Print this Article


නොදන්නා ගමනකට පෙර සූදානම

නොදන්නා ගමනකට පෙර සූදානම

පණ්ඩුපලාසොවදානිසි
යමපුරිසාපි ච තං උපට්ඨිතා
උය්‍යොගමුඛෙ ච තිට්ඨසි
පාථෙය්‍යම්පි ච තෙ න විජ්ජති

සමාජය පිළිබඳ ගැඹුරු විවරණයක් ඉහත සඳහන් ගාථාවෙන් ඉදිරිපත් කරයි. ගසක හෝ වැලක හෝ දලුව බෙහෙවින් සියුමැලි ය. එසේම දැකුම්කළු ය. එය මෝරා ගොස් අවසානයෙහි කහ පාට වී නටුවෙන් ගිලිහී බිමට වැටෙයි. සෑම කෙනෙකුගේ ම ජීවිත ද එවැනි ය. ඉතා සියුමැලි බොළඳ විය ඉක්මවා වැඩී තරුණ බවට පත් වන සැම දෙනා දුර්වර්ණ කොළයක් නටුවෙන් ගැලවී යන්නාක් මෙන් විරූප ව ගොස් අවසානයේ විනාශයට පත් වෙයි.

සෑම දෙනකුගේ ම ශරීර පිළිබඳ දක්නට ලැබෙන පොදු ලක්ෂණය ගැන එතරම් කල්පනා නො කරන සමහර අය කා බී තාවකාලික සතුටක් ලබමින් සිටීමට කැමති වෙති. කෙනෙකුගේ ජීවිත දුබල වන්නේ හෙවත් දෙ අත්, දෙපා, ඇස්, කන් ආදිය ආක්‍රියකාරී තත්ත්වයට පත් වන්නේ වයස්ගත වූ විට යැයි සමහරු සිතා සිටිති.

රට්ඨපාල සූත්‍රයෙහි සඳහන් වන අන්දමට උපන්දා සිට ම කැඩෙන, බිඳෙන විවිධ ලක්ෂණයන්ගෙන් යුක්තව ජරාවෙන් වෙළෙමින් මරණය කරා සැම දෙන ගමන් කරති. ශක්තිය හා වර්ණය පහව ගොස් කොළයක් දුර්වර්ණ වන්නාක් මෙන් අපේ ජීවිත ද ජරාව මඟින් පෙළීම නිසා දුබල හා අප්‍රසන්න භාවයට පත් වන බව ප්‍රකට කරුණකි.

ජීවත්වීමේ දී මුහුණ පාන්නට සිදුවන දෙවන ලක්ෂණය වශයෙන් ගාථාව පෙන්වා දී ඇත්තේ යම දූතයන්ගේ පැමිණීම යි. රූපයෙන් මත් වන බොහෝ අයට ශරීරයට අත්වන පිළිකුල් සහගත ස්වභාවය අමතක වෙයි. මුතු ඇට මෙන් දිලිසෙමින් තිබූ දත් කල්යත්ම විවර ව සෙලවී ගැලවී යයි. ලස්සන කේශ කලාපය සුදු වී, හැලීයාම නිසා විරූප වෙයි. ඔප මට්ටම් ව ලස්සනට වැඩී තිබූ ශරීරය වළ ගොඩැලි ගහන ව වියැළුණු, රැළි වැටුන තත්ත්වයට පත් වේ. යම දූතයන් වශයෙන් සලකන මේ ලක්ෂණයන් පෙන්නුම් කරනුයේ මාරයා ළං ව සිටින බවයි.

උය්‍යොගමුඛ නමින් ගාථාවෙහි සඳහන් වන්නේ පිරිහෙන ලක්ෂණයන් ය. ජීවිතයක් කලක් ගත වන විට ඇසෙහි පෙනීම අඩුවේ. කනෙහි ඇසීමත්, දිවෙහි රසයත් ආදී වශයෙන් පසිඳුරන්ගේ පැවති ශක්තිය අනුක්‍රමයෙන් අඩු වෙයි. ජීවත් විය යුතු ආයු ප්‍රමාණයන් ද අනුක්‍රමයෙන් ගෙවී යයි. මේ ස්වභාවය කිසිවෙකුට හෝ නතර කළ නොහැකි තත්ත්වයකි.

ඕනෑම කෙනෙකු තුළ දක්නට ලැබෙන ඉහත සඳහන් ලක්ෂණයන්ගෙන් මිදීමට කිසිවකුට හෝ නොහැකි ය. මේ පිළිබඳ බුද්ධිමත් ව කල්තබා කල්පනා නො කිරීම නිසා මරණාසන්න අවස්ථාව ළං වන විට බොහෝ අය තැවෙති. දුකට පත්වෙති. සැන්දෑවට ආපසු පැමිණීමට සිතා තම ගෙයින් නික්ම යන සමහර අය දවාලට අවශ්‍ය කෑම ටික රැගෙන යාමට පුරුදු වී සිටිති. දුර බැහැර වන්දනා හෝ විමෝද ගමනක් යන විට කෑම, බීම පමණක් නොව ඇඳුම්, පැළඳුම් ආදී බොහෝ දේ රැගෙන යාමට පුරුදු වී සිටිති. පාථෙය්‍ය නමින් දැක්වෙන්නේ අතරමග ඳී ප්‍රයෝජනය සඳහා මේ අන්දමට ගෙන යන දේ ය. ඒ සියලු ගමන්වලට වඩා අපට දෙනෙත් පියා ගත් දිනට ආපසු නොඑන දුර ගමනක යෙදීමට සිදුවෙයි. එදිනට අප ගෙන යන්නේ කවර දෙය දැ යි දිනපතා ම සිතමින් කල් යැවීම අපේ වගකීමයි.

ඉහත සඳහන් ගාථාව බුදුරදුන් දේශනා කරන ලද්දේ අගනා ස්වර්ණාභරණ සෑදීමට දක්ෂ කාර්මිකයකු පිළිබඳ සිදුවීමක් නිමිති කර ගෙන ය. ඔහු නිරන්තරයෙන් ම වටිනා ආභරණ සාදමින් කල් ගත කොට වයස්ගත විය. ඔහුගේ දරුවෝ මෙසේ කල්පනා කරන්නට වූහ.

“අපේ පියා ධනය සම්පාදනය කිරීම සඳහා මුළු කාලය ම කල්ගත කරමින් සිට දැන් වයසට පත්ව සිටී. පරලොව ගමනට අවශ්‍ය කිසිදු මාර්ගෝපකරණයක් රැස් කොට නොගත්තේ ය.” මෙසේ සලකා බුදු පාමොක් මහා සංඝරත්නය උදෙසා මහ දනක් පිරිනැමීමට ඔවුහු පියවර ගත්හ. එහිදී බුදුරදුන් හමුවෙහි කරුණු දැක්වූ දරු පිරිස කිසිදු පිනක් නො කළ අපගේ පියතුමාණන්ට මේ දානයේ පින් අනුමෝදන් කරවීමෙන් සැපත ලබා දීමට පියවර ගන්නා මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටියහ.

වර්තමාන සමාජයේ වසන බොහෝ අයගේ ජීවිත ද ඉහත සඳහන් රන් කරුවාගේ පැවැත්ම හා සමාන ය. මෙලොව හා පරලොව යන දෙපැත්තම බැලිය හැකි ප්‍රඥා නමැති ඇස් බොහෝ දෙනකුට නොමැත. තම පවුලේ කෙනකු කරන කුසල්වලින් සුගතගාමී වීමට සමහරු බලා සිටිති. තවත් අය තමන්ගේ සහ දරු මුණුබුරන්ගේ කටයුතු නිම කොට දන් දීමටත්, සිල් රැකීමටත් සිතා සිටිති. එසේ ආදරයෙන් ඔවුන් සෑදූ කල්හි මරණින් මතු ඒ අය දෙන කුසල්වලින් සැප ලැබිය හැකි යැයි තවත් අය සිතා ක්‍රියා කරති.

ප්‍රඥාවෙන් තොරව බැස ගන්නා මෙවැනි නිගමනවලින් සිදු වන්නේ තමන්ට කිසිදු පිහිටක් නැති දිගුකලක් තැවෙන දුක්ඛිත තත්ත්වයට පත්වීමයි. මේ නිසා අත්තාහි අත්තනො නාථො යන බුදුරදුන්ගේ උපදේශය අනුව සිතමින් තමන්ගේ පිහිට සලසා ගැනීමට අවශ්‍ය පුණ්‍ය නමැති මාර්ගෝපකරණ රැස් කර ගැනීම සෑම දෙනා ම සතු වගකීමයි.