Print this Article


මල්වතු මහා විහාරයේ 78 වැනි ශ්‍රී සංඝරාජ ගුණානුස්මරණ පෙරහර

මල්වතු මහා විහාරයේ 78 වැනි ශ්‍රී සංඝරාජ ගුණානුස්මරණ පෙරහර

අද්‍යතන ධර්මශාස්ත්‍රෝද්දීපනයෙහි ආදිකර්තෘභූත වැලිවිට පිණ්ඩපාතික අසරණසරණ සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේගේ මහරු මෙහෙවරට කෘතෝපහාර වශයෙන් අපවත් වී වදාළ අග්ගමහාපණ්ඩිත අලුත්ගම ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් ඇරඹි මල්වතු මහාවිහාරයේ ශ්‍රී සංඝරාජ ගුණානුස්මරණ පෙරහර 78 වැනි වරටත් මෙම ඇසළ පුර පසළොස්වක පොහෝ දින අපරභාගයේ දී වීදි සංචාරය කිරීමට නියමිත ය.

සියවස් ගණනාවක කාලයක් පුරා යුරෝපීය ආක්‍රමණ සහ සිංහල රාජ්‍යයේ අස්ථාවරත්වය හේතුවෙන් රටේ සෑම අංශයක් ම පරිහානියට පත්ව පැවති අවධියේ එම සෑම අංශයක් ම නඟාසිටුවීම පිණිස පුරෝගාමී මෙහවරක් සිදු කරන ලද්දේ වැලිවිට සරණංකර සංඝරාජයන් වහන්සේ විසිනි.

රටේ දේශපාලන අස්ථාවරත්වය හා විදේශීය ආක්‍රමණ හේතුවෙන් උපසම්පදා භික්ෂූන් වහන්සේ නොමැති වූ අවස්ථාවෙහි රජවරුන් තිදෙනෙකුගේ යුගවල දී මහත් වෙහෙසක් දරමින් අවසානයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස සියමේ ධාර්මික රජුගේ අනුග්‍රහයෙන් උපාලි හිමියන් ප්‍රධාන සියම් ජාතික හිමිවරුන් වැඩමවා වර්ෂ 1753 ඇසළ පුර පසළොස්වක පොහෝ දින මහනුවර මල්වතු මහාවිහාරයේ දී උපසම්පදා විනය කර්ම පවත්වා යළිත් උපසම්පදාව ලක්දිව පිහිටුවීමට පුරෝගාමී වීම වැලිවිට සරණංකර හිමියන්ගේ මහාර්ඝ මෙහෙවර යි.

සිල්වත් සමාගම ආරම්භ කොට සුපේෂල ශික්ෂාකාමී යති පරපුරක් බිහි කිරීම, භික්ෂූන් වහන්සේ සඳහා නියමකන්දේ විද්‍යාස්ථානය ආරම්භ කිරීම, ස්වකීය ශිෂ්‍ය පුත්‍රාදීන් යොදවා රටේ සතර දිග්භාගයේ වෙහෙර විහාර ඉදිකොට සහ පිළිසකර කොට ශාසනාලෝකය හා ශාස්ත්‍රාලෝකය දල්වාලීම, සාරාර්ථ සංග්‍රහය, මුනිගුණාලංකාරය, විසුද්ධිමාර්ග සන්නය වැනි දහම් ග්‍රන්ථ රචනා කිරීම වැනි සේවා රාශියක නිරත වූ වැලිවිට සරණංකර හිමියන් වෙත කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා සංඝරාජ පදවිය පුද දෙන ලදී.

1698 වර්ෂයේ ජූනි මස 18 වැනි දින තුම්පනේ වැලිවිට වත්තේවලව්වේ දී උපත ලබා සොළොස් හැවිරිදි වියේ දී සූරියගොඩ නරේන්ද්‍රාරාමයේ දී පැවිදි බිමට පත් වැලිවිට සරණංකර සංඝරාජයන් වහන්සේ වර්ෂ 1778 ඇසළ පුරපසළොස්වක පොහෝ දින අපවත් වී වදාළ සේක.

මෙම මහරු මෙහෙවර සිහිපත් කරනු පිණිස මල්වතු මහා විහාර පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝසභික, උපාධ්‍යාය ධුරන්ධර අපවත් වී වදාළ අග්ගමහාපණ්ඩිත අලුත්ගම ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි 1946 වර්ෂයේ දී සංඝරාජ හිමියන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කොට ඇති දලුක්ගොල්ල රාජමහා විහාරස්ථානයේ සිට මල්වතු විහාරය තෙක් පළමු සංඝරාජ පෙරහර පැවැත්වීය.

වැලිවිට සරණංකර සංඝරාජ
නාහිමි
අලුත්ගම ධම්මානන්ද
නාහිමි
අඹතලාවේ සරණංකර
නාහිමි

මුල් කාලයේ රාත්‍රී කාලයේ පැවැත්වූ පෙරහර 1970 දශකයේ සිට දිවා කාලයේ පැවැත්වීම ආරම්භ කොට තිබේ. මල්වතු විහාරයේ මංගල උපෝසථාගාරය අසලින් ආරම්භ වන පෙරහර වීදි සංචාරය කොට මල්වතු විහාරයෙන් ම අවසන් වීම සිදු කෙරෙයි.

ආරම්භයේ පටන් 2018 වර්ෂය දක්වා අලුත්ගම ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ද, ඉනික්බිති දෙවසරක් තත්ශිෂ්‍ය කැටයාපතනේ පියදස්සි නාහිමිපාණන් වහන්සේගේ ද අනුශාසකත්වයෙන් පවත්වන ලද ශ්‍රී සංඝරාජ ගුණානුස්මරණ පෙරහර 2021 වර්ෂයේ සිට එම නාහිමිපාණන් වහන්සේ දෙනමගේ ම ශිෂ්‍ය වූ මල්වතු විහාරවාසී, දිගන ප්‍රියදර්ශනාරාමය, පල්ලේකොටුව සදහම් වෙහෙර යන උභය විහාරාධිපති, කර්මාචාර්ය අඹතලාවේ සරණංකර නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි සිදු කරනු ලබයි.

ඒ අනුව 68 වැනි වරට පැවැත්වෙන මෙම පෙරහර මල්වතු මහාවිහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය ශ්‍රීමත් මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ කාරක මහා සංඝසභාවේ අනුමැතිය පරිදි ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේතුමාගේ ප්‍රධාන දායකත්වයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමා ඇතුළු සැදැහැතියන්ගේ දායකත්වයෙන් අඹතලාවේ සරණංකර නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් තත් ශිෂ්‍ය පිරිස, ශ්‍රී සංඝරාජ ගුණානුස්මරණ සමිතිය, සංඝරාජ කාන්තා සමිතිය හා සංඝරාජ දහම් පාසලේ සංවිධායකත්වයෙන් 2024 ජූලි 20 වැනි දිනට යෙදෙන ඇසළ පොහෝ දින පස්වරු 3.00 ට ආරම්භ කිරීමට නියමිත ය.

පසුදින සපිරිකර සංඝගත දක්ෂිණාවක් පිරිනමා සංඝරාජ මාහිමියන් වහන්සේට සහ මල්වතු අස්ගිරි උභය මහා විහාරයේ ම අපවත් වී වදාළ මහා සංඝරත්නයටත්, කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජතුමා ඇතුළු දායක කාරකාදීන්ටත් පින් පැමිණවීම සිදු කෙරේ.