අනුසස් දැන පින්කම් කොට සසරට පින් රැස් කර ගනිමු
එම්. ශාලින්ද සමන් කුමාර මුතුනායක
බෞද්ධයන් වන අපගේ උතුම් සැපත වනුයේ නිර්වාණ අවබෝධයයි. එම නිර්වාණ අවබෝධය ලබා ගන්නා
තෙක් අප මේ සංසාරය පුරාවට සැප, දුක් විඳිමින් ගමන් කරමින් ලෝක තුනක උපදිනු ලබයි.
කාම ලෝකය, රූප ලෝකය සහ අරූප ලෝකය යනු එම ලෝක තුන වේ. මෙයින් මිනිසුන් වන අප අයත්
වනුයේ කාම ලෝකයට ය. කාම ලෝකය භූමි එකොළහකින් සමන්විත වන අතර, ඒවා නම් සතර අපාය,
මිනිස් ලොව සහ දිව්‍ය ලෝක හය වේ.
මින් පෙර කරන ලද අකුසල් හේතු කොටගෙන දුක් විඳින ජීවින් සතර අපායේ දක්නට ලැබෙන අතර,
පෙර කරන ලද පින් බලෙන් දෙවි දේවතාවුන් වහන්සේ දිව්‍ය සැප විඳිමින් දිව්‍ය ලෝකයේ වැඩ
වාසය කරති. දිව්‍ය ලෝක හයේ සහ සතර අපායේ ඉපදීමට අවශ්‍ය මුලික අඩිතාලම මිනිසා විසින්
මනු ලොව දී සකස් කර ගන්නා අතර, පින්කම් සිදු කරන්නන් දෙව් ලොව සැප ද, අකුසල් සිදු
කරන්නන් නිරයේ ද දුක් විදිනු ලබයි.
මනු ලොව දී තමන් කරන ලද පින්කම්වල පල විපාක හේතු කොට ගෙන මිනිසුන් දිව්‍ය ලෝක හයක
උප්පත්තිය ලබන අතර, මනු ලොව දී තමන් කරන ලද අකුසලවල විපාක හේතු කොට ගෙන මිනිසුන්
නිරිසතුන් වී සතර අපායේ උප්පත්තිය ලබයි. මේ අනුව අප සිහිපත් කර ගත යුතු වැදගත් ම
කරුණ වනුයේ දිව්‍ය ලෝකයේ, අපායේ හෝ නැවත මනු ලොව ඉපදීමට මිනිසුන් කලින් බවවල මනු
ලොව ඉපිද කරනු ලබන කර්මයන් සෘජුව ම හෝ වක්‍ර ආකාරයෙන් බලපානු ලබන බව ය. පින්කම්
සිදු කිරීමට මෙන් අකසල් සිදු කිරීමට ද ඇති එකම ස්ථානය මනුලොව වේ. දිව්‍ය ලෝකයේ
ඉපදුන ද එහි දෙවි දේවතාවුන් වහන්සේට ද පින් කිරීමට මනු ලොව දී මෙන් අවස්ථාව නොලැබෙන
අතර දිව්‍ය සැප යනු මනු ලොව කරන ලද පින්කම් හේතුවෙන් දිව්‍ය ලෝකයේ ඉපිද ලබන සැප වේ.
සරල ලෙස විග්‍රහ කිරීමක් කළහොත් එය උපයා ගන්නා ලද ධනය වියදම් කිරීමක් වැනි ය. මෙහි
ධනය ලෙස අර්ථ ගැන්වුයේ පින්කම් වන අතර, වියදම් ලෙස හැඳින්වුයේ දිව්‍ය සැප වේ. කරන
ලද කුසලයේ ආනිසංස ගෙවීයාමෙන් අනතුරු ව මීළඟට මනුලොව දී කර ඇති කර්ම අනුව මනුලොව හෝ
සතර අපායේ ඉපදෙනු ලබයි.
ඒ අනුව ඔබට දැන් යම් වැටහීමක් ඇති වනවා ඇති ඔබ විසින් මීට පෙර භවයන්හි සැලකිය යුතු
භවයන් ප්‍රමාණයක් දිව්‍ය සැප සම්පත් විඳිමින් දිව්‍ය ලොකයේ ද, මෙම භවයේ මෙන් මනු
ලොවෙහි ද, ඊටත් වඩා වැඩි අවස්ථා ප්‍රමාණයක් නිරයේ ද උපත ලබා ඇති බව. නිර්වාණය අවබොධ
කර ගන්නා තෙක් ම මෙම ක්‍රියාවලිය මේ ලෙසින් ම සිදු වෙයි. එහෙයින් අප සැම දෙනා ම
උත්සාහ කළ යුත්තේ මේ අතරින් නිර්වාණ සුවය ලබා ගැනීමට ය. එසේ නම් අප කළයුත්තේ
කුමක්ද? කුසල් සිදු කිරීම ය. දිව්‍ය ලෝකයේ ඉපදී දිව්‍ය සැප වීඳීමට අප විසින්
පින්කම් සිදු කළ යුතු අතර, නිර්වාණය අවබෝධ කර ගැනීමට නම් අප විසින් කුසල් සිදු කළ
යුතු ය.
ඒ අනුව දැන් ඔබට වැටහෙනවා ඇති පින් සහ කුසල් කියන්නේ එක අර්ථයක් නොව අර්ථ දෙකක් බව.
පින්කම් යනු අනිත්‍ය බව මෙනහි නොකර දිව්‍ය සැප සම්පත් බලාපොරොත්තුවෙන් හො වෙනත්
අරමුණක් අපේක්ෂාවෙන් ඉටුකරනු ලබන යහපත් කර්මයන් වේ. පින්කමක් සිදු කිරීම
ධර්මාවබෝධයක් ලබා හෝ නොලබා සිදු කළ හැක. කුසල කර්ම යනු අනිත්‍ය බව මෙනෙහි කරමින්,
දිව්‍ය සැප ද, අනිත්‍ය බව සිතමින් කරනු ලබන යහපත් කර්ම වේ. ඒ අනුව නිර්වාණය ළඟා කර
ගැනීම අපේක්ෂා කරන ඔබ යම් යහපත් ක්‍රියාවක් සිදු කළ විට එය අනිත්‍ය බව සිතමින් සිදු
කිරීමට උත්සාහ කරන්න.එනම් රාගය, ද්වේෂය සහ මෝහය යන බැමි තුනෙන් මිදීම යන අරමුණ
පෙරමුණු කර ගෙන උපේකෂාවෙන් සිදු කරනු ලබන යහපත් කර්ම කුසල කර්ම වේ.
ඔබ යම් පින්කමක් සිදු කරන විට එය තනියෙන් සිදු කරනවාට වඩා තවත් පිරිසක් සමඟ එක්ව
සිදු කිරීමට උත්සාහ ගන්න. එමඟින් තවත් පිරිසක් පින් සිදු කර ගන්නා අතර, ඔබට ද
වැඩියෙන් පින් සිදුවේ. එමෙන් ම යම් කටයුත්තක් සාර්ථක වීමට පිරිස් බලය වැඩිවීම ද
යහපත් වේ. ඒ අනුව ඔබ මව්පියන් , දු දරුවන්, මිතුරන් සහ ඥතින් සමඟ එක්ව යම්
ධර්මාවබෝධයක් සහිත ව පින්කම් සිදු කරන්න.
බුදුරජාණන් වහන්සේ යහපත් කර්මවලට යහපත් විපාක සහ අයහපත් කර්මවලට අයහපත් විපාක ලැබෙන
බව දේශනා කර ඇත. යහපත් කර්ම අතරට ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා අයත් වන අතර, ඒවා නම්
දාන, ශීල, භාවනා වේ. මෙහි සඳහන් කරනු ලබනුයේ දානයේ ආනිසංස පිළිබඳ ව වේ.
බුදුන් වහන්සේ “ දක්ඛිණ විභංග සුත්‍රයේ ” සහ “ වේලාම සුත්‍රයේ ” පින්කම්වල ආනිසංස
අනුපුරක ආනිසංස පිළිවෙළ දේශනා කර තිබෙනවා. ඒ අනුව
*
අඩුම ආනිසංස පින්කම ලෙස තිරිසන් සතුන් හෙවත් තිරස්චීන සතුන්ට දෙන දානය වේ.
*තිරිසන් සතුන්ට දෙන දානයට වඩා දුස්සීලයන්ට දෙන දානය ආනිසංස වැඩි වේ.
*දුස්සීලයන්ට දෙන දානයට වඩා පෘතග්ජන සිල්වතුන්ට දෙන දානය ආනිසංස වැඩි වේ.
*පෘතග්ජන සිල්වතුන්ට දෙන දානයට වඩා අහසින් ගමන් කරන තවුසන්ට දෙන දානය ආනිසංස වැඩි
වේ.
*අහසින් ගමන් කරන තවුසන්ට දෙන දානයට වඩා සිල්වත් භික්ෂූන්ට දෙන දානය ආනිසංස වැඩි වේ.
*දහසක් සිල්වත් භික්ෂුන්ට දෙන දානයට වඩා සෝතාපන්න ඵලයට පත්වු මඟඵල ලාභියකුට දෙන දානය
ආනිසංස වැඩි වේ.
*සෝතාපන්න ඵලයට පත්වු මඟ ඵලලාභින් සියදෙනකුට දෙන දානයට වඩා සකෘදාගාමි ඵලයට පත්වු
මගඵල ලාභියකුට දෙන දානය ආනිසංස වැඩි වේ.
*සකෘදාගාමි ඵලයට පත්වු මගඵල ලාභින් සියදෙනෙකුට දෙන දානයට වඩා අනාගාමී මගඵල ලාභියකුට
දෙන දානය ආනිසංස වැඩි වේ.
*අනාගාමී ඵලයට පත්වු මගඵල ලාභින් සියදෙනකුට දෙන දානයට වඩා අරහතුන් වහන්සේ නමකට දෙන
දානය ආනිසංස වැඩි වේ.
අරහතුන් වහන්සේ සියදෙනකුට දෙන දානයට වඩා පසේ බුදුරජාණන් වහන්සේ නමකට දෙන දානය
ආනිසංස වැඩි වේ.
පසේ බුදුවරුන් වහන්සේ නමකට දෙන දානයට වඩා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමකට දෙන දානය
ආනිසංස වැඩි වේ.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමකට දෙන දානයට වඩා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේට
දෙන දානය ආනිසංස වැඩි වේ.
බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේට දෙන දානයට වඩා සතර දෙසින් වඩින මඟඵලලාභී මහාසංඝයාට
ආරාමයක් අවාසයක් තනා දීම ආනිසංස වැඩි වේ.
පළමු දාන සතර අනුග්‍රහ බුද්ධි දානයන් ගණයට අයත් වන අතර පස් වැන්නේ සිට දොළොස්වැන්න
දක්වා දෙනු ලබන දානයන් පුජා බුද්ධි දාන ගණයට අයත් වේ.
ඉහත සදහන් කුමන පින්කම සිදු කරනු ලැබුවත් එම පින්කම සිදුකරනු ලබන පුද්ගලයාගේ චේතනාව
බලපානු ලබයි. සෑම පින්කමක් ම යහපත් චේතනාවෙන් සිදු කළ යුතු ය.
දන් දෙන පුද්ගලයකුට මෙම ආත්මයේ දී ම ලැබෙන ආනිසංස අතර ඔහු හෝ ඇය හෝ බොහෝ දෙනාට
ප්‍රිය වන අතර, ඔහුට හෝ ඇයට මේ බවයේ දී ම කලණ මිතුරු ඇසුර ලැබේ.
සාමාන්‍යයෙන් බෞද්ධයන් වන අප විවිධ අවස්ථාවල දී දානයන් සිදු කරනු ලබයි. ඒ අතර මාසික
ව ,ද්විමාසික ව හෝ වෙනයම් ක්‍රමයකට ගමේ හෝ වෙනයම් ප්‍රදේශයක පිහිටි විහාරස්ථානයකට
උදෑසන හෝ දහවල් දානය පුජා කිරීම, පොහෝ දින සිල් සමාදන් වන උපාසක උපාසිකාවන් සදහා
දානය පුජා කිරීම, ඥතියකු, මිතුරකු, හෝ අසල්වාසියකු මිය ගිය විට ඔහු වෙනුවෙන් දෙනු
ලබන සත් දවස, තුන්මාස හෝ අවුරුද්ද දානය යන දානයන් මේ අතර ප්‍රධාන තැනක් ගනු ලබයි.
මෙම දානයන් එම දානය දිමේ අරමුණ අනුව ඇතැමුන් චාරිත්‍රයක් ලෙස ද, ඇතැමුන් යුතුකමක්
ලෙස ද මෙම දානයන් දීම සලකනු ලබයි. එම නිසා ඔබ විසින් දානයක් පුජා කරන විට පහත කරුණු
කෙරෙහි අවධානය යොමු කරන්න.
*
සකස් කර දන් දීමට පුරුදු වන්න. එවිට ඔබට කීකරු දූ පුතුන් සහ අඹු දරුවන් ලැබේ.
*
සුදුසු කල්හි දන් දීම තුළින් බොහෝ සැප සම්පත් ලැබේ. එම නිසා සුදුසු කල්හි දන්
දෙන්න.
*
ශ්‍රද්ධාව පෙරදැරිව දන් දීම තුළින් රූප සම්පත්තිය ලැබේ. එම නිසා ශ්‍රද්ධාවෙන් දන්
දෙන්න.
*
ලෝභයෙන් තොරව දන් දීම හේතුවෙන් ලෝභය දුරු වේ.
*
තමා ද, අන් අය ද වෙහෙසට පත් නොකර දන් දීම තුළින් තම ධනය ගින්නෙන්, සොර සතුරන්ගෙන්
සහ අකීකරු දු දරුවන්ගෙන් හානි නොවේ.
කෙසේ නමුදු ලොව උතුම් ම පින්කම ලෙස සැලකෙනුයේ මල් සුවඳක් හෙවත් ගන්ධයක් දැනෙන තරම්
සම සිතින් අරිය මෛත්‍රී කිරීම ය. උතුම් කුසලය ලෙස සැලකනුයේ ඇසුරු සැනක් අනිච්ච
සංඥාව මෙනෙහි කිරීමයි. මදක් සිතා බලන්න මේ උතුම් පින්කම වන අරිය මෛත්‍රිය පැතිරවීම
සහ ලොව ලොකුම කුසලය වන අනිච්ච සංඥාව මෙනෙහි කිරීම අප හට නිතර සිදු කළ හැක. ඒ සදහා
තැනක් වේලාවක්, ස්ථීර ලෙස අවශ්‍ය නැත. එමෙන් ම ඒ සඳහා කිසිදු මුදලක් වියදම් වීමක් ද
සිදු නොවේ. |