Print this Article


අප්‍රමාදයට සාමාන්‍ය ජීවිතය බාධාවක් නොවේ

අප්‍රමාදයට සාමාන්‍ය ජීවිතය බාධාවක් නොවේ

අප්‍රමාදය කියා භාග්‍යවතුන් වහන්සේ වදාළේ කුසල් දහම් වැඩීම යි. අකුසල් ප්‍රහාණය කිරීම යි. නූපන් කුසල් උපදවා ගැනීම යි. නූපන් අකුසල් නූපදවා ගැනීම යි. අප්‍රමාදය ගැන කෙටියෙන් පැවසුවොත් සියලු කුසල් කිරීම යි. අකුසල් දහම් ප්‍රහාණය කිරීම යි. අප්‍රමාදය ඇතිවිය යුතු තැන ප්‍රමාදය ඇතිවන්නේ තමා තමාට ම මිත්‍ර නැති නිසයි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට අනුව ප්‍රමාදය හා අප්‍රමාදය එකිනෙකට විරුද්ධ යි. ප්‍රමාදි පුද්ගලයා අප්‍රමාදයට විරුද්ධ යි. අප්‍රමාදි පුද්ගලයා ප්‍රමාදයට විරුද්ධ යි.

අප්‍රමාදය කියන දේ භාග්‍යවතුන් වහන්සේ වර්ණනා කළ දෙයක්. නමුත් අපගේ ජීවිත තුළ අප්‍රමාදයට වඩා ප්‍රමාදයට නැඹුරු බවක් තිබෙන්නේ. අප්‍රමාදි විය යුතු තැන බොහෝ දෙනා ප්‍රමාද වෙනවා.

මේ සසරේ අපි දුගති සුගති ලෝකවල උපත ලබනවා. නිරය, තිරිසන් ලෝකය, ප්‍රේත ලෝකය, පසු කරමින් අපි මේ ජීවිතය ලැබුවේ, කුරුල්ලෙක් වුවත් තමාගේ කූඩුව ගොඩනඟා ගන්න බොහෝ සේ මහන්සි වෙනවා. බාහිරෙන් බලනවිට අපට එහි අර්ථයක් පෙනෙන්නේ නැහැ. ලෞකික ජීවිත සාර්ථක කර ගන්න අප මේ ජීවිතයේදීත්, මීට පෙර ජීවිතයේදීත් විශාල ලෙස කැප වුණා. මහන්සි වුණා. ඒ මහන්සිය කැපවීම ස්වල්පයක් හෝ දහමේ හැසිරීමට යොදා නො ගත් නිසා තවමත් අප මේ සසරේ යනවා.

භාග්‍යවතුන් වහන්සේ හතළිස් පස් වසරක් පුරාවට ම වදාළ ඒ සුමියුරු ධර්මය එකට කැටි කර පිරිනිවන්පාන මොහොතේ එක වාක්‍යයකින් වදාළා.

" හන්දදානි භික්ඛවේ ආමන්තයාමි - වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ" මේ සියලු සංස්කාරයෝ නැසෙන සුළු ය. අප්‍රමාදී ව දහමේ හැසිරෙන්න කියා. උන්වහන්සේ පිරිනිවන්පාන මොහොතේත් අපට වදාළේ අප්‍රමාදය ගැනයි. එහෙනම් අප්‍රමාදය කියන දේ මේ සසරට වැටුණු පුද්ගලයාට කොතරම් අවශ්‍ය දෙයක් ද කියා අපට තේරුම් ගන්න පුළුවන්.

භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේ හංසයාටත්, ගිහි උපාසක උපාසිකාවෝ, මොණරාටත් උපමා කොට වදාළා.

හංසයා සැහැල්ලු යි. පියාපත් බර අඩුයි. සරල යි. වේගවත්. ඒ වගේම භික්ෂුවටත් වේගයෙන් දහම් මඟ ගමන් කරන්න පුළුවන්.

මොණරාගේ පිල් කළඹ සුන්දර යි. නමුත් බරයි. එනිසා ම මොණරාට වේගයෙන් පියාසර කරන්න බැහැ. ඒ වගේ ගිහි අපටත් කටයුතු අධික බව නිසා ම වේගයෙන් දහම් මඟ පුරුදු කරන්න අපහසුයි. තමන් සසරට වැටී දුක් විඳීම එනිසා වෙනස් වන්නේ නැහැ. අපි කවුරුත් අවංකව ම දහමට දිවි පුදා කැමැත්තෙන් දහමේ හැසිරුනොත් තමන්ගේ ජීවිතයට අප්‍රමාදි බව පුරුදු කර ගන්නට ශක්තිය ලැබෙනවා.

මේ බුද්ධ ශාසනයේ බොහෝ උපාසක උපාසිකාවෝ ධර්මය පුරුදු කළේ නොයෙක් තාඩන පීඩන, හැලහැප්පීම් මැදයි. බිම්බිසාර කියන්නේ විශාල රටක රජ කෙනෙක්. එතුමා සෝතාපන්න යි. නමුත් රටක් පාලනය කළා. රටේ ආර්ථිකය, ජනතාව, සංස්කෘතිය ගැන සිතුවා. රටට පැමිණෙන උවදුරු, සතුරු කරදර ගැන සිතුවා. රටේ සම්භාෂණ, උත්සවවලට සහභාගි වුණා. කෝටි ගණන් රට වැසියාගේ කටයුතු සොයා බැලූ ධාර්මික රජෙක්. එතුමා ඒ කිසිවක් සිල්පද ආරක්ෂා කර ගැනීමට බාධාවක් කර ගත්තේ නැහැ.

ඒ වගේමයි විශාඛා උපාසිකාව. ඇයට දරුවන් තිස් දෙකක් සිටියා. ඒ සියලු දරුවෝ හදා වඩා ගත්තා. එදා එරට ඇය නොමැති ව කිසිදු පි‍්‍රය සම්භාෂණයක්, විවාහ උත්සවයක් තිබුණේ නැහැ කියනවා. එනිසා සාමාන්‍ය ජීවිතයක් ගත කරන අතර ම අප්‍රමාදී වීම අප කාටත් කරන්න පුළුවන් දෙයක්.

එනිසා ඔබ නිතර ම ගැටුණු සිතින් කටයුතු කරනවා නම්, පොඩි දෙයටත් දොස් කියමින් කෑ ගසමින් තරහ පිට කරනවා නම්, මට එපාවෙලා ඉන්නේ, කියමින් නිතර කෑ මොර දෙනවා නම් ඔබට තවම මේ සුන්දර දහම හමුවෙලා නැහැ. ඇසූ ධර්මයක් මතකයෙත් නැහැ. අපි නිතර මේ දුක්ඛිත සසර ගැන මෙනෙහි කරන්නට ඕන. ඒ සසරින් එතෙරට යන්න වීර්යය උපදවා ගන්නත් ඕන. ජීවිතයේ කටයුතු මෙත් සිතින්, වීර්යයෙන්, සිහියෙන් සිදු කළොත් මේ ධර්මයේ අප්‍රමාදී ව හැසිරෙන්න අපටත් අවස්ථාව උදාවේවි.