සිටින විචිත්‍ර ධර්ම කථිකයන් වහන්සේ අතර බොරැල්ලේ අතුල අනු නාහිමිපාණන් වහන්සේට හිමිවනුයේ සුවිශේෂී වූ ස්ථානයකි. 1959 නොවැම්බර් 18 වනදා බොරැල්ල ගෝනගලගේ මානිස් අප්පුහාමි මහතා සහ රණතුංග ආරච්චිලාගේ ඇග්නස් නෝනා දම්පතීන් වෙත පින්බර පුත් රුවනක් ලැබුණි. අතුල ගෝනගලගේ නමින් හැඳින් වූ එම කුමරා සොයුරු සොයුරියන් අට දෙනකුගෙන් සමන්විත පවුලේ හත්වැනියා ලෙස එසේ උපත ලැබීය. හැදී වැඩී නිසි වියේ දී බොරැල්ල සුසමයවර්ධන විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබූ අතර, කුඩා කල සිට දහම් නැණ වර්ධනය කර ගැනීමට බම්බලපිටිය සිරි වජිරාරාමස්ථ දහම් පාසලට ඇතුළත් විය. දහම් නැණ ලබා ගුණ නුවණ වර්ධනය කර ගනිමින් කොළඹ ඩී.එස්. සේනානායක විදුහලෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ වාණිජ අංශයෙන් හැදෑරීය. තරුණ වියේ දී එනම්, 1984 නොවැම්බර් 10 වනදා කුප්පියාවත්ත ජයශේඛරාරාමයේ දී මාකාවිට මේධාලංකාර නාහිමි, තලල්ලේ ඤාණාලංකාර සහ තලල්ලේ පියරතන යන නාහිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති අති පූජ්‍ය කොස්ගොඩ ධම්මවංශ මහනාහිමියන් සහ අති පූජ්‍ය තලල්ලේ ධම්මානන්ද මහනාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් පැවිදිබිමට පත් වූයේ “බොරැල්ලේ අතුල” යන ශාසනික නාමයෙනි. කලක් ගුරු දෙවි ඇසුර ලබා ශ්‍රී ඤාණාලංකාර භික්ෂු ගිලන් බෞද්ධ මධ්‍යස්ථානයේ නේවාසික ව කොළඹ මාලිගාකන්ද විද්‍යොදය මහ පිරිවෙනට 1985දී ඇතුළත් ව එවකට පරිවේණාධිපති අකුරැටියේ අමරවංශ නාහිමියන් ප්‍රධාන ආචාර්ය මණ්ඩලය වෙතින් අධ්‍යාපනය ලබා විද්‍යොදය අවසන් වසර උසස් ලෙස සමත් විය. පාලි සංස්කෘත දැනුම නන්දිසේන ඉන්ද්‍රසේකර මහතා වෙතින් වර්ධනය කර ගත් බව කෘතවේදී ව සිහිපත් කරති. 1985 ජූලි 27 වන දා බළපිටිය මාදු නදී උදකුක්ඛේප සීමා මාලකයේ දී අධිසිල් ලැබූ බොරැල්ලේ අතුල හාමුදුරුවන්ගේ පැවිදි දිවියට මෙම වසරේ දී හතළිස් වසරක් සපිරේ.
දෙමව්පියෝ ,තෙසත්තෑ ඤාණ, පින, මියගිය අය පින් ගන්නවා ද? ආදී දහම් පොත් කීපයක් ද පළ කර ඇති බොරැල්ලේ අතුල හාමුදුරුවෝ අමරපුර සිරි සද්ධම්මවංස පාර්ශ්වයේ සල්පිටි, හේවාගම්, රයිගම් කෝරළත්‍රයේ ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය තලල්ලේ ධම්මානන්ද මහානාහිමියන් වෙතින් ලබාගත්හ. අනතුරුව බළන්ගොඩ සුධම්මවංස මහනාහිමියන් වෙතින් කොළඹ පළාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන් ද, කාරක සභික ධුරයකින් ද පිදුම් ලැබූහ. එංගලන්තය, අමෙරිකාව, ඔස්ට්‍රේලියාව ඇතුළු පෙර අපර දෙදිග රටවල විසි පහකට අධික සංඛ්‍යාවකට වැඩම කරවා ඇත. උන්වහන්සේ 1984 ආරම්භ කරන ලද නෙළුම් මල් පූජාව වාර්ෂික ව විවිධ ප්‍රදේශවල ඓතිහාසික විහාරස්ථානවල දී පවත්වන අතර වාර්ෂික ව මැදින් පෝදා පවත්වන දස පාරමිතා පෙරහර අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් තිස් වසරකට අධික කාලයක් මුළුල්ලෙහි පවත්වනු ලබන්නේ බොරැල්ලේ අතුල නාහිමිපාණන් වහන්සේගේ නිර්මාතෘත්වයෙනි. අමරපුර සිරි සද්ධම්මවංශ පාර්ශ්වයේ සල්පිටි හේවාගම් රයිගම් කෝරළත්‍රයේ ද්විතීය සංඝනායක බෝගහවැවේ රතන නාහිමියන් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නය ලෙස සහ වදුරඹ කස්සප නාහිමි, බලබැද්දේ ඤාණවිමල හිමි, බොරැල්ලේ මංගල, කොටුවිල ඤාණසීවලි හිමියන් ඇතුළු ශිෂ්‍ය හිමිවරුන් දහනමක් පමණ මේ වන විට අතුල නා හිමියන් විසින් සසුනට දායාද කර ඇත. උන්වහන්සේ වෙත අභිනවයෙන් පිදෙන අනුනායක පදවිය අමරපුර සිරි සද්ධම්මවංස පාර්ශ්වයේ මහා නායක අහුන්ගල්ලේ සිරිසීල විසුද්ධි මහා නායක මාහිමියන් ප්‍රධාන එම සංඝ සභාවේ සමානච්ඡන්දයෙන් පිරිනමන ලදි. ඒ පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්රදානෝත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිත ය. දිගාසිරි වේවා!.
|
|||||