Print this Article


අපට මඟ හැරෙන ලොවට මඟ නොහැරෙන දහම

අපට මඟ හැරෙන ලොවට මඟ නොහැරෙන දහම

පසුගිය දවසක හෘද ශල්‍ය වෛද්‍යවරයෙක් වූ පාසල් සමකාලීනයෙක් මුණ ගැසුන විටක මගෙන් විමසුවා මොනවද මේ දවස්වල කරන්නෙ කියලා.

“ඔය බොරු වැඩ කර කර ඉන්නවා” කියා මම පිළිතුරු දුන්නා. “අපිත් එහෙම තමයි.” ඔහුත් කිව්වා. “එහෙම කියන්න එපා. රෝගීන්ගෙ ජීවිත බේරගන්න එක බොරු වැඩක් වෙන්නෙ කොහොමද?”

මම පිළිතුරු දුන්නා.

ටික දවසකට පණ බේරලා දුන්නට මරණයෙන් බේරන්න අපිට පුළුවන් ද? ඒකයි මම කිව්වේ ඒකත් බොරු වැඩක් කියා. ඔහු තවදුරටත් කියා සිටියා. මෙම ප්‍රකාශයේ බරපතළකම ගැන මම කල්පනා කළා.

උපදින සියලු දෙනා වයසට යනවා, ලෙඩ වෙනවා, මරණයට පත් වෙනවා. මේවා නියත වශයෙන් ම සිදු වෙන දේ. ඒ යථාර්ථයෙන් මිදෙන්න ඉමහත් උත්සාහයක් දරන අප එම යථාර්ථය අවබෝධ කර ගෙන එම වෙනස්කම් හමුවේ නොසැලී ඉන්නට පුළුවන් හැකියාව ලබා ගන්න දරන්නේ කෙතරම් අඩු උත්සාහයක් නොවේ ද කියා මට හිතුණා.

ගෙවී යන වයස සමඟ තරග කරන අපි ඒ සඳහා නොයෙක් උපක්‍රම අනුගමනය කරනවා. අවසානයේ පැරදෙනවා. එහි වඩාත් බරපතළකම වන්නේ එම උපාය මාර්ගයන් සාර්ථක වේ ය යන මායාවෙන් බැඳී සිටිය විටයි.

අතීතයේ බොදුනුවන් මෙම සත්‍යතාවට මුහුණදෙන්නට හොඳින් පුරුදු ව සිටියා. වයසට යන විට, කෙස් සුදු වන විට එය භාර ගැනීමටත්, තම පැසුණු කෙස් මුහුකුරා ගිය අත්දැකීමෙන් පොහොසත් බවේ සලකුණක් ලෙස සලකන්නටත් පුරුදු වී සිටියා. හිස නිකට පැසුණු කෙනෙක්ගෙන් උපදෙස් ලබා ගත යුතු ය යන මතය මේ නිසා සමාජ ගත ව තිබුණා. මේ නිසා ම එම වයසට යාමේ සංකේත ගැන ඔවුන් තුළ ඇති වුණේ අභිමානයක්. ඒත් විවිධාකාර හේතු නිසා මෙම වැඩිහිටි පෙනුම ගැන අද තියෙන්නෙ හීනමානයක් ඒ නිසා ම අත් විඳින්නේ අපහසුවක්. දුකක්. ලබා ගත නොහැකි දෙයක් අපේක්ෂා කර, එය නොලැබුණු විට ලැබෙන දුක එනිසා අත්විඳිනවා.

සමාජයක් වශයෙන් බුදු දහමේ මූලිකම ඉගැන්වීම් පොදු චිත්ත ධාරාවට සම්මිශ්‍රණය කර, සැනසිලිදායක මිනිසෙක් නිර්මාණය කර ගෙන තිබුණ ආකාරය මොනතරම් නිර්මාණශීලී ද, මොන තරම් දාර්ශනික ද? මෙම තත්ත්වය මෙලෙස ප්‍රකට ව තිබුණේ අද තරම් දහම සුලබ ව නොතිබුණ යුගයක යි. අද වගේ විසිහතර පැයේ ම විවිධ මාධ්‍යයන්ගෙන් බණ අසන්න නොලැබුණ යුගයක යි. ත්‍රිපිටක පොත් පන්සල්වල පමණක් තිබුණ යුගයක යි. එම යුගයන්හි සිටි අය හා සසඳන විට අපට දහම කොතරම් ආගන්තුක ද කියා විමසා බැලිය යුතු වනවා.

අද, මෙම වයසට යන බව පෙන්වන සලකුණු යටපත් කිරීම ලොව පුරා බිලියන ගණන් උපයන ව්‍යාපාරයක් ව තිබෙන නිසා එයින් ඇති කරන සමාජ මතවාදයන්ගෙන් ගැලවීම එතරම් පහසු වන්නේ නෑ. ඒ සඳහා යම් ප්‍රමාණයකින් ප්‍රත්‍යක්ෂ කර ගත් දහම් අවබෝධයක් තිබිය යුතු ම යි. මෙම අවබෝධය ලබා ගන්නට උත්සාහ නොකළහොත්, ජරාවට පත්වෙන තුරු ජීවත් වන්නට සිදුවුණහොත්, පෙර සඳහන් කළ පරාජය අත් විඳින්නට සූදානම් විය යුතු ම යි.

වයසට යන විට වැහැරුණ පුද්ගලයෙක් ලෙස සිටිය යුතු ම යි. යන්න මෙයින් අදහස් කරන්නේ නෑ. තමා ප්‍රසන්න ලෙස ඉන්නට ඕනෑ. එහෙත් වයස වසන් කිරීම ජය ගත නොහැකි තරගයක් බව පමණක් දැන ගෙන කටයුතු කළ යුතුයි.

සමහර විට වයසට ගිය ද ඒ බව එතරම් ප්‍රකට නොවන අය ද සිටිනවා. ඒ ආරයට වන්නට පුළුවන්, නැතිනම් ඇවතුම් පැවතුම්වල නිවැරැදි බව නිසා වන්නටත් පුළුවන්. දේශගුණය නිසා වන්නට පුළුවන්, එසේත් නැතිනම් කුසල් බලය නිසා වන්නට පුළුවන්. එවන් අවස්ථාවල දී එම පුද්ගලයන් මෙම තත්ත්වය නිසා තමා තුළ ගොඩනැඟෙන වර්ණ මදය ගැන සැලකිලිමත් විය යුතුයි.

සුළු අසනීපයක් වැළඳුණු විටෙක වුණත් අපි කෙතරම් කනස්සලු භාවයට පත් වෙනවා ද? හරියට අප කිසි විටෙකත් ලෙඩ නොවිය යුතුයි කියා සිතු නිසා නේ ද ඒ. මේ සිරුර රෝගයන්ට නිධානයක් බව ධම්මපදයේ සඳහන් වී ඇති බව නොවේ ද අප පිසිහපත් කළ යුත්තේ?

මෙයට වසර කිහිපයකට පෙර ලංකාවට වැඩම කළ ආයාත්ථාලොකා නම් මෙහෙණින් වහන්සේ සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වන්නට අපට අවස්ථාවක් ලැබුණා. එතුමිය විවිධ වූ සංකීර්ණ වූ රෝගාබාධ ගණනාවකින් යුත් නමුදු කිසිදු වේදනාවක සේයාවක්වත් පළ කළේ නෑ. ඒ ගැන විමසූ විට ඇය මගෙන් පෙරළා ප්‍රශ්නයක් ලෙස ඇසුවේ ලෙඩ නොවී සිටින්නට දෙන වරප්‍රසාදයක් ගැන ඔබ දන්නවා ද? මට නම් එවන් දෙයක් ලැබී නැහැ’ යනුවෙනුයි.

අනෙක් අතට යම් අසනීපයක් වැළඳුන විට “මා අසනීප වෙලා” කියා නො සිතිය යුතුය. ඔබ යනු එම රෝගී බවට වඩා ඔබ්බට ගිය කෙනෙක් බව තේරුම් ගත යුතු යි. රෝගී බව ඇති ව තිබෙන්නේ සිරුරේ යම් කොටසකටයි. සෙසු කොටස් නීරෝගි නොවේ ද? වේදනාව නොදැනෙන තැන් කොපමණ තිබෙනවා ද?” මම වේදනාවෙන් සිටිනවා කියා කියන විටත්, මට යම් වේදනාවක් දැනෙනවා කියා සිතන විටත් දැනෙන වෙනස තේරුම් ගන්න උත්සාහ කරන්න. එවිට ඔබ ප්‍රධාන වේ. වේදනාව අප්‍රධාන වේ. රෝගයේ වේදනාව ඔබට දැනෙන තවත් එක් වේදනාවක් බවට පත්වෙයි. එවිට රෝගී බව නිසා සිතට දැනෙන වේදනාව යම් පමණකට අඩු වෙයි. රෝගී වූ විට, නීරෝගී අය දකින විට හිතට දැනෙන්න පුළුවන් සියුම් ඊර්ෂ්‍යාවෙන්, ආත්මානුකම්පාවෙන් මිදෙන්න පුළුවන්. රෝගී විටෙක මෙලෙස සිතන්න පුළුවන් වන්නේ අනෙක් අවස්ථාවල කායානුපස්සනාව යම් පමණකට පුරුදු කළහොත් පමණයි.

අමෙරිකානු ජාතික ජොන් කබාට් සින්ග් නමැති විද්වතා ගොවෙන්කා තුමාගේ දස දින විපස්සනා වැඩසටහනකට සහභාගි වන අතර තුර, එකම ඉරියව්වෙන් බොහෝ වෙලා ඉඳගෙන සිටින විට දැනෙන වේදනාව ගැටීමෙන් තොරව සංජානනය කිරීමෙන් ලැබෙන සැනසිල්ල අත් දුටුවා. පසුව මෙය සතිමත් බවින් වේදනා කළමනාකරණය කිරීමේ ක්‍රමයක් ලෙස හඳුන්වා දුන්නා. අද එය පිළිගත් ප්‍රතිකාර ක්‍රමයක්. අපට මග හැරුණ නමුත්, ලොවට මඟ නොහැරුණ දහමේ සාන්දිට්ඨික ගුණය එයයි.

රෝගී බවට පත් වූ විට අප කලකිරෙන්නේ, දුකට පත්වන්නේ එය අපගේ සිතැඟිවලට විරුද්ධ ව සිදුවන දෙයක් නිසයි. එම අවස්ථාවේ අපට මතක් වන්නේ නැහැ දම්සක් සුතුරේ එන ජරාපි දුක්ඛං ව්‍යාදිපි දුක්ඛං. කියන බුදු වදන. සමහර විට ලෙඩක් හැදුනම අපට තරමක ලජ්ජාවක් ඇති වෙනවා ඒ ගැන. සමහර විට එම නිසා ම එය සඟවනවා.

තවත් විටෙක වෙන්න බැහැ කියා ප්‍රතිකාර පවා නොගෙන ඉන්නවා. මේ ආරොග්‍ය මදය නිසයි.

මෙලෙස වියපත්වීම, රෝගී වීම සසරේ තිබෙන ස්වභාවය යි. සසර කියූ විට බොහෝ විට සිතට නැඟෙන්නේ මරණය සහ යළි ඉපදීම කියන අදහසයි. නමුත් අප නිතර මතක් කර ගත යුත්තේ මේ මොහොතේත් අප සිටින්නේ සසරේ තමයි කියන කරුණයි.

මම මෙම සුළු උදාහරණ දෙක ඉදිරිපත් කළේ අපගේ ජීවිතය තුළින් දහම අවබෝධ කර ගන්නට උත්සාහ කරන්න පුළුවන් විදිය ගැන සාකච්ඡා කරන්නයි. දහම තිබෙන්නේත් සසර තිබෙන්නේත් මේ මොහොතේ බවත්. දහම ජීවිතයට බද්ධ කර ගන්නේ කෙසේ ද යන්නත්, ඉන් සැනසිල්ල ලබා ගන්නේ කෙසේද කියාත් යම් අදහසක් ඉදිරිපත් කරන්නටයි.