Print this Article


මසැසින් දකින ලොව නුවණින් විමසමු

මසැසින් දකින ලොව නුවණින් විමසමු

යම් කෙනෙක් මෙලොව වශයෙන් දියුණුවක් සලසා ගන්නවා නම්, ඒ සඳහා ක්‍රියා කරනවා නම්, පරලොවක් තිබෙන බව විශ්වාස කරමින්, පරලොව ජීවිතය සැපවත් කර ගැනීම සඳහා පරලොව ජීවිතයට අවශ්‍ය වන්නා වූ කරුණුත් හොඳින් පිළිපදිමින් කටයුතු කරනවා නම් ඒ පින්වතා පණ්ඩිතයෙකි. උගතෙකි.

මෙලොව දියුණුවත්, පරලොව දියුණුවත් දෙකම කල්පනාකාරීව දියුණු කර ගන්න කටයුතු කරනවා නම්, හේ පණ්ඩිතයෙකි. එවැනි පුද්ගලයා “ද්විචක්ඛු” යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක.

එමෙන් ම මෙලොව දියුණුව ගැනත්, පරලොව දියුණුව ගැනත් නො දකින පුද්ගලයා අන්ධයකු ලෙසයි උන් වහන්සේ දේශනාකොට වදාළේ. එවැනි පුද්ගලයාගේ මෙලොව දියුණුව සලසන නුවණැසත් වැහිලා. පරලොව දියුණුව සලසන නුවණැසත් වැහිලා.

“ඒක චක්ඛු” නම් පුද්ගලයෙක් සිටිනවා. එනම් එක ඇසක් පමණක් තිබෙන පුද්ගලයෙක්. ඔහු මෙලොව වශයෙන් හොඳ හැටි යමක් කමක් හරි හම්බ කරගෙන හොඳට කාලා බීලා, ඇඳ පැළඳ විනෝදයෙන්, සෙල්ලමෙන් කාලය ගත කරනවා. පරලොව ජීවිතයක් ගැන කිසියම් වූ ද තැකීමක් නැහැ. ඒ නිසයි ඔහු “ඒකචක්ඛු” ලෙස හඳුන්වන්නේ.

මෙලොව වශයෙන් දියුණුව සලසා ගන්නා ක්‍රම මොනවාද යන්න වටහා ගැනීමට උත්සාහ කරමු. බුදුරජාණන් වහන්සේ මෙලොව දියුණුව සලසා ගන්නට අනුගමනය කළ යුතු කාරණා හැටියට දේශනා කොට වදාළේ, උට්ඨාන සම්පදා, ආරක්ඛ සම්පදා, කල්‍යාණ මිත්‍රතා සහ සමජීවිකතා යන්නයි. අලස ව, කම්මැලිකමෙන් යම් පුද්ගලයෙක් වාසය කරනවා නම් ඒ පුද්ගලයාට කවදාවත් මෙලොව වශයෙන් දියුණුවක් සලසා ගන්න නොහැකියි.

තමන්ගේ දියුණුව තමන් ම සලසාගත යුතුයි. යන්න අමුතුවෙන් කිව යුතු නැහැ. කුඩා අවදියේ සිට හොඳ මව්පියන්ගේ අවවාද අනුශාසනා ලබමින්, අලසකමින් තොරව කටයුතු කළ යුතු යි. ඒ වගේ ම ඉගෙන ගන්නා කාලයේ දී ත් ඒ ඉගෙනීම් කටයුතු ඉතා හොඳින් ආදරයෙන් පවත්වා ගෙන යන්නට අවශ්‍යයි.

අපට කාලය බොහොම වටිනවා. කාලය තරම් වටිනා තවත් දෙයක් නැති තරම්. ඒ නිසා ඉගෙන ගන්නා කාලයට තම තමන්ගේ මවගේත් පියාගේත් සිත් සන්තෝෂ වන ආකාරයටත්, ගුරුවරුන්ගේ සිත්වලට සතුට ගෙන දෙන ආකාරයටත් මහන්සි වී ඒ කටයුතුවල යෙදෙන්නට අවශ්‍යයයි.

ධනය සම්පාදනය කරන ගිහියකුට සැප හතරක් තිබෙනවා. ඒ අත්ථි සුඛ, භෝග සුඛ, අණන සුඛ හා අනවජ්ජ සුඛ යනුවෙනි. තමන්ට යමක්, කමක් තිබෙනවා ය කියා තමන් ගැන සිතා තමන්ගේ පොහොසත්කම ගැන සිතා ඒ පොහොසත්කම ඇති කර ගැනීමට උත්සාහවත් වෙනවා. ඒ වෙනුවෙන් රැකී රක්ෂාවල යෙදෙනවා. එසේත් නැතිනම් තම තමන්ගේ ස්ව කැමැත්තෙන් යම් යම් ව්‍යාපාර ආදිය පවත්වා ගෙන යනවා. එසේ කටයුතු කරන විට උත්සාහය අවශ්‍යයි. කම්මැලිකමට අත්දෙක බැඳගෙන කාලා බීලා නිදා ගැනීම නොකළ යුතුයි. දහඩිය වගුරුවමින් දෑත් වෙහෙසවා කටයුතු කළ යුතුයි. එතැන දී ධාර්මික විය යුතුයි. ධර්මයේ සඳහන් වන ආකාරයට උත්සාහයෙන් යමක් සපයාගත යුතුයි. ඒ උට්ඨාන සම්පදාවයි. එවිට මට පොහොසත්කමක් තිබෙනවා ය කියා සැනසෙන්නට පුළුවනි.

භෝග සුඛය නම් තමන් සතුව තිබෙන වස්තුව එම වස්තුව තමන් හොඳින් පරිහරණය කළා, නාස්ති නොකළා යන සැනසීමයි.

අණන සුඛය නම් පුද්ගලයෙක් තමන්ගේ ආදායම් ප්‍රමාණය හරි හැටි තේරුම් ගත යුතුයි. එසේ තේරුම් නොගන්නා පුද්ගලය ණය වෙනවා. පසුව ඒ ණය මුදල ගෙවා ගන්නට බැරිව දුක් වෙනවා. කනගාටු වෙනවා. ලත වෙනවා. තමන්ට ලැබෙන ආදායම් ප්‍රමාණය දැන ගෙන ජීවත්වීමේ දී කටයුතු කළ යුතුයි.

එසේ ලැබෙන ආදායම මනා ලෙස පරිහරණය කරමින් වැඩ කටයුතු කරන පුද්ගලයා සැනසිල්ලේ ජීවත්වනවා. ඒ වගේම බොහොම සරල ව ලැබෙන ආදායම් ප්‍රමාණය අනුව ජිවත් වෙනවා.

අනවජ්ජ සුඛය නම් එනම් නිවැරැදි ව, ධාර්මික ව කටයුතු කිරීමයි. උදාහරණයක් ලෙස වෙළඳාම් කිරීමේ දී කිරුම් මැනුම් හි දී අඩුවෙන් සිදුකොට, සොරකම, වංචාව සිදු නොකිරීමයි. ඒ වගේ ම හොර මුදල් පාවිච්චි නොකර නිවැරැදිව කටයුතු කිරීමයි. අනවජ්ජ සුඛය තරම් යහපත් වූ සතුටක් ඇත්තේ නැත. නිවැරැදිව ජීවත්වන පුද්ගලයාට මම කොතරම් හොඳින් ජීවත්වනවා ද? යැයි සිතා සතුටු විය හැකියි.

මත්පැන්, දුරාචාරය, සූදුව වැනි වැරැදි ක්‍රියාවන්ට තමන්ගේ ධනය වියදම් නො කළ යුතු යි. එවන් ක්‍රියාවන්ට ධනය වියදම් කරන්නේ නම් තමන්ගේ ධනය විනාශ වෙනවා පමණක් නොවෙයි. අපාගත වීමටයි සිදුවන්නේ. ඒ කරුණු තේරුම් ගන්නා පුද්ගලයා නිවැරැදි ව ක්‍රියා කළ යුතුයි.

මත්පැන්, දුරාචාරය, සූදුව වැනි වැරැදි ක්‍රියාවන්ට තමන්ගේ ධනය වියදම් නොකළ යුතු යි. එවන් ක්‍රියාවන්ට ධනය වියදම් කරන්නේ නම් තමන්ගේ ධනය විනාශ වෙනවා පමණක් නොවෙයි. අපාගත වීමටත් සිදු වනවා. ධාර්මික හොඳ ජීවිත ගත කරමින් අනවජ්ජ සුඛය උදාකර ගතයුතුයි.

දිනක් බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට දේශනා කොට වදාළේ, “ආනන්ද කල්‍යාණ මිත්‍ර වූ මා කරා පැමිණියා වූ යම් පුද්ගලයෙක් වේ ද ජාතිය ස්වභාවය කොට ඇත්තේ, ජාතියෙන් මිදුණා ය. ව්‍යාධිය ස්වභාව කොට ඇත්තේ ව්‍යාධියෙන් මිදුණා ය. උත්පත්තිය ඇති වූ විට සියලු ම දුක් ඇති වන්නේ ය. ඉපදීම නැති වන්නේ නිර්වාණ ධාතුව ප්‍රත්‍යක්ෂ වීමෙන් ය. ඒ නිසා කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය භාග්‍යයක් වන්නේ ය.

මේ සමාජයේ බොහෝ දෙනෙක් පරලොව ගැන විශ්වාස කරන්නේ නැති බවක් ද දක්නට ලැබේ. එසේ විශ්වාස නො කිරීමෙන් සිදු වන්නේ තමන්ට තමන්ගේ ම විනාශය ළඟා කර ගැනීමකි. එසේ නැතිනම් තමන්ට තමන් හිතවත් බවක් නැති කමයි. තමන්ට තමන් හිතවන්ත විය යුතුයි. තථාගතයන් වහන්සේ ද දේශනා කොට වදාළේ තමන්ට තමන් පිහිට වන ලෙසයි. ශ්‍රද්ධා සම්පදා, සීල සම්පදා, චාග සම්පදා, පඤ්ඤා සම්පදා යනුවෙන් පරලොව දියුණුවට හේතුවන කාරණා හතරක් ව්‍යග්ඝ පජ්ජ සූත්‍රයේ දී සඳහන් වෙනවා.

ශ්‍රද්ධා සම්පදා සම්බුද්ධ ශාසනය කෙරෙහි ඇති කර ගන්නා වූ ප්‍රසාදයයි. පැහැදීමයි. ශ්‍රද්ධාවයි. පළමුකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි, බුදුගුණ පිළිබඳ ශ්‍රද්ධාව උපදවා ගන්නට ඕනෑ. අඩුම තරමේ නව අරහාදී බුදුගුණ හෝ තේරුම් ගෙන එහි පැහැදිය යුතුයි. මට නිවන් මඟ පිණිස අනුශාසනා කරන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අරහං ගුණයෙන් සමන්තාගතයි. ආදී ලෙස පැහැදිය යුතුයි.

යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමක් ඇති කර ගන්නා විට ධර්ම රත්නය කෙරෙහිත් පැහැදීම ඇතිවෙනවා. ඒ ඔස්සේ ධර්මය මෙනෙහි කරන විට, සංඝරත්නය කෙරෙහි පැහැදීම ශ්‍රද්ධාව ඇතිවෙනවා.

සංඝරත්නය නම් බුදුරජාණන් වහන්සේ ශාස්තෘත්වයේ තබා පිළිගෙන උන්වහන්සේ දේශනා කොට වදාළ වූ යම්තාක් ප්‍රතිපත්ති ක්‍රම ඇත්නම් ඒ ප්‍රතිපත්ති සම්පූර්ණ කර ධ්‍යාන ආදිය ලබා, ඒවා පදනම් කරගෙන සෝවාන්, සකෘදගාමී, අනාගාමී, අරහත් යන සතර මඟ, සතර ඵල නිර්වාණ ධාතුව අවබෝධ කර ගන්නා වූ පුද්ගලයා ආර්ය සංඝයා වහන්සේයි. මේ ආකාරයෙන් තුණුරුවන් කෙරෙහි ප්‍රසන්නතාව තමන්ගේ සිතේ ඇති කර ගැනීම ශ්‍රද්ධාවයි.

සැකයකින් තොරව විමසා බලා ශ්‍රද්ධාව ඇති කර ගන්නා ආකාරය ගැන සම්බුද්ධ දේශනය තුළ පැහැදිලි කරනවා. යම් කෙනෙක් කියූ පමණින්, දේශනා කළ පමණින්, කිසිවක් කෙරෙහි විශ්වාස නොකළ යුතුයි. ඥානවන්ත ව විමසා ධර්මය කෙරෙහි ශ්‍රද්ධාව ඇති කර ගන්නා ලෙසයි. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. යම් සැකයක් හෝ විමතියක් හෝ ඇත්නම් ඒවා කෙරෙහි විමසා බලා සැකයෙන්, විමතියෙන් තොරව ශ්‍රද්ධාව ඇති කර ගත් පුද්ගලයා ශාසනයට කිට්ටුව ශාසනික ප්‍රතිපත්ති ගුණදහම් හොඳින් පුරන්නෙකි.

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ යම් ගිහියෙක් පංච සීලයෙන් සිල්වත් වනවා නම් ඒ පුද්ගලයා සීලවන්තයෙක් යනුවෙනුයි. ඔහු සමාජයට ආදරය කරන පුද්ගලයෙක් වනවා. ඔහු වෙතින් සමාජයට වරදක් වන්නේ ද නැහැ.

චාග සම්පදා - පරලොව දියුණුවට හේතුවන තුන්වන කාරණය යි. එනම් පරිත්‍යාගයයි. යමෙක් තමන්ගේ ධනයෙන් හොඳ සිතින් යමක් පරිත්‍යාග කරන්නේ නම් ඒ ධනයෙන් තමන් ප්‍රයෝජනයක් ගත්තා වෙනවා. එයත් පැහැදුණු සිතින් ශ්‍රද්ධාවෙන් කළ යුතුයි.

යම් කෙනෙක් බුදු, පසේ බුදු, මහරහත්, මහා සංඝරත්නයට තමන්ගේ මවුපියන්ට, ගුරුවරුන්ට, ගුණවතුන්ට, සිල්වතුන්ට දීම පූජා අදහසින් දීමක් වෙනවා. මේ පිදිය යුත්තන් යැයි කියා අවබෝධයෙන් බොහොම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් පිදිය යුතුයි. පරිත්‍යාග කළ යුතුයි.

ඒ වගේ ම දුගීමගී යාචකාදීනට මෙන් ම තිරිසන් සත්වයන්ට යමක් දෙන්නේ නම් ඒ අනුකම්පා අදහසින් ගෞරවයෙන් පිදිය යුතුයි.

පඤ්ඤාසම්පදා - පඤ්ඤා සම්පදාව නම් ඥානවන්තකමයි. මේ ශාසනයේ ඉතාම උතුම් ධර්මයයි. යමෙක් ධනයෙන් පිරිසෙන්, මිල මුදලෙන් දියුණු වෙනවා. නමුත් යමෙක් ප්‍රඥාවෙන්, නුවණින් දියුණුවීම තමයි දියුණුවීම අතරින් අග්‍ර වන්නේ. බුදු දහමේ ඉහළින් ම උගන්වන්නේ ප්‍රඥාවෙන් දියුණු වීමයි. ඒ දියුණුව ඔස්සේ සෝවාන් මාර්ග ඥානය, සකෘදාගාමී මාර්ග ඥානය, ආනාගාමී මාර්ග ඥානය, රහත් මාර්ග ඥානය මෙන්න මේ ප්‍රඥාව දියුණු කර ගත යුත්තේ ය.

මෙලොව දියුණුවත්, පරලොව දියුණුවත් යන දෙලොව දියුණුව ම යමෙක් සලසා ගන්නේ නම් ඒ පුද්ගලයා පණ්ඩිතයෙකි. නුවණ ඇත්තෙකි.