Print this Article


කල්තොට - බුදුගල සෝමරතන හිමි

කල්තොට - බුදුගල සෝමරතන හිමි

අමරපුර මහ නිකායේ එක්නැලිගොඩ විහාර පාර්ශවයේ අනුනායක අරියවංශපාල ඝනාචරිය ප්‍රවචන විශාරද ශ්‍රී ධම්මජෝති වංශාලංකාර ධර්ම කීර්ති ශ්‍රී ශාසන ශෝභන සිරි සුමංගල විනයාචාර්ය මහෝපාධ්‍යාය බළන්ගොඩ කිරිඳිගල ශ්‍රී ශෛලතලාරාමාධිපති විශ්‍රාමලත් පාඨශාලාචාර්ය ශාස්ත්‍රවේදී කඳන්ගොඩ ශ්‍රී සද්ධානන්ද නාහිමියෝ තත් නිකායේ අතිගරු මහානායක පදවියෙන් පිදුම් ලැබූහ.

1950 වෙසක් මස 03 වැනි දින ජන්ම ලාභය ලැබූ උන්වහන්සේ 1962 දී උතුම් වූ පැවිද්ද ලබා 1971 දී උපසම්පදාලාභි වූහ. රත්නපුර මුවගම ශ්‍රී විසුද්ධාරාම පිරිවෙණෙන් මූලික පැවිදි අධ්‍යාපනය ද, පානදුර පින්වත්ත සද්ධර්මාකර පිරිවෙණ, බළන්ගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙණ හා මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයෙන් ප්‍රාචීන ප්‍රාරම්භ හා මධ්‍යම විභාග සමත් වී ඇත.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලැබූ උන්වහන්සේ දෙමටගොඩ විසුද්ධාරාම මූලික පිරිවෙනේ සේවයට එක් වූහ.

ආගමික අධ්‍යාපනික සාමාජීය සේවයේ නිරත වන අතර තත් නිකායේ අභිවෘද්ධිය වෙනුවෙන් කැප වූ සද්ධානන්ද නාහිමියන් වෙත ලේඛකාධිකාරී ධුරය ද රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය ද, අනුනායක පදවිය ද හිමි වූ අතර මෙම වර්ෂයේ වැඩබලන මහා නායක පදවියට ද පත් වූහ. උන්වහන්සේගේ ශාසනික සේවයේ අග්‍ර ඵලය වන්නේ හිස් කඳු ශිඛරයක් වූ බළන්ගොඩ නගරයට ඉහළින් පිහිටි මුඩු බිම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ සහිත අතිසුන්දර දර්ශනීය විහාරස්ථානයක් බවට පත් කිරීමයි.