Print this Article


සූත්‍රාන්ත පිටකයෙහි (කුදුගත් සඟිය):

සූත්‍රාන්ත පිටකයෙහි (කුදුගත් සඟිය):

යුගනද්ධ කතා

මා විසින් මෙසේ අසන ලදි. එක් සමයෙක්හි ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩ වසන සේක. එහි දී ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ “ඇවැත්නි, මහණෙනි” යි භික්ෂූන් ඇමතූ සේක.

ඒ භික්ෂූහු “ඇවැත්නි” යි ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ මෙය වදාළ සේක.

ඇවැත්නි, යම්කිසි භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ තමා රහත් බවට පැමිණීම, මාගේ සමීපයෙහි ප්‍රකාශ කෙරේ ද එය සර්වප්‍රකාරයෙන් මේ සිවු පිළිවෙත් මඟින් හෝ එයින් එකකින් හෝ ප්‍රකාශ කෙරේ. කවර ප්‍රතිපදා මාර්ග සතරකින් ද යත්

ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම සමථපුබ්බංගම වූ (කෙලෙස් සන්සිඳුවීම පෙරදැරි කොට ඇති) විදර්ශනාව වඩයි. සමථපුබ්බංගම වූ විදර්ශනාව වඩන්නා වූ ඔහුට (සෝවාන්) මාර්ගය උපදී. හෙතෙම ඒ මාර්ගය ඇසුරු කෙරෙයි. වඩයි. නැවත නැවත වඩයි. ඒ මාර්ගය ඇසුරු කරන, වඩන, නැවත නැවත වඩන ඔහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙති. අනුශය ධර්මයෝ (සන්තානගත කෙලෙස්) අවසන් වෙති.

ඇවැත්නි, තවද අනෙකක් කියමි. මහණතෙම විදර්ශනා පූර්වාංගම වූ සමථය වඩයි. විදර්ශනා පූර්වංගම වූ සමථය වඩන ඔහුට මාර්ගය උපදී. හෙතෙම ඒ මාර්ගය ඇසුරු කෙරෙයි. වඩයි. නැවත නැවත වඩයි. ඒ මාර්ගය ඇසුරු කරන, වඩන නැවත නැවත වඩන ඔහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙති. අනුසය ධර්මයෝ කෙළවර වෙති.

තව ද ඇවැත්නි, මහණතෙම සමථ (කෙලෙස් සන්සිඳුවීම) විදර්ශනා යුගනද්ධ කොට (එකිනෙකට බැඳුණක් කොට) වඩයි. සමථ විදර්ශනා යුගනද්ධ කොට වඩන්නා වූ ඔහුට මාර්ගය හටගනියි. හෙතෙම ඒ මාර්ගය සේවනය කරයි. වඩයි. නැවත නැවත වඩයි. ඒ මාර්ගය ඇසුරු කරන, වඩන, නැවත නැවත වඩන ඔහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙති. අනුසය ධර්මයෝ (සන්තානගත කෙලෙස්) කෙළවර වෙති.

තවද ඇවැත්නි, මහණහුගේ සිතෙහි ආලෝකය ආදී විදර්ශනෝපක්ලේශයන් (විදර්ශනා කිළිටි කිරීම) නිසා හටගත් මුළාවෙන් වරදවා ගැනීමට පමුණුවන ලද්දේ වෙයි. ඇවැත්නි, යම් අවස්ථාවක ඒ සිත (විදර්ශනා වීථියට බැස) ආධ්‍යාත්මික වූ අරමුණෙහි පිහිටා ද, මැනවින් හිඳී ද, එකඟ වේ ද, මැනවින් සිටී ද, ඇවැත්නි, ඒ විදර්ශනා වීථියට එළඹි කාලය වෙයි. ඔහුට මාර්ගය උපදී. හෙතෙම ඒ මාර්ගය ඇසුරු කෙරෙයි. වඩයි. නැවත නැවත වඩයි. ඒ මාර්ගය ඇසුරු කරන, වඩන, නැවත නැවත වඩන ඔහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙති. අනුශය ධර්මයෝ කෙළවර වෙති.

ඇවැත්නි, යම්කිසි භික්ෂුවක හෝ භික්ෂුණියක් හෝ රහත් බවට පැමිණීම මාගේ සමීපයෙහි ප්‍රකාශ කෙරේ ද, එය සර්වප්‍රකාරයෙන් මේ සිවු මඟින් හෝ ඒවා අතුරෙන් එක් මඟෙකින් හෝ ප්‍රකාශ කෙරේ.

සමථ පෙරදැරි කොට ඇති විදර්ශනාව වඩන්නේ කෙසේද? නෙක්ඛම්ම වශයෙන් සිතේ ඒකාග්‍රතාව, නො විසිරී පැවැත්ම සමාධිය යි. ඒ සමාධියෙහි උපන්නා වූ (චිත්ත චෛතසික) ධර්මයන් අනිත්‍ය වශයෙන් නැවත නැවත බැලීම් අර්ථයෙන් විදර්ශනා නම් වේ. දුක් වශයෙන් නැවත නැවත බැලීම් අර්ථයෙන් විදර්ශනා නම් වේ. අනාත්ම වශයෙන් නැවත නැවත බැලීම් අර්ථයෙන් විදර්ශනා නම් වේ. මෙසේ පළමුව සමථය ද, පසුව විදර්ශනාව ද වේ. එහෙයින් සමථපුබ්බංගම විදර්ශනාව ද වඩයි යැයි කියනු ලැබේ.

භාවෙති යනු :– භාවනා සතරෙකි. ඒ සමථයෙහි උපන් (චිත්ත චෛතසික) ධර්මයන් නොඉක්මවා පවත්නා ස්වභාවයෙන් භාවනා නම් වේ. (ශ්‍රද්ධාදි) ඉන්ද්‍රියන්ගේ ඒකකෘත්‍ය (එක කටයුත්ත) වශයෙන් (වැඩීම) භාවනා වේ. ඒ (අනතිවත්තන ඒකරස) ස්වභාවයන්ට සුදුසු වීය¸ දැරීම් වශයෙන් වැඩීම ය. (ඒ අවස්ථාවෙහි පැවති) ආසේවනයාගේ වශයෙන් වැඩීම ය. යන සතරයි.

මග්ගෝ සක්ජායති යනු :- මාර්ගය කෙසේ පහළ වේද? දර්ශන අරුතින් “සම්මා දිට්ඨි” මාර්ගය පහළ වේ. සිත අරමුණට නැඟීම් අරුතින් ‘සම්මාසංකප්ප’ මාර්ගය පහළ වේ. පරිග්‍රහ (අයිතිය) අරුතින් ‘සම්මාවාචා’ මාර්ගය පහළ වේ. හටගැනීම් අරුතින් ‘සම්මාකම්මන්ත’ මාර්ගය පහළ වේ. පිරිසිදුවීම් අරුතින් ‘සම්මා ආජීව මාර්ගය පහළ වේ. උත්සාහ කිරීම් අරුතින් ‘සම්මා වායාම මාර්ගය පහළ වේ. (එළඹ) සිටීම් අරුතින් ‘සම්මා සති’ මාර්ගය පහළ වේ. (චිත්ත චෛතසිකයන්ගේ) නොවිසිරීම් අරුතින් ‘සම්මාසමාධි’ මාර්ගය පහළ වේ. මෙසේ මාර්ගය පහළ වේ.

“සො තං මග්ගං ආසෙවති භාවෙති බහුලීකරොති”

අසෙවති යනු :– කෙසේ ඇසුරු කෙරේ ද යත්, ආවර්ජනා කරමින් ඇසුරු කරයි. දනිමින් ඇසුරු කරයි. දකිමින් ඇසුරු කරයි. (ප්‍රත්‍යවේක්ෂා) නැවත නැවත සිහි කරමින් ඇසුරු කරයි. සිත විශේෂයෙන් පිහිටුවමින් ඇසුරු කරයි. ශ්‍රද්ධාවේ නිශ්චය කරමින් ඇසුරු කරයි. වීය¸ය දැඩි කොට ගනිමින් ඇසුරු කරයි. සිහිය එළවා තබමින් ඇසුරු කරයි. සිත මනාව පිහිටුවමින් ඇසුරු කරයි. ප්‍රඥාවෙන් විශේෂයෙන් දනිමින් ඇසුරු කරයි. ස්වභාව ලක්ෂණ වශයෙන් දත යුතු දෙය විශේෂයෙන් දනිමින් ඇසුරු කරයි. පිරිසිඳ දත යුතු දෙය පිරිසිඳ දනිමින් ඇසුරු කරයි. ප්‍රහීන කළ යුතු දෙය ප්‍රහීණ කරමින් ඇසුරු කරයි. වැඩිය යුතු දෙය වඩමින් ඇසුරු කරයි. ප්‍රත්‍යක්ෂ කටයුතු දෙය ප්‍රත්‍යක්ෂ කරමින් ඇසුරු කරයි. මෙසේ ඇසුරු කෙරේ.

භාවෙති යනු :– කෙසේ වඩයි ද? ආවර්ජනය කරමින් වඩයි. දනිමින් වඩයි. දකිමින් වඩයි. නැවත නැවත සිහි කරමින් වඩයි. සිත විශේෂයෙන් පිහිටුවමින් වඩයි. ශ්‍රද්ධාව පිහිටුවමින් වඩයි. වීර්ය දැඩි කරමින් වඩයි. සිහිය පිහිටුවමින් වඩයි. සිත මනාව පිහිටුවමින් වඩයි. ප්‍රඥාවෙන් දනිමින් වඩයි. විශේෂයෙන් දත යුතු දෙය විශේෂයෙන් දනිමින් වඩයි. පිරිසිද දත යුතු දෙය පිරිසිඳ දනිමින් වඩයි. ප්‍රහීණ කළ යුතු දෙය ප්‍රහීණ කරමින් වඩයි. වැඩිය යුතු දෙය වඩයි. ප්‍රත්‍යක්ෂ කළ යුතු දෙය ප්‍රත්‍යක්ෂ කරමින් වඩයි. මෙසේ වඩයි.

බහුකලීකරොති යනු :– කෙසේ නැවත නැවත වඩයි ද යත්, ආවර්ජනා කරමින් නැවත නැවත වඩයි. දනිමින් නැවත නැවත වඩයි. දකිමින්.................ප්‍රත්‍යවේක්ෂා කෙරෙමින් .......සිත පිහිටුවමින්..........සැදැහැයෙන් නිශ්චය කරමින් ......වීර්ය දැඩිකොට ගනිමින්......සිහි එළවා තබමින්......සිත අරමුණෙහි සමව තබමින්.......ප්‍රඥාවෙන් මැනවින් දැන ගනිමින්.......විශේෂයෙන් දත යුතු දෙය විශේෂයෙන් දනිමින්....... පිරිසිඳ දත යුතු දෙය පිරිසිඳ දනිමින්..... ප්‍රහීණ කළ යුතු දෙය ප්‍රහීණ කරමින්.........වැඩිය යුතු දෙය වඩමින්.......ප්‍රත්‍යක්ෂ කළ යුතු දෙය ප්‍රත්‍යක්ෂ කරමින්...........මෙසේ නැවත නැවත වඩයි.

තස්ස තං මග්ගං ආසෙවතො භාවයතො බහූලීකරොතො

සඤෙඤාජකා පහීයන්ති අනුසයා ඛ්‍යන්ති හොන්ති යනු :

සංයෝජනයෙන් (බැඳුම්) කෙසේ ප්‍රහීණ වෙත්ද? අනුශයෝ (සිතෙහි කෙලෙස්) කෙසේ කෙළවර වෙත්ද? සෝතාපත්ති මාර්ගයෙන් සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස යන මේ සංයෝජන තුන ප්‍රහීණ වේ. දිට්ඨිඅනුසය, විචිකිච්ඡාඅනුසය යන මේ අනුසයෝ (සන්තානගත කෙලෙස්) දෙදෙන කෙළවර වෙත්. සකෘදාගාමී මාර්ගයෙන් ඕළාරික වූ කාමරාග සංයෝජනය පටිඝ (ක්‍රෝධ) සංයෝජනය යන මේ සංයෝජන දෙක ප්‍රහීණ වෙයි. ඕළාරික වූ කාමරාගානුසය පටිඝානුසය යන මේ අනුශය දෙක අවසන් වෙයි. අනාගාමී මාර්ගයෙන් සියුම් වූ කාමරාග සංයෝජන, පටිඝ සංයෝජන යන සංයෝජන දෙක ප්‍රහීණ වේ. සියුම් වූ කාමරාගානුසය, පටිඝානුසය යන මේ අනුශය දෙක අවසන් වෙයි.

රහත් මාර්ගයෙන් රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා යන මේ සංයෝජනපස ප්‍රහීන වේ. මනනානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය යන මේ අනුසය තුන අවසන් වෙයි. මෙසේ සංයෝජනයෝ ප්‍රහීණ වෙති. අනුසය ධර්මයෝ කෙළවර වෙති.

අව්‍යාපාද (කෝප නොවීම්) වශයෙන් සිත එකඟ බව වූ නො කැළඹෙන සමාධිය යි.....ආලෝක සංඥා වශයෙන් සිත එකඟ බව වූ නො කැළඹෙන සමාධිය යි. ‘ආලෝක සංඥා වශයෙන් සිත එකඟ බව වූ නො කැළඹෙන සමාධිය යි. පටිනිස්සග්ගානුපස්සීව (කෙලෙස් දුරු කිරීමෙන් නිවන් බලන්නහුගේ) ආශ්වාස කිරීම වශයෙන්, පටිනිස්සග්ගානුපස්සීව ප්‍රශ්වාස කිරීම් වශයෙන් සිතේ එකඟ බව අවික්ෂේප (නොකැළඹෙන) සමාධිය යි. ඒ සමථයෙහි උපන් (චිත්ත චෛතසික) ධර්මයන් අනිත්‍ය වශයෙන් නැවත නැවත බැලීම් අර්ථයෙන් විදර්ශනාවයි. දුක් වශයෙන් නැවත නැවත බැලීම් අර්ථයෙන් විදර්ශනාවයි. අනාත්ම වශයෙන් නැවත නැවත බැලීම් අර්ථයෙන් විදර්ශනාවයි. මෙසේ පළමුව සමථය ද, පසුව විදර්ශනාව ද වේ. එහෙයින් ‘සමථපුබ්බංගමං විපස්සනං භාවෙති’ යි (කෙලෙස් සන්සිඳීම පෙරදැරිව විදර්ශනාව වඩයි) යැයි කියනු ලැබේ.

මෙම ලිපියේ ඉතිරි කොටස ඇසළ පුර අටවක පෝදා (13) අන්තර්ජාල කලාපයේ පළවේ.

සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ සිංහල පටිසම්භිදා මග්ගප්පකරණය ඇසුරිනි