Print this Article


ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වජිරවංශ පාර්ශවයේ අභිනව මහා නායක ධුරයෙන් පිදුම් ලද මහාචාර්ය පල්ලේකන්දේ රතනසාර මහ නාහිමිපාණෝ

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වජිරවංශ පාර්ශවයේ අභිනව මහා නායක ධුරයෙන් පිදුම් ලද මහාචාර්ය පල්ලේකන්දේ රතනසාර මහ නාහිමිපාණෝ

වලස්මුල්ල පල්ලේකන්දේ උඩහේනේ දී 1953ජනවාරි 07 වැනි දින උපත ලැබූ වෙල්හේනගේ රත්නසූරිය කුලදරුවාගේ මවුපියන් වෙල්හේනගේ ගුණදාස පියාණන් හා එම්.ඩී. ගිමාරහාමී මාතාව ය. 1968 මැයි 10 වන දින පද්දපිටියේ ගුණරතන පද්දපිටියේ වජිරඥාන යන නාහිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් රතනසාර නමින් පැවිදි බිමට පත්විය.

ඕපනායක අභයරාජ පිරිවෙනෙන් හා කොළඹ මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූහ. උන්වහන්සේ 1972 ජූලි මස 20 වැනි දා වළස්මුල්ල විජයසිරිපුර ශ්‍රී පුෂ්පාරාම බද්ධ සීමා මාළකයේ දී අමරපුර ශ්‍රී වජිරවංශ මහා නිකායේ විංශද්වර්ගික කාරක මහා සංඝ සභාව වෙතින් උපසපන් බව ලැබූහ.

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ශිෂ්‍යත්වයක් ලැබ රුසියාවේ ජනතා මිත්‍රත්ව විශ්වවිද්‍යාලයට (ලුමුම්බා) ප්‍රවිශ්ඨ ව උසස් අධ්‍යාපනය ලැබ පල්ලේකන්දේ හිමියන් ආචාර්ය උපාධිය හිමි කර ගත්හ.

ගුරු සිසු දෙපක්ෂයේ ම ප්‍රසාදය දිනාගත් පල්ලෙකන්දේ රතනසාර තරුණ හිමියෝ ඇලෙක්සැන්ඩර් සිරිගේවිච් පුෂ්කින් මහතා රුසියන් භාෂාව ඉගැන්වීම හා ප්‍රචාරය වෙනුවෙන් කැපවූවන් සඳහා පිහිටුවන ලද රුසියාවේ උසස් ම සම්මානය ලෙස සැලකෙන පුෂ්කින් සම්මානයෙන් සම්මානිත වූහ. ගතවූ කාල පරාසය තුළ රුසියාවේ වෛද්‍ය සභාවේ සම්මානය, 2006 දී ශී‍්‍ර ලංකා රුසියන් මිත්‍රත්ව සංකේතය හා රුසියාවේ ගෞරවණීය ආගන්තුක පුරවැසියාවීම, 2007 දී රුසියාවේ තුමෙන් ප්‍රදේශයේ සාම්ප්‍රදායික වෛද්‍ය සභාව මගින් පිරිනමන ශ්‍රී ලංකා රුසියන් මිත්‍රත්ව සම්මානය ආදී සම්මාන රැසක් හිමි කර ගත් එකම බෞද්ධ භික්ෂූන් වහන්සේ බවට පත්වීමේ භාග්‍යය උදා විය.

1975 සිට ආසියානු බෞද්ධ සාම සම්මේලනයේ ශ්‍රී ලංකා ශාඛාවේ ලේකම් වශයෙන් ද, 1994 දී අන්තර් ආගමික සාම පදනමේ ආරම්භක ලේකම් හා ඉන්පසු එහි විවිධ තනතුරු ද ජාතික සාම මණ්ඩලයේ සමසභාපති ලෙස ද, ජාතික සම්පත් සුරැකීමේ භික්ෂු සංවිධානයේ සභාපති ඇතුළු සාමය හා පරිසරය වෙනුවෙන් කැපවූ සංවිධාන හා ආයතන රැසක තනතුරු හොබවති.

ශ්‍රී ලංකා අමරපුර වජිරවංශ පාර්ශවයේ කාරක සභික ධුරයට ද, ලේකම් ධුරයට පත්වීමෙන් ද නිකායේ අභිවෘද්ධිය වෙනුවෙන් විශාල මෙහෙයක් සිදු කොට ඇත. ඒ නිසාම විශ්ව සාහිත්‍ය භාෂා විශාරද සද්ධර්ම කීර්ති ශ්‍රී වජිරවංශාලංකාර යන ගෞරව නාමය තම පාර්ශවයෙන් ද සද්ධම්මාභිවෘද්ධි පෝතක පණ්ඩිත යන ගෞරව නාමය බුරුමයේ (මියන්මාර්) මණ්ඩලේ නුවර සංඝ සභාවෙන් ද පිරිනමන ලදහ.

සාමය හා සහජීවනය වෙනුවෙන් තායිලන්තය, ඉන්දියාව, නේපාලය, ස්වීඩනය, ස්විට්සර්ලන්තය, හොංකොං, එංගලන්තය, අමෙරිකාව, කියුබාව ආදී විදේශීය රටවලට වැඩම කොට අති අතර, දේශීය වශයෙන් උතුරු - නැගෙනහිර ප්‍රශ්නය දේශපාලන රජයන් සමඟ හා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඉහළම නායකයන් සමඟ ද පවත්වන ලද සාකච්ඡාවලට පුරෝගාමී නායකත්වය දුන්හ.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරී ධුරය වසර පහක් දැරූ උන්වහන්සේ එම කාලය තුළ වැල්ලවත්තේ පිහිටි නිකාය මූලස්ථානය ඉදිකරවිම, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය සමඟ සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීම, ඉන්දීය බෞද්ධ සමිති සමාගම්වල සභාපති ධුරය දැරිම වැනි සුවිශාල ශාසනික මෙහෙවරක නිරත වූහ. රුසියාවේ පුෂ්කින් භාෂා විශ්වවිද්‍යාලයෙන් රුසියන් භාෂාව පිළිබඳ ව සම්මානිත මහාචාර්ය ධුරය පිරිනමා ඇති පල්ලේකන්දේ රතනසාර නාහිමියන්ට 2024 ජූනි 16 දා රත්නපුර ගොඩකවෙල වැල්කෙනියාය ශ්‍රී සුමනාරාමයේ දී ශ්‍රී ලංකා අමරපුර නිකායේ වජිරවංශ පාර්ශවයේ මහා නායක ධුරය පිරිනමා ඇත.