පින් පව් අනුව තීරණය වන ජීවිතය
එදා පොසොන් පුර පසළොස්වක පොහෝ දින අනු බුදු මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ධර්ම
දූත පිරිස නැකත් කෙළියෙහි යෙදී සිටි දෙවනපෑතිස් රජතුමා ඇතුළු පිරිසට මුල්වරට දේශනා
කොට වදාළේ “චුල්ලහත්ථිපදෝපම” සූත්‍රය මාතෘකා කර ගත් දේශනාවකි.
නමුත් පසු දින අනුරාධපුර මහමෙවුනා උයනේ පිහිටි රජවාසලට වැඩම කරන ලෙසට ආරාධනා ලැබූ
මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ධර්ම දූත පිරිස රජ මාලිගාවේ දී දන් වළඳා අවසන
මහානාග යුව රජුගේ බිසව ඇතුළු පිරිසට ධර්මය දේශනා කළහ. ඒ පේතවත්ථු හා විමානවත්ථු
සූත්‍ර දේශනා මාතෘකා වශයෙන් තබාගෙනයි.
බුදුරජාණන් වහන්සේ දේශනා කළ සමස්ත දේශනාව ත්‍රිපිටකය යනුවෙන් හඳුන්වනු ලබයි.
ත්‍රිපිටකය යනු සූත්‍ර පිටකය, විනය පිටකය සහ අභිධර්ම පිටකයයි. සූත්‍ර පිටකය නිකාය
පහකින් යුක්තයි. එනම් දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය,
ඛුද්ධක නිකාය යනුවෙනි.
ඛුද්ධක නිකායට ග්‍රන්ථ පහළොවක් අයත් වේ. එයින් හයවැනි සහ හත්වැනි ග්‍රන්ථ දෙක වන්නේ
පේතවත්ථු සහ විමානවත්ථු ග්‍රන්ථ දෙකයි.
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කොට සිදු කළ ප්‍රථම දේශනාව හැටියට
අපි දකින්නේ “චුල්ලහත්ථිපදෝපම” සූත්‍ර දේශනාවයි. නමුත් ලංකා ජන සමාජය පිළිබඳ කල්පනා
කරන මිහිඳු මහරහතන් වහන්සේ දෙවැනි දිනයේ දී “විමානවත්ථු සහ පේතවත්ථු” ධර්මය දේශනා
කොට වදාළේ ඇයි?
එදා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළ කාලය වන විට ලංකාවේ විවිධ මිථ්‍යා ඇදහිලි
සහිත වටපිටාවක් පැවති බවයි සඳහන් වන්නේ. ඒ අතර ප්‍රසිද්ධ විශ්වාසයක් වූයේ මළවුන්
ඇදහීමයි. ඊට අමතරව මිථ්‍යා ඇදහිලි රාශියක් පැවති බව ද කියැවේ. ඒ අතීතයේ මිනිසා
ඇදහිලිවලට විශාල ගෞරවයක් සහ අභිරුචියකින් කටයුතු කළහ. එම සංකල්ප ජන විඤ්ඤාණය තුළම
කාවැදී තිබුණි.
ඒ මිථ්‍යා විශ්වාස ඉතා උසස් චාරිත්‍ර ලෙසයි පැවතුණේ. මිහිඳු මහරහතන් වහන්සේ එකී
චාරිත්‍ර එකහෙළාම ප්‍රතික්ෂේප නො කොට ඒවාට ධර්ම ය ම අර්ථකතනයක් දීමට පෙළඹෙනවා.
උදාහරණයක් ලෙස පර්වත වන්දනාව වෙනුවට චෛත්‍ය වන්දනාවත්, වෘක්ෂ වන්දනාව වෙනුවට බෝධීන්
වහන්සේ වන්දනා කිරීමත් හඳුන්වා දෙනවා.
මෙවන් වූ වටපිටාවක් තුළ මිනිසාගේ මරණින් පසු ලබන අලුත් භවය කවර එකක් විය හැකි ද? ඒ
ලබන අලුත් භවය තවත් කෙනකුට පිහිට විය හැකි භවයක් විය හැකිද? තමන් අදහන අයට
පිහිටවීමට තරම් පින්වත් භාවයක් ලබා තිබෙන්නේ ද? යම් කෙනකු මරණින් පසු ලබන භවය
සතුටුදායක වන්නට නම් මේ ගෙවන ජීවිතය කෙතරම් යහපත් ලෙසින් ගෙවිය යුතු ද?
මේ කාරණාවලට පිළිතුරක් ලැබෙන ආකාරයෙන් දේශනා කළ දේශනාවක් ලෙස විමානවත්ථු පේතවත්ථු
දේශනා හඳුන්වා දිය හැකි ය.
ඒ වගේම විශේෂයෙන් නොයෙකුත් දේව කතා විශ්වාසයන්ට ලාංකේය සමාජය කිඳා බැස තිබූ නිසා
දෙවියන් බවට පත්වීම සඳහා සහ දිව්‍ය ලෝකයේ යම් යම් සැප සම්පත් වින්දනය කර ගැනීම සඳහා
කළ යුතු කුසල කර්ම මොනවාද කියන දේ පැහැදිලි කිරීමට, විමානවත්ථුව පුරාවට ම කරුණු
ඉදිරිපත් වෙනවා.
විමාන වත්ථුවල එන ස්වණ්ණ පීඨ විමාන වත්ථු කතාවට අනුව එක්තරා කාන්තාවක් සිල්වත්
තෙරුන් වහන්සේ නමකට ආසනයක් පූජා කළා. ඒ පූජා කළ ආසනය වඩාත් සැප පහසු, වර්ණවත්
ආසනයක් බවට පත් කිරීම උදෙසා කහ පැහැති වස්ත්‍රයක් අතුරා, සසරේ දී මට මේ ආකාර වූ මම
ස්වර්ණමය පීඨයක් ලැබේවා’යි ප්‍රාර්ථනා කළා. ඒ ප්‍රාර්ථනාව ඒ ආකාරයට ම ඉටු වී දිව්‍ය
ලෝකයේ උපතක් ලද ඇයට ස්වර්ණ පීඨයක් එනම් ස්වර්ණ පුටුවක් ලැබූ බව ද දැක්වෙනවා.
ඒ වගේම පතීව්‍රතා විමාන වත්ථුවට අනුව ස්ත්‍රියක් ලෙස සිය ස්වාමියා කෙරෙහි කෙසේ
පිළිපැදිය යුතු ද යන කාරණාව ඉදිරිපත් කරනවා. ඒ තුළින් පවා දිව්‍යත්වයට, දේවත්වයට
පත්වීමේ හැකියාව තිබෙන බව පෙන්වා දෙනවා. ඒ තුළින් සමාජයේ සංස්කෘතිකමය සහ සදාචාරමය
වර්ධනයක් ඇති කර ගැනීම සඳහා මේ ඉගැන්වීම් ප්‍රබල සාධකයක් බවට පත්වෙනවා.
ඉහළ සැප සම්පත් ලබා ගැනීමට නම්, ලෞකික වශයෙන් දියුණුවීමට නම් යහපත් ක්‍රියාවන් සිදු
කළ යුතුයි යන්න පිළිගන්නට මෙවැනි කතාවන් තුළින් සමාජය පෙළඹෙනවා. මිහිඳු මහරහතන්
වහන්සේ මෙවැනි සංසිද්ධීන් සමාජය අභිමුවෙහි තැබූයේ සමාජයට යහපත් පණිවුඩයක් ලබාදීමේ
බලාපොරොත්තුවෙනුයි.
ඒ වගේම පනස් එකක් වූ පේතවත්ථු කතා අතරින් සෙට්ඨිපුත්ත නම් පළමුවන පේතවත්ථුව ගෙන
බලමු.
බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේලුවනාරාමයෙහි වැඩ වාසය කරන සමයේ, මහධන නම් වූ මහ
ධනවත්, බලවත් සිටුවරයෙක් විය.
මෙම සිටුවරයාට පුතෙක් විය. සිටුවරයාට විශාල ධනයක් තිබූ නිසා සිටුවරයාගෙන් පසුව එම
ධනය පරිභෝග කිරීමට සුදුසු වැඩපිළිවෙළ ගැන සිතා සිටුවරයා තම පුතුට කිසිදු
අධ්‍යාපනයක් නොදුන්නේ ය. සියලු ධනය පුතුªට පවරා දී කම් සැපයට ගිජු වූ රූමත්
තරුණියක් සරණ පාවා දුන්නා ය. කිසිදු අධ්‍යාපනයක් නොලත් මේ දෙපළ කිසිදු දානාදී
පින්කමක් හෝ කළේ නැහැ. ඇති තරම් කම්සැප විඳ අවසානයේ සියලු ධනය විනාශයට පත්ව මහ මඟට
ඇද වැටුණා.
අවසානයේ දී කිසිදු ධනයක් නොලත් මේ සිටු පුත්‍රයා ප්‍රසිද්ධ හොර දෙටුවෙක් බවට පත්
වුණා. දිනක් මේ සිටු පුත්‍රයා නීතියේ රැහැනට හසුව මරණයට පත් කරන්නට වධකස්ථානයට නගරය
මැදින් රැගෙන ගියා. එසේ රැගෙන යන අතර සුලසා නම් නගර සෝභිනියක් ඔහු දැක සිත් බැඳී
ගොස් කරුණාව උපදවා අග්ගලා සහිත ආහාරයක් සිටු පුත්‍රයා වෙත යැව්වා.
ඒ අවස්ථාව වන විට ඔහු සිටියේ ඉතාමත් කුසගින්නේයි. මේ තරුණ සොර දෙටුවා තමන්ගේ අතට
පත් වූ අග්ගලා කෑමට සූදානම් වෙත් ම ඔහු ඉදිරියේ මුගලන් මහරහතන් වහන්සේ පෙනී සිටියා.
ඒ අවස්ථාවේ දි මේ සොර දොටුවාට මෙසේ කල්පනා වුණා.
“තව මොහොතකින් මරණයට නියම ව සිටින මාගේ ආහාරය පිණිස මේ අග්ගලා ගැනීමට වඩා මුගලන්
මහරහතන් වහන්සේට පිදීම පරලොව ගමනට උපකාර වන පිනක් වෙනවා සිතා” උන්වහන්සේට අග්ගලා
පිදුවා.
එසේ මුගලන් මහරහතන් වහන්සේට දානය පිදීමේ පිනෙන් උසස් දිව්‍ය භවයක් ලබා ගැනීමේ
හැකියාව ලැබුණා. එහෙත් සිටු පුත්‍රයාගේ මරණාසන්න මොහොතේ නගර සෝභිනියක් වූ “සුලසා”ව
කෙරෙහි කාමරාගී සිතිවිල්ලක් පහළ වු නිසා මහ නුග රුකක රුක් දෙවියකුව උපන්නා. පෙර
භවයෙහි ඇලුම් ඇති ව සිටි සුලසා සමඟ කම්සැප විඳීමට සිතා උපායකින් ඇය ගෙන්වා තම වාස
භවනෙහි දින හතක් රඳවා ගත කොට, පසුව ඇයගේ ඉල්ලීම නිසා ම රුක් දෙවියා සහ සුලසා
වේලුවනාරාමයෙහි දහම් දෙසන බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණියා. එම අවස්ථාවේ දී
බුදුරජාණන් වහන්සේ
“මරණයට නියම ව වධකස්ථානයට ගෙන යන ගමනේ සුලසාව ඔහු වෙත එවූ අග්ගලාව හදිසියෙන් ම තමා
ඉදිරියේ පහළ වූ මුගලන් මහරහතන් වහන්සේට පිදීමෙන් දුක්ඛිත ජීවිතයෙන් ඈත්ව රුක්
දෙවියකු බවට පත්වූ ආකාරය පූර්වාපර සන්ධි ගැළපීමෙන් දේශනා කළ සේක.
විශේෂයෙන් ම පේතවත්ථු, විමානවත්ථු හි පවතින පැහැදිලිතාව නම් පූර්වාපර සන්ධි
ගැළපීමයි. මෙවන් වූ යමක් ලැබීමට නම් කුමක් ද සිදුකළ කුසලය හෝ අකුසලය යන්න මෙහිදී
ඉස්මතු කර පෙන්වා දෙනවා. ඒ වගේම විමාන වත්ථුවත්, පේතවත්ථුවත් ගොනු කර තිබෙන ආකාරය
මනා ගැළපීම ආදිය නිසා සමාජ විඥානයට කිඳා බසින්නට තරම් ශක්ති සම්පන්න වී තිබෙනවා.
ඒ නිසා ම විමානවත්ථුවෙන් මෙන් ම පේතවත්ථුවෙන් භික්ෂූන් වහන්සේ ධර්මය දේශනා කරන්නේ
ඇතැම් කරුණු තහවුරු කිරීමටයි. දේශනා කිරීම සඳහා උදාහරණ ගෙන තිබෙන්නේ. ශ්‍රී ලංකායේ
බණ කතා සාහිත්‍යයේ පේතවත්ථුවට මෙන්ම විමානවත්ථුවට ඉතා ඉහළ අගයක් ලැබෙන්නේ ඒ හේතුව
නිසයි.
මේ නිසා සිංහල ජන සමාජයට මිහිඳු මහරහතන් වහන්සේ දෙවැනි දිනයේ දී ම හඳුන්වා දුන් මේ
පේතවත්ථුවත්, විමානවත්ථුවත් ජාතියක් මෙහෙයවන්නටත් ජාතියක සංයමය ඇති කරන්නටත් හේතුවූ
ශ්‍රේෂ්ඨ වූ දේශනාවන් ලෙස සැලකෙනවා.
පේතවත්ථුවෙහි අර්ථ කතා, ප්‍රශ්න විසඳීම් ආදිය දක්නට ලැබෙනවා. විශේෂයෙන් ම
බුදුරජාණන් වහන්සේ ඒ ඒ කරුණු අරබයා සිදු කරන ලද දේශනා, ඊට හේතු වූ නිධාන කතා ආදිය ද
දකින්නට පුළුවන්.
පේතවත්තුව වර්ග වශයෙන් ගත් විට උරග වර්ගය, උබ්බරී වර්ගය, චූල වර්ගය, මහා වර්ගය යැයි
වර්ග හතරකි. උරග වර්ගය තුළ කතා දොළසක් ද, උබ්බරී වර්ගයේ කතා දහතුනක් ද, චූල වර්ගයේ
කතා දහයක් ද මහා වර්ගයේ කතා දහසයක් ද වශයෙන් සමස්තයක් ලෙස කතා පනස් එකක් තිබෙනවා.
විමානවත්ථුව වගේ ම පේතවත්ථුව ද මනුෂ්‍යයා පවින්, අකුසලයෙන් වළක්වා ගැනීම සඳහා කරන
ලද අගනා නිර්මාණයකි. විශේෂයෙන් ම විමානවත්තුව කුසල් රැස් කිරීම සඳහා පොළඹවන විට
පේතවත්ථුව අකුසලයෙන් මුදවා කුසලයෙහි යෙදවීමට අවශ්‍ය පසුබිම සකස් කර දෙනවා.
පේ‍්‍රත යන වචනයෙන් අදහස් වන්නේ මළ තැනැත්තා නැතිනම් පරලොව ගිය අය යන තේරුමයි. සසර
සැරිසරන සත්ත්වයා මෙලොව දී සිදු කරන කුසලාකුසල කර්ම අනුව ඊළඟ භවයේ උපත සකස් වන බව
බුදුදහම විස්තර කරනවා.
මනුෂ්‍ය ඝාතනය, සොරකම ආදී අපරාධවලට රටක පවතින නීතියකින් දඬුවම් ලැබුණත්, නැතත් කර්ම
ශක්තිය විසින් ස්ථිරව ම එහි විපාකය ලැබෙන බව මෙම කතා වස්තූන්හි දී දැක ගන්නට හැකි
යි.
පේ‍්‍රතයන් වී බොහෝවිට උපදින්නේ සත්ත්ව ඝාතනය, ලෝභය, මසුරුබව, ඊර්ෂ්‍යාව, වෛරය,
පරදාර හා පරපුරුෂ සේවනය, සඟසතු දේ අයථා පරිභෝජනය, බොරුකීම පින්කම්වලට අකුල් හෙළීම
මෙන්ම නොයෙකුත් වංචනික ක්‍රියා යන අකුසල් හේතුවෙන් පේ‍්‍රත ව උපදින්නෝ කල්ප ගණන් ඒ
දුක් විඳින බව පැහැදිලි කරනවා. තමන් විසින් සිදුකරන ලද කර්මය තමන් විසින් ම විඳ
ගෙවා දැමිය යුතුය යන්න පේතවත්ථු වර්ණනාවේ දැක්වෙනවා.
ඒ වගේම එකල පැවැති මළවුන් පිදීමේ චිරාගත චාරිත්‍රය නැවැත්වීමටත්, මළවුන්ට අපට කළ
හැකි එකම උපකාරය නම් පින් දහම් කොට ඒ පින් අනුමෝදන් කරවීම පමණක් ම ය යන කාරණය
ඉගැන්වීම සඳහාත් මිහිඳු මහ හිමියෝ එසේ පේතවත්ථුවෙන් ධර්ම දේශනා කොට වදාළා.
-
දීපා පෙරේරා |