පිරිසුදු සිතින් ම
පින් කරන්න
දඹාන මාවරගල ආරණ්‍ය සේනාසනවාසී
ආචාර්ය
පදියතලාවේ අමරවංශ හිමි
අතීතයේ ලංකා ද්වීපයේ බුදු දහම බොහෝම හොඳින් ව්‍යාප්ත වී තිබුණා. භික්ෂූන් වහන්සේ
දීපව්‍යාප්ත ව වැඩ සිටියා. සමහර භික්ෂූන් වහන්සේ මහ කැලෑවල ගල් ලෙන්, කුටි බවට සකස්
කර ගෙන ආරණ්‍යවාසී ජීවිතයක් ගත කළා. තවත් පිරිසක් වැඩ සිටියේ ගම්වල ම යි.
උන්වහන්සේ සැදැහැති බෞද්ධයන්ට ධර්ම දේශනා කරමින් ආගමික කටයුතුවල නියැළුණා. මේ කාලයේ
හිටිය ධනවත් තරුණයෙක් පැවිද්ද ලැබුවා. ග්‍රාමවාසී ජීවිතයට වඩා ආරණ්‍යවාසී ජීවිතය
භාවනාවට වඩාත් ම නිදහස් තැනක් බව අවබෝධ කර ගෙන වනගත වුණා.
පිණ්ඩපාතය ලබා ගැනීමට අසල ගම්මානයට යාම තෙරුන් වහන්සේගේ පුරුද්දක් බවට ද පත් වුණා.
ගමේ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය ම මේ තෙරුන් වහන්සේ කලක් යන කොට හොඳින් හඳුනා ගත්තා.
පිණ්ඩපාතයේ වඩින පෙර මඟ බලන් ඉඳලා දන් පිරිනමන්න පටන් ගත්තා.
දවසක් තෙරුන් වහන්සේ තුන්යම් රාත්‍රියේ ම භාවනා කරලා පාන්දරින් ම සිවුරු පොරවාගෙන,
පාත්‍රය අතැති ව පිණ්ඩපාතයට පිටත් වුණා. ගමත්, ආරණ්‍යත් අතර මාර්ගය දෙපස මිනිස්
පදිංචියක් නෑ. තනි පාලු මාවතක්. තෙරුන් වහන්සේ ගමට පිණ්ඩපාතයේ වැඩම කරලා
පිණ්ඩපාතයත්, දායකයන් විසින් පූජා කරන ලද පිරිකර ආදියත් අරගෙන යළිත් කුටිය වෙත වැඩම
කරමින් සිටියා.
ගමේ හිටිය හොරෙක් තෙරුන් වහන්සේට බොහොම රසවත් ආහාරත්, වටිනා පිරිකරත් ලැබුණ බව
දැක්කා. කැලෑව මැදින් හෙමින් හෙමින් ඇවිත් පාලු තැනක රැකගෙන හිටියා තෙරුන් වහන්සේ
එතැනින් වැඩම කරන තෙක්.
එතැනට වඩිනවාත් සමඟ සොරා මාර්ගය මැදට පැනලා පාත්‍රයත්, පිරිකරත් ගත්තා. ඒ විතරක්
නෙවෙයි. පොරවගෙන හිටිය සිවුරත්, ඇඳගෙන හිටිය අඳනකඩයත් අරගත්තා. ඒ වේලාවේ මේ තෙරුන්
වහන්සේ බියට පත් වුණේ නෑ. කෑගැහුවේ නෑ.
එතැනින් පලා යන්න උත්සාහ කළේ නෑ. සංසුන් ඉරියව්වෙන් ම ඒ සියල්ලට මුහුණ දුන්නා. පාලු
ස්ථානය පසු කර නැවතත් ගම මැදින් වැටී තිබෙන පාරකින් තමන්ගේ කුටියට වැඩම කරන්න ඕනෑ.
වස්ත්‍ර නැතිව යන්නත් බෑ. භික්ෂුවට යමකුගෙන් යමක් ඉල්ලා ගැනීමට අකැප දෙයක් නිසා
දායක නිවසකින් වස්ත්‍රයක්වත් ඉල්ලා ගන්න ගියේ නෑ. කල්පනා කළා කොහොම ද දැන් කුටියට
වැඩම කරන්නේ කියලා.
එතැන කැලයට ඇතුළු වෙලා කොළ අතු ඇඳ ගත්තා. ඊට පස්සේ තමන්ගේ සුපුරුදු ගමනින් ම පිටත්
වුණා. මෙහෙම යනකොට එක් ඇළකින් ගොඩ වෙන්නට ඕනෑ. තෙරුන් වහන්සේත් වටපිට බලන්නේ නැතිවම
වැඩම කළා. එක් තරුණියක් තමන්ගේ නිවසේ වැඩ කටයුතු අවසන් කර උදෑසනින් ම ජලස්නානයට මේ
ඇළට බැසලා ජලස්නානය කරමින් හිටියා.
තෙරුන් වහන්සේ නිතරම ගමට යන එන බව දැක තිබුණා. ශරීර ඉරියව් හොඳින් ම හඳුනා ගත්තා.
කොළ අතු ඇඳගෙන තමන් ඉදිරියෙන් යන තෙරුන් වහන්සේ දැක තරුණියත් බියට පත් වුණේ නැහැ.
කෑ ගැහුවේ නෑ. ඒ වගේම හැංගුණෙත් නැහැ. අවබෝධයෙන් උන්වහන්සේ දිහා බලගෙන ඉදලා කිසියම්
හෝ විපතකට මුහුණ දෙන්නට ඇතැයි විශ්වාස කළා. ඇය ජලයේ බැසගෙන ඉන්න නිසා ගොඩට එන්න
විදිහක් නෑ. එතැන ඉදන් ම තෙරුන් වහන්සේට මෙහෙම කතා කළා.
‘ස්වාමිනි, ඔය ගොඩ තියෙන වස්ත්‍රය පේනවා නේද? ඒක ගෙන දෙකට ඉරන්න. මට භාගයක්
තියලා ඔබ වහන්සේ ඉතිරි භාගය ගෙන, සැකයක් නැතිව සුව සේ ආරාමයට වැඩම කරන්න’යි කියා
සිටියා.
තෙරුන් වහන්සේත් ඒ ආරාධනයෙන් වස්ත්‍රය දෙකට ඉරලා කොටසක් ඇයට තියා අනෙක් කොටස ඇඳගෙන
ආරාමයට වැඩම කළා. තරුණිය ජලස්නානය අවසන් ව ගෙදරට ගියා.
තෙරුන් වහන්සේ සීල ගුණයෙන් පිරිපුන් කෙනෙක්. භාවනාවෙන් කල් ගත කළ කෙනෙක්. දිගට ම
භාවනා කටයුතු කර ගෙන ගියා. අවසානයේ අර්හත් භාවයට පත්වෙලා තෙරුන් වහන්සේගේ ආයු කෙළවර
නිවන් දුටුවා.
තරුණිය ගමේ හිඳිමින් කාලය ගත කර ආයු කෙළවර දෙව්ලොව ඉතාම පැහැපත් දෙවඟනක් වී උපත
ලැබුවා. මැයගේ දේව විමානය වටා ඉතාම අලංකාරවත් දිව්‍ය විමාන තුනක් පිහිටා තිබුණා. ඒ
දිව්‍යවිමාන තුනේ හිටියේ දෙවිවරු තුන් දෙනෙක්. මේ තුන් දෙනාම අලුතින් පැමිණි
දිව්‍යාංගනාව ලබා ගැනීමට කළහ කළා. ඒ බව දැන ගත් ශක්‍ර දෙවියන් තිදෙනා හමු වී
‘ඔබ තිදෙනා ම දෙව්දුවට කැමැත්ත ප්‍රකාශ කරනවා. ඇයට වැඩියෙන් ම කැමැත්ත දක්වන්නේ
කවරෙක්ද කියලා මට හඳුනා ගන්න ඕන. ඒ නිසා තම තමන්ගේ හදවතේ උපන් ප්‍රේමය කොපමණද කියලා
මට පෙන්වා දෙන්න’යි ඉල්ලා සිටියා.
එක් දෙවියෙක් කියනවා
‘ස්වාමිනි, මගේ ශරීර අභ්‍යන්තරයත්, පිටත ශරීරයත් ගින්නෙන් පිච්චෙනවා වගේ ඇය නැතිව ඒ
ගින්න නිවා
දමන්නට නොහැකි තරම්’යි කියා සිටියා.
දෙවැනි දෙවියන්ගෙන් විමසද්දී කියනවා ‘ස්වාමිනි, මැටි සමඟ වතුර මිශ්‍ර වූ විට
කිසිවක් පෙනෙන්නේ නෑ නේද? ඒ වගේ මේ දෙව්දුව නැතිව මට කිසිවක් පෙනෙන්නේ නෑ. කිසිම
කටයුත්තක් කර ගන්න පුළුවන් කමක් නෑ’යි කිව්වා.
තුන්වැනි දෙවියන්ගෙනුත් හේතු විමසා සිටි විට ‘ස්වාමිනි, යම් සේ කිරියි දියරයි එකතු
වුණු විට මේ කිරියි, මේ තියෙන්නේ වතුර’යි වෙන් කර ගැනීමට නොහැකි වන්නාක් මෙන් මගේ
ආලයේ ප්‍රමාණය වෙන් කර ගන්න බෑ’යි කියා සිටියා.
ශක්‍ර දෙවියන් ඔවුන් තිදෙනා ම මැයගේ රූපයෙන් මත් වී සිටින නිසා එක අයකුට අයිති කර
දුනහොත් සාධාරණයක් නොවන නිසා ඔවුන් තිදෙනා ම නෙළුම් පතකට වැටුණු දිය බින්දුවක් මෙන්
බැහැර කරලා, තමන්ගේ පරිවාර දිව්‍ය ස්ත්‍රීන් අතරට මේ දෙවඟන එකතු කර ගත්තා'යි කථා
පුවතක් සීහලවත්ථුවේ සඳහන් වෙනවා.
දෙවිවරුන් තුන්දෙනාගේ ම අදහස්වලින් පෙනෙන්නේ දෙව්දුව අධික රූප සම්පත්තියකින් උපත
ලබා සිටිය බවයි. ඇයට එතරම් රූප සම්පත්තියක් ලැබීමට හේතු වී තිබුණේ පිරිසුදු සිතින්
සිල්වත්, ගුණවත් තෙරුන් වහන්සේ නමකට ශ්‍රද්ධාවෙන් වස්ත්‍ර කැබැල්ලක් පූජා කර
ගැනීමයි.
එදා ඇය ජලස්නානය කරද්දී තෙරුන් වහන්සේට බියවී පලා ගියේ නම්, මේ උතුම් පින්කම සිදු
කර ගන්න ලැබෙන්නේ නෑ. පින්කම් කරන්න ධනය ම අවශ්‍ය වන්නේ නෑ. පින්කම් කරන්න වේලාවක්
වෙන් කර ගන්න ම ඕන නෑ. අවශ්‍ය වන්නේ පිරිසුදු සිතින් කිසියම් හෝ දෙයක් හැකි පමණින්
ශ්‍රද්ධාවෙන් පූජා කර ගැනීම පමණයි කියන ධර්මෝපදේශය මෙම කතා පුවතින් අපට ලබා දෙනවා.
|