Print this Article


අභියෝග හමුවේ වුව ශක්තිමත් සිතින් සිල්පද රකින්න

අභියෝග හමුවේ වුව ශක්තිමත් සිතින් සිල්පද රකින්න

වර්තමානයේ කාන්තාවක් වේවා, පුරුෂයෙක් වේවා බොහෝ කැමැතියි ඉඳුරන් පිනවන්න. මේ ජීවිතය විඳින්න ඕනෑ. සතුටින් ඉන්න ඕනෑ. මේ ජීවත්වන කෙටි කාලයේ හොඳින් හෝ නරකින් හෝ සතුටින් ඉන්න ඕනෑ කියලා බටහිර ලෝකයේ තිබෙන ඉඳුරන් පිනවීම කියන දේ, ඒ ආකල්පය අද ලංකාවේ කාන්තාවගේ සිත තුළටත් රිංගාගෙනයි තිබෙන්නේ.

ඒ වගේ ලෝකයක තමයි අපි බොහෝ ම පරිස්සමෙන් ගමන් කළ යුතු වන්නේ. ඒ ලෝකයේ සදාචාරය, සීලය, සංස්කෘතිය ආදී දේ ගැන කතා කරන්නට පරිසරයක් නැහැ. ඒ නිසයි සීලය සමාදන් වීමත්, සමාදන් වූ සීලය රැක ගැනීමත් බොහෝම දුෂ්කර ව කළ යුතු වන්නේ. බහුතර ලෝකය දුස්සීල යි. පාපීකාරී යි.

නිතර සීලයට ප්‍රශංසා කරන්න ...

අද සමාජය සීලය ගැන කතා කරන්නේ නැහැ. සීලයට ප්‍රශංසා කරන්නෙත් නැහැ. සීලය ජීවිතයට වටිනා දෙයක් කියා සමාජයේ කතාවක් වගේම පිළිගැනීමකුත් නැහැ. සමාදන් වූ සිල්පද රැක ගැනීමට තම සිතෙන් වගේ ම, බාහිරින් තිබෙන්නෙත් බාධාවක්. එනිසා ම අද වන විට සිල් රැක ගැනීම බොහෝම දුෂ්කර වෙලා තිබෙනවා.

එනිසා තමා සමාදන් වූ සීලය රැක ගැනීමට ඔබ මූලිකව ම කළ යුත්තේ නිතර නිතර ධර්මය ශ්‍රවණය කිරීම යි. එතකොට තෙරුවන් කෙරෙහි මහත් ශ්‍රද්ධාවක් ඇති වෙනවා. භාග්‍යවතුන් වහන්සේ මෙලොව, පරලොව දැකලයි සීලයේ ආනිසංස වගේ ම දුස්සීල වීමේ ආදීනවත් දේශනා කොට වදාළේ. සතුන් නොමැරීම, අන් සතු දේ සොර සිතින් නො ගැනීම, වැරැදිකාම සේවනයෙන් වැළකීම, බොරු නො කීම, ප්‍රමාදයට හේතුවන දෙයින් වැළකීම සීලයක්.

ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ වදාළා භික්ෂුවක් වෙන්න පුළුවන්, භික්ෂුණියක් වෙන්න පුළුවන්, උපාසකෙයක් හෝ උපාසිකාවක් හෝ වෙන්න පුළුවන්, නිතර ම කල්පනා කළ යුතු කාරණා කීපයක් ගැන. ඒ මම වයසට යන කෙනෙක්, ඒ වගේ ම මගේ කාය ශක්තිය නැතිවෙලා මේ තිබෙන නිරෝගි බව නැතිවෙලා මම ලෙඩවෙන කෙනෙක්. මම හැමදා ම ජීවත් වෙන්නේ නැහැ. මම මරණයට පත්වෙන කෙනෙක්. මට පි‍්‍රය මනාප අයගෙන් වෙන් වෙන්න සිදු වෙනවා. මම කයින්, වචනයෙන්, මනසින් කරන කියන දේ මම දායාද කර ගෙනයි සිටින්නේ. මට එයින් ගැලවීමක් නැහැ. මේ තමා මගේ ඥාතියා. මම වැරැදි දෙයක් කළොත් ඒ දේ මට රැගෙන යන්න වෙනවා කියා නිතර සිහි කරන්න කියා වදාළා.

භාග්‍යවතුන් වහන්සේ වදාළා මේ කරුණු නිතර නිතර සිතන කාන්තාවක් වේවා. පුරුෂයෙක් වේවා. යොවුන් මදය, ජීවිත මදය වගේ ම ආරෝග්‍ය මදය කියන මද තුන දුරු කරනවා කියලා. ත්‍රිවිධ දුෂ්චරිතයට හේතුව මේ ත්‍රිවිධ මදය බවයි, උන්වහන්සේ වදාළේ. මේ තුන් ලෝකයේ කවුරුන් හරි දුස්සීල වෙනවා නම් ඔහු තුළ මේ මද තුන බහුල වශයෙන් තිබෙනවා. එනිසා ඔබ සිල්වත් වෙන්න කැමැති නම් මේ කරුණු නිතර නිතර සිහි කරන්න.

දැන හෝ නො දැන හෝ සිල්පද කැඩුණොත්...

ඔබ සමාදන් වූ සිල්පද අතරින් එකක් හෝ කැඩුණු බව දැනුණ විට ඒ ගැන පසුතැවෙමින්, දුක්නොවී වහා ම එම සිල්පදය සමාදන් වී තම පණ දෙවැනි කොට නැවත ආරක්ෂා කරන්න. එසේ සංවර වූ සැණින් ඔබ සිල්වත්. ඒ වූ අඩුපාඩුවට පිළියම් කර කර, නැවත නැවත සකස සකසා ඒ සීලය රැකිය යුතු වෙනවා.

ඒ වගේ ම සිල්පද රැක ගැනීමට වීර්යයක් නැත්නම් ශක්තියක් නැතිනම්, මානසික ව හයියක් නැත්නම් නිතර නිතර සිහි කරන්න උත්තමභාවයට පත් වූ රහතන් වහන්සේ, රහත් තෙරණින් වහන්සේ, උන්වහන්සේ තමන්ගේ ජීවිතය නිවැරැදි කර ගත් හැටි සිහි කරන්න ඕනෑ. පිප්පලී මානවකගේ පි‍්‍රය බිරිඳ භද්‍රකාපිලානි ගේ චරිතය ඔබට නිතර සිහි කරන්න පුළුවන්. ඔබ වගේ ගිහි ගෙදර සිටිද්දී ඇය උතුම් ලෙස බඹසර රැකපු හැටි සිහි කරන්න. වැරැදි සිතක්වත් ඇය උපදවා ගෙන නැහැ. එතරම් ම පිරිසුදු යි. ඒ වගේම අපගේ යශෝධරා තෙරණිය සසර පුරාවට ම බඹසර රැකපු අයුරු, සත්‍ය වචන කතා කළ අයුරු, ආදී උන්වහන්සේගේ ජීවිත තුළ තිබූ සිල්වත් බව සිහිකරමින් සත්‍ය ක්‍රියා කරමින් තමන්ගේ ජීවිතයට ආරක්ෂාව සලසා ගන්න අදටත් අපට පුළුවන්කම තිබෙනවා.

වරදින් මිදුණ කාන්තාවක් ලෙස සිරිමා උපාසිකාවගේ ජීවිතයත් අප කාටත් නිතර සිහි කරන්න පුළුවන් චරිතයක්. සිරිමා කියන්නේ නගර සෝභිනියක්. රූප සුන්දරියක්. වෛශ්‍යාවක්. ඇය ජීවත්වුණේ තමන්ගේ ශරීරය විකුණලයි. ඇයට ලැබුණේ ගැරහීමක් පමණයි. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ඇසුණාට පසුව එතුමියගේ ජීවිතය බොහෝ සේ වෙනස් වුණා. එතුමියගේ ජීවිතය බඹසරට හරවා ගත්තා. එවිට එතුමියටත් නොයෙක් අකටයුතුකම් සිදුවන්න ඇති. ඒ රැකියාව නතර කරනවිට ඇයටත් නොයෙක් අභියෝගවලට මුහුණ දෙන්න සිදුවෙන්න ඇති. ඒ හැම අභියෝගයක් ම මැඬගෙන බොහෝ සිල්වත් වුණා. සංඝ රත්නයට හරි ලස්සනට දන් බෙදුවා. ඇය තරුණ වියේ දී ම කළුරිය කරලා දෙව්ලොව ඉපදුණා.

ඒ වගේ ම ධර්මයේ සඳහන් වෙනවා කාන්තාවක් බොහෝ විට පුරුෂයාට වඩා කෙලෙස් අධික තැනැත්තියක් බව. ඒ වගේම ලෝක සම්මතයටත් කියනවා කාන්තාව ඊර්ෂ්‍යාව වැඩි තැනැත්තියක් කියලාත්. බොහෝ විට කාන්තාවක් කාන්තාවකට ඊර්ෂ්‍යා කරනවා. කාන්තාවට බොළඳ සිතිවිලි වැඩියි. ඒ බොළඳ බවත් සමඟ තමන් ආශා කරන දේ තමන්ට නො ලැබී යනවිට ඊර්ෂ්‍යාව ඇති වෙනවා. තමන් අකැමැති කෙනාට එය ලැබෙන කොට එයට ගැටෙනවා. ඒ නිසාම බොහෝ කාන්තාවන් සිතින් අකුසල් රැස් කර ගන්නවා වගේම බොහෝ දුක් විඳිනවා. සමාජයේ නීචයි කියලා නිර්ණය කර තිබෙන අණවිණ කොඩිවින ආදිය තවත් කාන්තාවකට කාන්තාවක් විසින් ම කරනවා.

ඉක්මණින් කිපෙන කාන්තාව බොහෝ විට එකට එක කරනවා. පුංචි දෙයින් ඇය බොහෝ ලෙස කඩා වැටෙනවා. මූණ එල්ලාගෙන, ශෝකී ව, හඬා වැළපිලා කටයුතු කරනවා. ඒ වගේ ස්ත්‍රී දුර්ගුණ දුරු කර ගන්න ආර්ය ශ්‍රාවිකාවක් කටයුතු කරන්න ඕනෑ. ඔබ කොතරම් කැමැති වුවත් ඔබට නො ලැබුණ දෙයට කම්පා වෙන්නා එපා. නො ලැබුණ දේ ම සිත සිතා කල්පනා කරමින් නො සිට ලැබුණ දෙයින් සෑහීමකට පත්වෙන්න. තමා කළ කී දේ තමා තමාට ලැබෙන්නේ සසරේ කළ පින සහ පව අනුවයි. බිරිඳ, ස්වාමියා, දරුවා මුණ ගැසුණේ. ඒ නිසා හැම දෙයක් ගැන ම උපේක්ෂාවට පත්වෙන්න. ලැබුණ දේ ගැන සතුටට පත් වෙන්න.

බුදුරජාණන් වහන්සේ, රහතන් වහන්සේ වැඩසිටි කාලයේත් දුර්භික්ෂ තිබුණා. වසංගත තිබුණා. ආර්ථික දුෂ්කරතා තිබුණා. එසේ සිදුවෙද්දීත් ඒ කාලයේ සිටි පින්වත් මිනිසුන් සිත ශක්තිමත් කර ගෙන ජීවිතයට ධර්මය ගලපා ගත්තා. අපත් එලෙස කටයුතු කරන්නට නම් අපගේ තිබෙන දුර්ගුණ දුරු කර ශක්තිමත් සිතක්, පිරිසුදු, සුන්දර සිතක් උපදවා ගන්න මහන්සි වෙන්න ඕනෑ.