Print this Article


සැපය ම දුකට හේතු වූ කල සැප යැයි ගත යුතු දෙයක් වේ ද?

සැපය ම දුකට හේතු වූ කල සැප යැයි ගත යුතු දෙයක් වේ ද?

සැපය, සැනසිල්ල, ඔබ අප සැම දෙනාගේ ම නිරන්තර පැතුමයි. සැප ලබාගැනීමෙහිලා රෑ දහවල් නොතකා වෙහෙසෙමු. සොයන්න සොයන්න සැපය අපෙන් ඈතට ඈතට යනවා. සැපය මායාවක්. මිරිඟුවක්? වෙහෙසවෙන විට කුසගින්න දැනෙනවා. එවිට කුස පුරා ආහාර ගන්නවා.

මුලින් කුසගින්න දුකකි. කුස පුරා ආහාර ගත්විට නිදිමත දැනෙනවා. දැන් කුමක්ද සිදුවී තිබෙන්නේ. සැප යැයි සිතූ දේ දුකට පත්වෙලා නේද? මෙහිදී ඔබගේ අවධානයට ගතයුතු කරුණක් ඇත. එනම් වරක් සැප සේ සිතූ දේ තවත් වරෙක දුකට හේතුවන බවත්, වරෙක දුකක් යැයි සිතු දේ වරෙක සැපක් බවට පත්වෙන බවත් ය.

හුදෙක් සැපයක් කියා ගත යුතු දෙයක් නැත. ඇත්තේ වින්දන ස්වභාවයකි. ජීවිතය හා කම්සැප පිළිබඳ අප දැනගත යුතු කරුණු තුනක් බුදුහාමුදුරුවෝ වදාළ සේක. එනම් ඇලීම හෙවත් රස විඳීම (අස්සාද), එයින් සිදුවන අයහපත (ආදීනව), එයින් මිදීම (නිස්සරණය) පියකරු රූමත් කෙනෙකු දකින ඔබ, ඔහු හෝ ඇය පි‍්‍රය කරන්නේ ය. මේ පුද්ගලයා කෙරෙහි ඔබ සිත තුළ ඇල්මක්, ආදරයක් ඇතිවන්නේ ය. ඔහු හෝ ඇය නැවත නැවත දැකීමට රුචි කරන්නේ ය. ඒ නිසා සතුටු වෙයි. මෙය ඇලීම හෙවත් රසවිඳීමයි. දින කිහිපයකින් හෝ කලක් ගතවීමෙන් හෝ ඔහුගේ හෝ ඇයගේ රූමත්කම වෙනස් වන්නේ ය. නැතහොත් නැවත නැවත හමුනොවන්නේ ය. එවිට සිදුවන්නේ කලකිරීමකි. දුකකි. එය සැපයේ අයහපත හෙවත් ආදීනවයයි. මේවා ඔබ අත්දැකීමෙන් දන්නෙහි ය. අර පුද්ගලයා පිළිබඳ ඔබට ආශාවක් නැත්නම් බැඳීමක් නැත්නම් ඔබ නිදහස් ය. එය ජීවිතයේ මිදීම හෙවත් නිස්සරණයයි. මේ පිළිබඳ ගැඹුරු, පළල් අවබෝධයක් නැතිවුවත් සාමාන්‍ය හෝ අවබෝධයක් තිබේ නම් චිත්ත පීඩා පැමිණි කළ ඒවා එක්තරා දුරකට සමනය කර ගන්නට හැකි වන්නේ ය.

මිහිපිට වෙසෙන සත්ත්වයා අතරෙන් මිනිසාට සමාන කළ හැකි අන් සත්වයෙක් නොමැත. ඒ අන් කිසිවක් නිසා නොව ඉතා උසස් තත්ත්වයකට දියුණු කළ හැකි මනසක් ඔහු සතුව ඇති නිසා ය. ලොව්තුරා බුද්ධත්වයට පත්වන්නේත්, රහත් බවට පත්වන්නේත් මනුෂ්‍යයෙක් ම ය. උසස් ගණයේ විද්‍යාඥයකු, වෛද්‍යවරයකු, ගුරුවරයකු, මාධ්‍යවේදියකු, ශ්‍රේෂ්ඨ පුරවැසියකු වන්නේත්, මිනිසෙක් ම ය. මහා අපරාධකාරයකු, ත්‍රස්තවාදියකු, මැරයකු, සොරකු, සොරාසොඬකු වන්නේත් මිනිසෙක් ම ය. එහෙත් සිංහයා, කොටියා, සුනඛයා, වලහා ආදී තිරිසන් සත්තු සෑම එකෙක් ම මිය යන තුරා උන්ට ආවේණික ජීවන රටාව තුළ ම සිටිති. ඔවුන්ගේ ගති ස්වභාවයන් කිසිවිටෙක වෙනස් නොවේ. ඒ වෙනස මනස නිසා සිදුවන්නෙකි.

එම නිසා දුර්ලභ වූ මිනිසත් බව ලබා කීයෙන් කීදෙනෙකු සැපවත් ජීවන දර්ශනයක් ගත කරයි ද? එසේ නොහැකි වන්නේ කුමක් නිසා ද? ඇත්ත වශයෙන්ම උසස් ජීවන දර්ශනයක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය මූලික ම සාධකය වශයෙන් සාමාන්‍ය ලෝකයා විශ්වාස කරන්නේ ධනය යි. එහි එක්තරා සත්‍යයක් තිබේ. දිළිඳුකම දුකක් වශයෙන් බුදුහාමුදුරුවෝ පවා දේශනා කළ සේක. වරක් දීඝජාණු කෝලිය නම් පුද්ගලයකු බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ මෙසේ කීවේ ය. බුදුහාමුදුරුවනේ, කාමභෝගී ජීවිතයක් ගත කරන අපි අඹුදරුවන් සමඟ කරදර සහිත ව වාසය කරමු. කසී සළු අඳිමු, සුවඳ විලවුන් ගත තවරා ගන්නෙමු. රන් රිදී පළඳිමු. බුදුහාමුදුරුවනේ, අපට මෙලොවත්, පරලොවත් හිත සුව පිණිස දහමක් දේශනා කරන්න.

ඒ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ දීඝජාණු කෝලියට මෙලොව හිත පිණිස කරුණු හතරක් ද, පරලොව හිත පිණිස හේතුවන කරුණු හතරක් ද වදාළහ.

උට්ඨාන සම්පදා - උත්සාහය

ආරක්ඛ සම්පදා - ආරක්ෂාව

කල්‍යාණමිත්තතා - කල්‍යාණමිත්‍රත්වය

සමජීවිකතා - අය වැය සමබරවතාව

උට්ඨාන සම්පදා යනු අලස (කම්මැළි) නොවී උපායශීලී ව, නුවණින් යුතුව දැහැමි ලෙස ව්‍යාපාරයක් නිසිලෙස සංවිධානය කර ගනිමින් ජීවනෝපායක් සලසා ගැනීමයි. මෙහි ව්‍යාපාර යනු විශාල පරිමාණයේ ඒවා පමණක් අදහස් නොකෙරේ. යම් යම් දැහැමි කටයුතුවල යෙදෙමින් උත්සාහයෙන් ජීවිකාව ගොඩනඟා ගැනීම ද මීට අයත් බැව් සැලකිය යුත්තේ ය.

උත්සාහය මිනිසාට “සම්පත්තියක්” වශයෙන් හඳුන්වන්නේ බුදු දහම ය. ඒ පිළිබඳ විවිධ කරුණු දක්වා තිබේ. අලස නොවී යහපත් උපායන් සොයමින් උත්සාහයේ නියැළීම දියුණුවේ රහසකි. අනික දියුණුව වන කවරකුට හෝ ඒ සඳහා ප්‍රබලම බාධාව කම්මැළි ස්වභාවයයි. කම්මැළි - අලස, පහ වූ වීර්ය ඇති තැනැත්තා දැන් ඉතා උණුසුම් ය. දැන් ඉතා සීත ය. දැන් ඉතා උදෑසන ය. දැන් ඉතා සවස් ය. දැන් බඩගිනි ය. දැන් බඩ පිරුණා වැඩි ය. වැනි හේතු හුවා දක්වමින් ජීවනෝපායයන් මඟහරවා ගනියි.

අලසකම නමැති මානසික ඌනතාව නිග්‍රහයට ලක්කරන බුදුරජාණන් වහන්සේ කම්මැළියාගේ සියක් වසරක ජීවිතයට වඩා ධෛර්ය ඇත්තාගේ එක දවසක කාලය වුව ද උතුම් බව වදාළ සේක. සැලසුම් සහගත ජීවන රටාවකට එදිනෙදා අනුගමනය කළ හැකි උපදෙස් මාලාවක් බුදුදහමේ දක්වා ඇත.

ඉදිරියට කරන්නට ඇති වැඩ ගැන සිතා දැන් කළ යුතු දේ දැන් ම කරන්න.

යම්කිසි වැඩක් කර අවසන් වූ විට එය අවසන් කළා යැයි නොසිතා ඒ වැඩය කළ කාලය තුළ කිරීමට අතපසු වූ වැඩ කටයුතු සොයා බලා කරන්න.

ගමනක් යෑමට ඇතිවිට කළ යුතු වැඩ අවසන් කොට යන්නට උත්සාහ කරන්න.

ගමනක් ගොස් පැමිණි පසු ඒ කාලය තුළ කිරීමට අතපසු වූ කටයුතු කරන්න.

ප්‍රමාණවත් සේ ආහාරයක් නොලැබෙන විට තවමත් මාගේ ශක්තිය පවතිනවා යි සිතා කළ යුතු දේ කරන්න.

ප්‍රමාණවත් පරිදි ආහාර ලැබුණු විට දැන් දැන් ශරීර ශක්තිමත් යැයි සිතා වැඩ කරන්න.

මඳක් ලෙඩ ගතියක් දැනෙන විට රෝගය උත්සන්නවීමට පෙර කළ යුතු වැඩ කටයුතු කිරීමට උත්සාහ කරන්න.

රෝගය සුව වූ පසු රෝගීව සිටි කාලයේ මඟහැරුණූ වැඩ කිරීමට වෑයම් කරන්න.

බාල - මහලු, තරුණ - උගත්, නූගත් සෑම තරාතිරමක ම පුද්ගලයකු අලසකම නමැති මානසික ඌණතාවයෙන් පෙළුණු කල ස්වකීය සොඳුරු දිවිය අඳුරු කර ගනියි. එනිසා ධාර්මික ලෙස වෙහෙස මහන්සිවීම ලජ්ජාවීමට නොව ආඩම්බරවීමට කරුණක් වන බව මතකයේ තබා ගන්න.

ආරක්ඛ සම්පදා යනු වෙහෙස මහන්සි වී උපයන දේ නිස්සරණේ විනාශවීමට ඉඩ නොදී ආරක්ෂා කර ගැනීමයි. රජුන්, සොරුන්, අමානාප අපි‍්‍රය ඥාතීන්, මිත්‍රයන් හා ජලය, ගින්න වැනි ස්වභාවික උවදුරුවලින් රැස් කළ ධනය රැක ගැනීමට වග බලා ගත යුතුයි. අතපය වෙහෙසවා, දහදිය මුගුරු වගුරුවා රැස්කර ගන්නා ලද වස්තුව නිකරුණේ විනාශ කර ගැනීම නූතන, සමාජයේ පවතින දියුණුවට බාධා කරන ප්‍රබලතම කරුණකි.

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.

එම නිසා විවිධාකාරයෙන් රැස් කරන ධනය විනාශ වන්නේ කවර කවර හේතූන් නිසා දැයි වර්ගකොට අවබෝධ කරගත යුතු ය. නුසුදුසු අවස්ථාවල විවිධ ස්ථානයන්හි සංචාරය කිරීම, නාට්‍ය චිත්‍රපටි සමාජ ශාලා ආදී දර්ශනයන්හි අධික ලෙස නියැළීම, සූදුවල නියැළීම නරක මිතුරන් ආශ්‍රය කිරීම වැනි, හේතු ධන විනාශයට මූලික වේ. මේවා පිළිබඳ ව දීර්ඝ ව බුදුදහමෙහි සඳහන් වේ. මත්වතුර පානයට ඇබ්බැහි වූ පුද්ගලයෝ කොටස් හතරකි.

ඉඳහිට මත්වතුර ස්වල්පයක් පානය කරන පුද්ගලයා

නිතර මත්වතුර ස්වල්පයක් බැගින් හැමදා ම පානය කරන පුද්ගලයා.

ඉඳහිට පමණක් දැඩි සේ මත්වතුර පානය කරන පුද්ගලයා.

නිතරම බීමත්ව සිටින පුද්ගලයා. මේ පුද්ගලයන් සතර දෙනාගෙන් සිව්වැන්නා කිසිසේත් ම හොඳ නැත. මෙයින් අනිත් තිදෙනාගේ ක්‍රියාවලිය හොඳ යැයි අනුමත කරන්නේ ද නැත. ඊට හේතුව කල්ගතවෙත් ම ඒ ඒ පුද්ගලයන් ද සිව්වෙනි තත්ත්වයට පත්විය හැකි බැවිනි.

මත්වතුර බීම නිසා තමා දුක් මහන්සියෙන් උපයාගත් මුදල් විය පැහැදම් වෙයි. කළ යුතු නොකළ යුතු දේ පිළිබඳ ව විමසා බැලීමට තරම් සිහි කල්පනාවක් නොමැති වෙයි. සාමාජික වශයෙන් ද සුරාවට ඇබ්බැහි වූවෝ පිළිකුළට හේතු වන්නෝ ය.