Print this Article


දරමිටිපොල සඟ පරපුරට උරුම කියන කබල්ලෑලෙන පුරාණ රාජමහා විහාරය

දරමිටිපොල සඟ පරපුරට උරුම කියන කබල්ලෑලෙන පුරාණ රාජමහා විහාරය

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පිහිටා තිබෙන කබල්ලෑලෙන රාජමහා විහාරය දේවානම්පියතිස්ස රජ සමයට අයත් වන බවට ජනප්‍රවාදයේ ප්‍රකාශ වේ. සත් කෝරළේ, හිරියාල හත්පත්තුවේ දිවිගන්දාහේ කෝරළයට හිමිකම් කියන්නේ පැරණි බෙදීම් ක්‍රමයට අනුව ය.


පොතුවිල ධර්ම කීර්ති ශ්‍රී සිද්ධාර්ථ විමලඤාණ හිමි

මෙම විහාරස්ථානය තුළ පිහිටා ඇති විහාර ලෙන 1965.02.05 දිනැති අංක 14472 දරන ගැසට් පත්‍රයට අනුව පුරාවිද්‍යා ආඥා පනත යටතේ ප්‍රකාශයට පත්කොට තිබේ.

වර්තමානයේ විහාරය ලෙස භාවිත වන ලෙනෙහි විහාරගෙය, ශාලාව හා දේවාලය යන විහාර අංග දක්නට ලැබෙයි. ලෙන් විහාරයේ ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේ අතර සැතපෙන පිළිමයක්, හිඳි පිළිමයක් හා හිටි පිළිම 4ක් දක්නට ලැබේ. මෙම ප්‍රතිමා මහනුවර සම්ප්‍රදායට අයත් ලක්ෂණ පෙන්වන බවට සඳහන් වන අතර 1960 දශකයේ පමණ සිදුවූ බිත්ති බිඳවැටීම් නිසා තවත් බුද්ධ ප්‍රතිමා වහන්සේ තුනක් පමණ විනාශ වී ගොස් ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එය ප්‍රතිසංස්කරණය කොට ඇති බව පුරාවිද්‍යා කොමසාරිස්ගේ පාලන වාර්තාව (1968 - 69 .පී. 25) සඳහන් වේ. විෂ්ණු දේව ප්‍රතිමාවක් හා නාථදේව ප්‍රතිමාවක්ද මෙහි දැකිය හැකි වේ. (මේධානන්ද . 1999) විහාරයේ බිත්තිවල හා ලෙන් පියස්සේ බිතු සිතුවම් දක්නට ලැබෙන අතර ලෙන් පියස්සේ මාර පරාජය, බුද්ධත්වය, සූවිසි විවරණ හා සත් සතිය බුදු පිළිම වහන්සේ 29ක චිත්‍ර හඳුනාගත හැකිය. මහනුවර සම්ප්‍රදායට අයත් වන බවට සඳහන් වන මෙම චිත්‍ර බොහෝ සේ හානියට ලක්වී ඇති බවක් ප්‍රකාශ වේ. ලෙනෙහි ඉදිරිපස බිත්තියේ ඇතුළු පැත්තේ දැකිය හැකි චිත්‍රවල වෙස්සන්තර ජාතකය, හා බුද්ධ පරිනිර්වාණය හඳුනාගත හැකි වේ.

එම චිත්‍ර 1898 දී පමණ නිර්මාණය කර ඇති බව එහි ඇති සඳහනක් මඟින් පෙනේ. විහාරයේ පිට බිත්තියේ ඇති අපායේ දර්ශන ද ඉහත සඳහන් කළ සිතුවම් සම්ප්‍රදායට සමාන ය. මේ සමඟ දේව රූප, නාග රූප හා සිංහ රූප දෙක බැගින් නෙළා ඇති අතර විහාරයේ ඇති බිතු සිතුවම් හා පිළිම සංරක්ෂණ කටයුතු ද 1970 දශකයේ දී සිදු කර ඇත.

විහාර භූමියේ පිහිටි පර්වතයෙහි කටාරම් කොටන ලද ලෙන් දොළහකට වැඩි ප්‍රමාණයක් දක්නට ලැබුණත් ඒ පිළිබඳ පුරාවිද්‍යාත්මක ගවේෂණයක් සිදුකර නොමැත. මෙම ලෙන් තුළින් සොයාගත් සෙල්ලිපි 5ක් පිළිබඳ පරණවිතාන (Paranavitana, 1930, P124 - 5 Paranavithana, 1970,P76)  හා මේධානන්ද හිමි (මේධානන්ද 1999) පවසති. මෙම ලිපි ලියවී ඇත්තේ ක්‍රි.පූ. 3 සියවස හා ක්‍රි.ව. 1 සියවස අතර කාලයට අයත් බ්‍රාහ්මීය අක්ෂරවලිනි. මේ සියල්ල ලෙන් පරිත්‍යාග කිරීම පිළිබඳ ලියැවුණු ඒවා වන අතර රේවති නම් ශ්‍රමණියගේ ලෙන පිළිබඳ ලිපිය වැදගත් වන්නේ මෙහෙණින් පිළිබඳ සඳහන් ලිපි විරල වන නිසාය.

කබල්ලෑලෙන පුරාණ රාජමහා විහාරස්ථානයේ ඇති ස්තූපය පුරාවිද්‍යාත්මක වශයෙන් වටිනා ස්මාරකයක් වන අතර නටබුන් ව පැවති එම ස්තූපය 1972 වර්ෂයේ දී කැණීම් කටයුතු ආරම්භ කර 1973 වර්ෂයේ දී එහි සංරක්ෂණ කටයුතු ද අවසන් කළ බව පුරාවිද්‍යා වාර්තා සඳහන් කරයි.

සංරක්ෂණ කරන ලද ස්තූපයේ වට ප්‍රමාණය මීටර් 47.1ක් වන අතර, උස මීටර් 7.5ක් පමණ වේ. වර්තමානය තුළ සිදු කළ දෙවන ඉදිකිරීමේ දී පේසා වළලු තුනක් බොරදම් ගඩොල් මඟින් මතුකර ඇති ආකාරයක් දැකිය හැකි වේ.

ඓතිහාසික පෙතියාගල පුරාණ රාජමහා විහාරය දාගම කබල්ලෑලෙන පුරාණ රාජමහා විහාරය ඇතුළු තදනුබද්ධිත විහාරයන්හි විහාරාධිපති මල්වතු මහා විහාරයේ විශේෂ කර්මාචාර්ය ශ්‍රී සුමංගල මූලික පිරිවෙනේ කෘත්‍යාධිකාරි පොතුවිල ධර්ම කීර්ති ශ්‍රී සිද්ධාර්ථ විමලඤාණ හිමියෝ වර්තමානයේ විහාරාධිපති වශයෙන් කටයුතු කරනු ලබති. තවදුරටත් සඳහන් කරනවා නම් මෙම කබල්ලෑලෙන රාජමහා විහාරය සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයට අයත් දරමිටිපොල සඟ පරපුරට උරුමකම් කියන අති පෞරාණික රාජමහා විහාරස්ථානයකි.

කබල්ලෑලෙන රාජමහා විහාරයේ ලිපි ලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.