භික්ෂූන් වහන්සේට අවවාද දෙන භික්ෂූන් වහන්සේ අතරින් අග්‍ර මහා කප්පින මහරහතන්
වහන්සේ
ශාස්ත්‍රවේදී
විල්පිට ගුණසිරි හිමි
දහම් පිපාසයෙන් පසුවන බොදු පින්වත් සැම දෙනාට ම අද දින වටිනා කතා පුවතක් දේශනා
කිරීමටයි මේ සූදානම. පින්වතුන් දන්නවා, මේ උතුම් ගෞතම බුද්ධ ශාසනය තුළ අසූමහා
ශ්‍රාවකයන් වහන්සේ වැඩ සිටි බව. සසර බිය දක්නා සුළුව මේ උතුම් දහම වටහාගෙන ලොව්තුරු
මඟ ගමන් කළ ඒ උතුමන් වහන්සේ අතුරින් බුදු සසුනේ අග්‍රස්ථානය ලද රහත් උතුමන් වහන්සේ
නමක් පිළිබඳ අද දින පහදා දීමට අදහස් කළෙමි.
මීට කල්ප ලක්ෂයකට ප්‍රථම ව මේ ලොව පහළ වී උත්තම බුදු බවට පත් පදුමුත්තර බුදුරජාණන්
වහන්සේ ලෝ සතහට පතළ කරුණා ගුණයෙන් දහම් දෙසන අවධියේ අප කතා මාතෘකාවට පත්වනු මහා
කප්පින මහරහතන් වහන්සේ ඉතා දක්ෂ ආචාර්යවරයෙක් ව හංසවතී නුවර කුල ගෙයක කුල
පුත්‍රයෙකු ව ඉපද සිටියහ.
ඔහු ඉතා යහපත්, ධර්ම ශ්‍රවණාභිලාභී ව ක්‍රියා කළ යහපත් ධාර්මිකයෙක් ව සිටි නිසා
නිරන්තරයෙන් ම විහාරයට ගොස් ධර්මය ශ්‍රවණය කිරීමට පුරුද්දක් කොට තිබුණි. මෙසේ ධර්මය
ශ්‍රවණය කිරීමට ගොස් සිටි අවස්ථාවක පදුමුත්තර බුදුරජාණන් වහන්සේ විසින් එක්තරා
භික්ෂුවකට “භික්ෂූන් හට අවවාද කරන්නවුන් අතුරින් අග්‍රස්ථානය ලබා දෙනු දැක” මෙම
තරුණයා දහම් සිත් පහළ කොට අධිෂ්ඨානයක් කළේ ය. එනම්, මට ද මතු යම් දිනෙක බුදුරජාණන්
වහන්සේ නමක් හමුවේ මෙවන් උතුම් තනතුරක් ලැබේවා'යි ප්‍රාර්ථනා ඇති ව පදුමුත්තර
බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සඟරුවනට දන් පැන් පූජා කරන ලදි. මෙසේ සත් දිනක් දන්
පූජා කිරීම සිදු කර අවසන් දින පදුමුත්තර බුදුරජාණන් වහන්සේගෙන් එම ප්‍රාර්ථනාව එලෙස
ම සිදු වන බවට නියත විවරණ ලබා ගත්හ. මෙලෙස එතුමා එතැන් පටන් සෑම ආත්මභවයක ම ධාර්මික
දිවි පෙවෙතක් ගත කරමින් ශ්‍රද්ධාවන්ත ලෙස කටයුතු කරන ලදි. මෙසේ සසර සැරිසරමින් සිටි
එතුමා බොහෝ පින්කම් කොට ජීවිතය අවසානයේ තුසිත දිව්‍යලෝකයේ ජන්මය ලැබීය. ඉන් අනතුරුව
මනුෂ්‍ය ලෝකයේ සිය වාරයක් රාජ්‍යත්වයට පත් වූ අතර, එක් ආත්මයක බරණැස් නුවර පේෂකාර
කුලයක ඉපදුණි. ඔහු තමන්ගේ පවුලේ පිරිස සමඟ තුන් මාසයක් පුරාවට පසේ බුදුරජාණන්
වහන්සේට හා සඟරුවනට උපස්ථාන කළේ ය. එම පිනෙහි බලමහිමයෙන් එම පවුලේ සියලු දෙනා ම එම
ආත්ම අවසන තව්තිසාවේ උපත ලදහ.
මෙසේ බොහෝ කුසල සිදු කළ මෙතුමා කල්ප ලක්ෂයකට පසුව මෙලොව පහළ වූ ගෞතම බුදුරජාණන්
වහන්සේගේ කාලයේ දඹදිව කකුටවතී නම් නුවර රාජ කුලයක උපත ලැබූහ. මනුලොව මහත් යසස් ඇති
රාජ පුත්‍රයකු විලස උපත ලැබූ මෙතුමා කප්පින” රජ්ජුරුවෝ නමින් ප්‍රසිද්ධියට පත්විය.
මේ අවධියේ ම පෙර ජන්මයේ බිරිඳ ම කර්මානුරූපීව මදුරට සාගලපුරයේ ඉපිද වැඩිවියට පැමිණි
කල්හි මෙතුමාගේ බිරිඳ බවට පත්විය. සිරුර අනෝජා මල් මෙන් වර්ණය ඇති හෙයින් අනෝජා
බිසව නමින් ඇය ප්‍රසිද්ධියට පත් වූවා ය.
මහා කප්පින රජතුමා බොහෝ ධාර්මික ඇත්තෙකි. මෙතුමා සෑම දිනෙකම තමාගේ අශ්වාරෝහකයන් සතර
දෙනෙකු සතර දිසාවට යවා තෙරුවන් ලොව පහළ වී ඇත් ද කියා බලා අවුත් ඒ බව තමන්ට පවසන
ලෙස අණ කරන ලදි. මෙසේ කලක් ගත වන විට දිනක් රජු ඇමැතිවරුන් පිරිවරා උයන් කෙළියෙහි
යන අතරතුර වෙළෙඳ සමූහයක් දැක “මේ පිරිස කොයිසිට එන්නේ” දැයි විචාරණ ලදි.
එහිදී වෙළඳ පිරිස අපි සාරසිය අසූ ගව්වකට එපිට සැවැත්නුවර සිට එන්නෙමු’ යැයි
පිළිතුරු දුන්හ. එම පළතේ විශේෂ දේවල් විමසූ කල වෙළෙඳ පිරිස කියා සිටියේ බුදුන්
වහන්සේ ලොව පහළ වී දහම් දෙසන බවයි. තුණුරුවන් පිළිබඳ ඇසූ සැණින් පී‍්‍රති ප්‍රමෝදයට
පත් කප්පින රජතුමා වෙළෙඳුන්ට මසුරන් තුන් ලක්ෂයක් සමඟ තෑගි භෝග ලබා දී ඔවුන් ව
පිටත් කර යැවී ය.
වෙළෙන්දන් පිරිස ද සතුටින් භෝග සම්පත් රැගෙන පිට වී ගිය පසු රජු තම මැති ඇමැතිවරු
අමතා තමන් මෙතෙක් කල් බලාපොරොත්තුවෙන් සිටි ඒ උත්තම තුණුරුවන් ලොව පහළ වී ඇති නිසා
මේ සියලු රාජ සම්පත් හැරදමා සසුනට පිවිසෙන බව කීහ. කල්‍යාණ මිත්‍රශීලි එම පිරිස ද
රජුන් මඟ පිවිසීමට කටයුතු කරන ලදි.
මෙසේ බුදු හිමියන් දැකීමට යන ගමනේ දී චන්ද්‍රනාග නම් ගඟ උතුරා දෙගොඩතලා වතුර පිරී
තිබුණු හෙයින් ගමන් මඟට බාධා විය. එහෙත් නොපසුබට වූ රජතුමා සිතින් ප්‍රාර්ථනා කරන
ලද්දේ භාග්‍යවතුන් වහන්සේ භවය නමැති සැඩ පහර තරණය කළ බව සත්‍යයකි. නිවන නැමැති මඟ
අවබෝධ කර ගත් බව සත්‍යයි. ඒ සත්‍ය බලයෙන් මාගේ උතුම් ගමන සඵල වේවා යි ප්‍රාර්ථනා
කළේ ය. ඒ අවස්ථාවේ දී ම ජල කඳ දෙපසට වී රජුට යාමට මඟ පෑදුණි.
බුදුහිමියන් සමීපයට ගිය මේ පිරිස දුටු බුදුරජාණන් වහන්සේ දකුණත දික් කොට “මහණෙනි,
සසර දුක් නැති කරනු පිණිස බඹසර රකිනු මැනවි” වදාරා. ඒහි භික්ෂු මහණ උපසම්පදාව ලබා
දුන් සේක.
පැවිදි උපසම්පදා ලැබූ කප්පින ස්වාමීන් වහන්සේ දෙව්රම් විහාරයේ දී භාග්‍යවත්
බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ධර්ම දේශනාවක් අසා වනයක් සිඳ බිඳ හෙළන හස්ති
රාජයෙකු මෙන් සියලු කෙලෙස් සිඳ බිඳ සිව්පිළිසිඹියාපත් උතුම් රහත් භාවයට පත් වූ සේක.
ඉන් පසුව පරිවාර සේවාලාභී දහසක් භික්ෂූන් හට කප්පින මහරහතන් වහන්සේ අර්ථයෙන්
ධර්මයෙන් දහම් දේශනා කොට උතුම් රහත් ඵලයට පත් කරවන ලදි. මේ සියලු දේ දැනගත්
බුදුරජාණන් වහන්සේ සියලු භික්ෂු සංඝයා අරබයා කප්පින මහරහතන් වහන්සේට,
“එතදග්ගං භික්ඛවෙ මම සාවකානං
භික්ඛූනං භික්ඛූ ඔවාද කානං යදිදං
මහා කප්පිනා”
යනුවෙන් වදාරා භික්ෂු සංඝයා ඉදිරිපිට කප්පින මහරහතන් වහන්සේට “භික්ෂූන්ට අවවාද දෙන
භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලබා දෙන බව පවසා එම තනතුරෙහි පිහිටු වූ සේක.
දිනක් ලොව්තුරු බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටින අවස්ථාවක දී
මහා කප්පින මහරහතන් වහන්සේ එම විහාරයට වැඩියහ. එම රහතන් වහන්සේ වඩින මඟ දුර සිට
දුටු බුදුපියාණන් වහන්සේ භික්ෂූන් වහන්සේගෙන් විමසා සිටියේ “නුඹලාට දුර සිට පැමිණෙන
සිහින් සිරුරකින්, යුත් උස් හඬක් ඇති අර භික්ෂුව පෙනෙනවාද.” එහිදී පිළිතුරු දුන්
භික්ෂූන් වහන්සේ “එසේය ස්වාමීනී” යනුවෙන් පිළිතුරු දුන්හ.
මහණෙනි, උන්වහන්සේ ඝෘද්ධි සම්පන්නයි, මහානුභාව සම්පන්නයි, මාර්ග බ්‍රහ්මචරියාව
අවසන් කොට ඇති උන්වහන්සේ සම නොවඳින සමාපත්තියක් නොවන තරම් ය. ගෝත්‍ර සොයන්නා වූ යම්
සත්ත්වයෙක් වෙද්ද ඔවුන් අතරෙහි ක්ෂත්‍රීය තෙම ශ්‍රේෂ්ඨ වෙයි.
මෙසේ මහා කප්පින මහරහතන් වහන්සේගේ ගුණ වර්ණනාවක් කරමින් බුදුපියාණන් වහන්සේ ගාථාවන්
දේශනා කරමින් භික්ෂු සංඝයාට ධර්මය දේශනා කොට වදාළහ. |